ශ්‍රී ලංකාවෙන් 35 ක් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට යයි


ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඔක්තෝබර් මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 35 දෙනෙක් සහභාගි වීමට නියමිතව ඇත.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 35 අතරින් ජවන හා පිටිය තරගකරුවන් 20 දෙනෙක්, වෙඩි තැබීමේ තරගකරුවන් 2ක්, රෝද පුටු ටෙනිස් තරගකරුවන් 3ක්, දුන්නෙන් විදීමේ තරගකරුවන් 2ක්, චෙස් තරගකරුවන් 2ක්, පිහිනුම් තරගකරුවන් 2ක්, බර ඉසිලීමේ තරගකරුවෙක්, බැඞ්මින්ටන් තරගකරුවෙක් සහ මේසපන්දු තරගකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේ පැවැති රියෝ පැරාලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තගේ නායකත්වයෙන් යුත් තරගාවලියට සහභාගි වෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් අතරේ පැරාලිම්පික් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම), ලෝක මට්ටමේ දක්ෂතා දක්වා ඇති උපුල් ඉන්දික (මීටර් 100/200), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම), ආසියානු මට්ටමේ පදක්කම් ලාභීන් වන සම්පත් බණ්ඩාර (දුන්නෙන් විදීම) සහ දිනේෂ් දේශප්‍රිය (මේසපන්දු) වැනි ක්‍රීඩකයන් මෙවර අසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරයි.

2010 වසරේ චීනයේදී සහ 2014 වසරේ දකුණු කොරියාවේදි පැවති තරගාවලි දෙකේදී පදක්කම් 22 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් විය.
ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා දායකත්වය දක්වයි.