2021 උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද

2021 නව වසර ඔබ සිතන ලෙස පහසු නව වසරක් නොවේ. මේ වසර තුල ග‍්‍රහණ 04 ක් ජෝතිර්වේදය අනුව ගත්කල වෙන වසර වලට වඩා ග‍්‍රහ යුද්ධ 19 ක් සමන්විත වනවා. මෙම ග‍්‍රහ යුද්ධ 19 යම බුද්ධියට අධිපති බුධ ග‍්‍රහ යුද්ධ 13 ට සහභාගී වනබව අමතක නොකරන්න. ප‍්‍රධාන ග‍්‍රහ මාරුව ලෙස බ‍්‍රහස්පතිගේ ග‍්‍රහ මාරුව පමනයි. ඒ අප්‍රේල් 06, සැප්තම්බර් 14 හා නොවැම්බර් 20 කියන කාලවල තමයි මේ බ‍්‍රහස්පති හුවමාරුව සිදුවන්නේ. ඉතිං ඔබ සෑම දෙනාගේම ලග්නයෙන් ලග්නයට 2021 නව වසර කොයි ආකාරයේ ඉරණමක් තිළිණ කරයිද අපි සලකා බලමු.

මේෂ ලග්නය



ඔබේ ලග්නාධිපති අඟහරු ලග්නගතව බලවත් වෙලා තමයි වසර පටන් ගන්නේ. රුචක නැමැති පංච මහා පුරුෂ යෝගයක් උදා කරමින් නවවැන්නාධිපතිගෙ සහ දහවැන්නාධිපතිගේ සංයෝගය නිසා ධර්මකාරාධිපති රාජ යෝගයක් සස නැමැති පංච මහා පුරුෂ යෝගයක් යෙදී පවතිමින් තමයි වසර පටන් ගන්නේ. ආර්ථිකය ගත්කල ධනස්ථානාධිපති සිකුරු ජනවාරි 04 වනදායින් පසුව පුණ්‍යස්ථාන ගතවීමත් 09/10 අධිපතිගේ සංයෝගය නිසා අභියෝග රැසක් මැද වුවත් ඔබගේ ආර්ථිකයට ඔබගේ හැකියා දක්ෂතා මත ඔබේ ආර්ථික ශක්තිය ස්ථාවර කරගැනීමට හැකියාව පවතී.

හැබැයි අභියෝගතා මැද තමයි ඔබේ ජයග‍්‍රහණ සලසාගන්න පුළුවන්. ඔබට ඔබේ ශක්තීන් පෙරදැරි කරගන්න, සිතුවිලි, ක‍්‍රියා සහ චර්යා රටා නැවත සකස් කරගතහොත් ආර්ථික වශයෙන් ඔබට ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන්. මාර්තු 06 වනදායින් පස්සේ යෝගකාරක බ‍්‍රහස්පති එකොලොස්වැන්නට ප‍්‍රවේශවීමත් යහපත් ලෙස සලකන්න පුළුවන්. විවාහ ජීවිතය ගත්කල පවුලේ අයගෙන් ඈත්වී කටයුතු කරන බවත් පෙන්වන්න පුළුවන්.

අදහස්වල පරස්පරතා, නොගැලපීම් නිසාවෙන් සේම තෙවන පාර්ශවයේ මැදිහත් වීමෙන් පවුලේ සතුට, සමගිය හා සමාදානයට බාධා එල්ලවිය හැකි අතර විවාහ ආදී කටයුතු පිලිබඳ තීන්දු තීරණ ගැනීමේදී 2021 නව වසර ටිකක් කල්පනාකාරී විය යුතුයි.

අධ්‍යාපනය ගත්කල න්‍යායාත්මක කටයුතු වලට වඩා ප‍්‍රායෝගික අධ්‍යාපන කටයුතු සහ කාර්මික කටයුතු ඉතා යහපත්, සෙනසුරුගේ මහ දසා අතුරු දසා ගත කරන උදවිය ටිකක් කල්පනාකරී වන්න. 2021 පෙබරවාරි 22 ඉදලා මාර්තු 14 දක්වාත් සැප්තැම්බර් 26 ඉදලා ඔක්තොම්බර් 22 දක්වා කාලයත් කල්පනාකාරී වන්න. මේ අභියෝග ජය ගන්න නම්, මාසයේ පළමුවන අඟහරුවාදා දින වල ගිලන් ව ඇති භික්ෂුවකට හරි පූජ්‍ය පක්ෂයේ කෙනෙක්ට බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන්න.

අනිවාර්යයෙන්ම සාර්ථක වසරක් කර ගන්න පුලුවන්.



වෘෂභ ලග්නය



වසර ආරම්භ වන්නේ ලග්නගතව බලවත් වෙලා, කේතු 07 වැන්නේ බලවත් වෙලා ගමන් කරමින්. යෝගකාරක සෙනසුරු 09 වැන්න වූ පුණ්‍යස්ථානයේ බලවත් කරමින් වසර උදාවේ. ආර්ථිකය ගත්කල දහවැන්නාධිපති සහ එකොලොස්වැන්නාධිපති සංයෝගය අනුව දියුණුව සම්බන්ධ කරන කටයුතු වලට බාධා එල්ලවිය හැක. නමුත් ඔබගේ බුද්ධිය වෙහෙසවා කටයුතු කලොත් සාර්ථකත්වය අත්පත් කරගත හැක. අනුන් යටතේ කරණ වැඩවලට වඩා ස්වාධීනව සිදුකරණ වැඩවලින් ඇතිවේ.

ගෘහ ජීවිතය ගත්කළ රාහුගේ ලග්නගතව පිහිටීම අනුව තමාගේ අදහස් නිතරම නිවැරදියි කියා සිතන අතර ආවේගශිලී කටයුතු නිසා යුග ජීවිතය ආශ‍්‍රිත සතුට, සමාදානය, සහජීවනය පෑල දොරින් පලායන්න පුළුවන්. බුද්ධිමත්බව පෙරදැරි කරගැනීමයි වඩාත් වැදගත් වන්නේ. විවාහ ආදී කටයුතු වලට අනපේක්ෂිත බාධා ඇතිවිය හැක.

සෞඛ්‍ය හා අධ්‍යාපනය ගත්කළ පස්වැන්නාධිපති බුධ, කේතු සමග සංයෝග වීම නිසා ගැඹුරු ශිල්ප ශාස්ත‍්‍ර හදාරණ අයට සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරගත හැක. නිදන්ගත රෝග පීඩා ඉස්මතු වේ. තෙල්, සීනි, පිටි සහිත ආහාර පාලනයකින් යුතුව ලබාගැනීමට වගබලාගන්න. ජනවාරි 04 සිට 28 දක්වා කාලයත්, අප්‍රේල් 10 සිට මැයි 04 දක්වා කාලයත්, මැයි 209 සිට ජූනි 29 දක්වා කාලය කල්පනාකාරී වන්න.

එකම ගින්දරට ලං කරන බටර් දියවෙලා ඒ ගින්දරටම ලං කරන බිත්තරය ඝන වෙනවා වගේ ඔබත් නව වසර තුළ අභියෝග හමුවේ ඇතැම් විට හැකිලෙන්නත්, ඇතැම්විට දැඩි වෙන්නත් සිහි තබාගෙන වැඩ කලොත් අභියෝග ජයගත හැකියි. කරන්න තියෙන්නේ මාසේ පලමුවන හෝ අවසාන සිකුරාදා දිනක මෙහෙණින් වහන්සේ නමකට හිසතබන කොට්ටයක් පූජා කරන්න. සාර්ථක වසරක් උදා කරගන්න පුළුවන්.


මිථුන ලග්නය





ලග්නාධිපති බුධ, රවි සමඟ සංයෝග වී බුධ ආදිත්‍ය නැමැති යෝගයක් ගොඩනංවලා තියෙනවා. ලග්නෙන් හත්වැන්නේ රාහු දොලොස්වැන්නෙත් අඟහරු එකොලොස්වැන්නෙන් බලවත් වෙලා ගමන් කරද්දි සෙනසුරු හා බ‍්‍රහස්පති ලග්නයෙන් අටවැන්නෙන් බලවත් වෙලා ගමන් කරද්දි සෙනසුරු හා බ‍්‍රහස්පති ලග්නෙන් අටවැන්නේ ගමන් කරමින් තමයි වසර පටන් ගන්නේ. 2020 ජනවාරි සිට ආරම්භ වුණු සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ටකය වසර පුරාවටම පවතිනවා.

ආර්ථිකය අතින් ගත් කල එකොලොස්වැන්නාධිපති එකොලොස්වැන්නේ බලවත් වීම, ඉහල ධන යෝගයක් වුවත් විශේෂයෙන් ග‍්‍රහ රටාව අනුව මැයි 26 සිට ජූලි 25 දක්වා කාලයත්, අගෝස්තු 25 සිට නොවැම්බර් 02 දක්වා කාලයත් ඉතාම සුවිශේෂීයි. ජයග‍්‍රහණ ලබාගන්න උත්සහය කැපවීම අත්‍යාවශ්‍යයි. සාර්ථකත්වය අත මුලට එනතුරු නොඉඳ, නැඹුරුතාව තුලින් ඔබේ ආර්ථික ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන්.

ගෘහ ජීවිතය ගත්කල හත්වැන්නාධිපති අටවැන්නේ පිහිටමින් වසර උදාවේ.ඒ නිසා යුග ජීවිතය ආශ‍්‍රිතව ගැටළු ඇතිවිය හැකියි. බොහොවිට වැටිහිටි හා ඥාතීන් අතර හොඳ හිත පලූදු වීම්, ඔවුන් සමඟ ඇති මතගැටුම් නිසා මෙවැනි තත්ව ඇතිවන්න පුළුවන්. බ‍්‍රහස්පතිගේ මහදසා අතුරු දසා ගතකරන අය බොහෝ කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය අතින් ගත්කල තරඟකාරී කටයුතු වලින් ජයගන්න හැකියාව ලැබේ.

අස්ථි බිඳීම්, වැටීම්, තැලීම් ආදිය සඳහා හේතුවන අතර වම් අත වම් පාදය ආශ‍්‍රිතව ආබාධ ඇතිවිය හැකියි. පෙබරවාරි 04 වනදා සිට මාර්තු 11 දක්වා කාලයත්, මැයි 01 වනදා සිට මැයි 26 දක්වාත්, ජූලි 25 සිට අගෝස්තු 09 දක්වා කාලයත්, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 10 දක්වා කාලයත් අතර වැඩි අවධානයෙන් කටයුතු කරන්න. සෙනසුරුට ජීවිතය භාරදීම සුදුසු නොවේ. මොකද විෂ්ණු දෙවියන්ට සෙනසුරු බටකොල කැව්වට ගණ දෙවියන්ට සෙනසුරු අපල කරන්න බැරිවුණා. මිථුන කියන්නේ බුධට අයත් රාශියක් නිසා ඔබ බුද්ධිය සිහිතබාගෙන කටයුතු කරන්න. මාසේ පළවෙනි සෙනසුරාදා දවසක උදෑසන 06.50 ට පෙර නිවසේ බටහිර දිසාවේ කපුටන්ට එළඟිතෙල් මිශ‍්‍ර කිරිබත් දෙන්න. ගණ දෙවියන්ට බදාදා දවසක උදෑසන 07 ට පෙර ඊතණ මල්මාලාවක් පළඳන්න.


කටක ලග්නය



ලග්නාධිපති ලග්නගතව බලවත් වී වසර ආරම්භ වේ. හත්වැන්නාධිපති හත්වැන්නේම බලවත් වෙලා සස නැමැති පංච මහා පුරුෂ යෝගයකින් ගමන් කරයි. එහි නීච භංග රාජයෝගයක් යෙදී පවතී. දහවැන්නාධිපති අඟහරු දහවැන්නේම බලවත් වෙලා කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් රුචක නැමැති පංච මහා පුරුෂ යෝගයක් උදාවීම නිසා සුවිශේෂී ගති ලක්ෂණ ඇතිවන වසරකි.

ආර්ථිකය ගත්කල යහපත් ලෙස මුහුණදිය හැක. හැබැයි ඒ ඔබේ උත්සහය, කැපවීම මත බව මතක තබාගන්න. හත්වැන්නාධිපති බ‍්‍රහස්පති සඳු සමඟ සත්තම දෘෂ්ටියෙන් පසුවීම නිසා ගජකේෂ්වරී නැමැති යෝගයක් උදාවී තිබෙනවා. උරුම හරුමකම් තුලින් ජයග‍්‍රහණ අත්පත් කරගන්න, පාරම්පරිකව කරගෙන ආ කටයුත්තක් නව විදිහකට ආරම්භ කරන්න හිතාගෙන හිටියානම් යහපත්ම වසරයි.

ගෘහ ජීවිතය ගත්කල සතුට, සැනසුමට යහපත්. වෙනදාට වඩා පවුලේ අයත් එක්ක කටයුතු කරන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. දරුඵල ප‍්‍රමාදවීම් තිබුණානම් සුභ ආරංචි ලැබෙන වසරක්. සෙනසුරු මහ දසා, අතුරු දසා, ඒරාෂ්ඨක ගත කරන අය ප‍්‍රවේශම් විය යුතුය.

අධ්‍යාපනය ගත් කල උසස් අධ්‍යාපනයට බාධා එල්ලවිය හැක. විෂය කටයුතු වලට වඩා විෂය භාහිර කටයුතුවලට වැඩි නැඹුරුතාවක් පවතිනවා. ඒ වගේම ලේ විෂවීම්, විෂබීජ ශරීරගතවීම් වගේම බෝවන රෝග පීඩාදිය ඇතිවිය හැකි නිසා ඉක්මන් ප‍්‍රතිකාර ලබාගත යුතු වනවා. සරුංගලයක් ඉහළ නගින්නේ සුලඟ සමඟ නොව සුළඟට එරෙහිව බව සිහි තබා ගන්න. එ නිසා දෛවයේ මොනවා ලියවී තිබ්බත් තමන්ගේ උත්සහය කැපවීම මත දෛවය වෙනස්කරගත හැකිබව මතක තබාගත යුතුය. ඒ හැකියාව 2021 වසර තුල කටක ලග්න හිමියන්ට නොඅඩුව ලැබී ඇත. සෑම පුර පසලොස්වක පොහෝ දිනකම ශීල ව්‍යාපාර කටයුතු වලට දහවල් දානයට දිවුල් කිරි ස්වල්පයක් දන් දෙන්න පුලූවන්නම්, සෑම දිනකම උදෑසන දිවුල් වෘක්ෂයකට වතුර ටිකක් දාන්න පුළුවන්නම් මේ වසර කිරි උතුරන වසරක් බවට පත්කරගන්න පුළුවන්.



සිංහ ලග්නය




ලග්නාධිපති බුධ සමඟ සංයෝග වී ලග්නෙන් පස්වැන්න වූ විද්‍යස්ථානයේ, පූර්ව පුණ්‍යස්ථාන වගේම පුත‍්‍රස්ථානගතව ගමන් කරන්නේ බුධ ආදිත්‍ය නැමැති යෝගය උදා කරමින්. යෝගකාරක අඟහරු ලග්නයෙන් නවවැන්න වූ පුණ්‍යස්ථානගතවත්, සෙනසුරු බලවත්ව ලග්නයෙන් හයවැන්න වූ රෝගස්ථාන හා සතුරුස්ථානගතවත් ගමන් කරමින් තමයි වසර ආරම්භ වෙන්නේ.

රැකී රක්ෂා වගේම සේවාස්ථාන ආශ‍්‍රිතව යම් යම් සතුරු පීඩා ඇතිවිය හැකියි. බොහෝ විට ඔබට එරෙහිව කටයුතු කරන පිරිස වැඩිවන නිසා කරන කියන සුලූ කටයුත්තකදී පවා බුද්ධිමත්බව, කැපවීම, නැඹුරුතාව පෙර වසර වලට වඩා හොඳින් තබාගතහොත් ඔබගේ රැකියාව වගේම ආර්ථිකයත් යහපත්ව පවත්වාගෙන යා හැකියි.

ගෘහ ජීවිතය ගත්කල වසර මුල පවතින ගැටළුකාරී තත්වයන් ක‍්‍රමක‍්‍රමයෙන් නිරාකරණය කරගන්න වසර මැද සහ වසර අවසාන භාගයේදි හැකියාව ලැබෙනවා. බ‍්‍රහස්පති හත්වැන්නට අප්‍රේල් 06 වනදායින් පසු ප‍්‍රවේශය පවුලේ සතුට, සමගිය සහජීවනය සිතන පතන අයුරින්ම අත්පත් කරගත හැක.

අධ්‍යාපනය ගත්කල වසර මුලම රවි, බුධ සංයෝග වීම නිසා දැනුම හැකියා වර්ධනයට ඉතා සුභයි.

නමුත් තමන්ට වඩා වයසින් වැඩි අය ආශ‍්‍රය කිරීමේදී සිංහ ලග්න හිමි දුවා පුතුන් වැඩි ප‍්‍රවේශම් සහගතව කටයුතු කරන්න. චරිතයට කීර්තියට හානි ගෙනදෙන්න පුළුවන්.

සෞඛ්‍ය ගත් කල සෙනසුරු 6 වැන්නේ පිහිටීම නිසා ලේ ගමන් කිරීමේ රෝග පීඩා ඇතිවිය හැකියි. ස්නායු රෝගද ඇතිවිය හැකි අතර සුළු හිරිවැටීමකදී පවා ඉක්මනින් ප‍්‍රතිකාර ගත්හොත් සෙනසුරුගේ බලපෑම් ටිකක් මෙල්ල කරගන්න පුළුවන්.

මෙ වසරේ මාර්තු 14 සිට අප්‍රේල් 14 දක්වා කාලයත් ජුලි 16 සිට අගෝස්තු 17 දක්වා කාලයත් කරන කියන කටයුතු පිලිබඳව බුද්ධිමත් බව වගේම කල්පනාකාරී බව මෙහෙයවන්න අමතක කරන්න එපා. මාසයේ පලමු හෝ අවසාන ඉරිදා දිනක ඔබට ළඟම ඇති විහාරස්ථානයකට ගිහින් සීනි, පරිප්පු වැනි ද්‍රව්‍යයන් පූජා කලොත් තිබෙන බාධා මගහැර ගන්න පුළුවන්. සෑම දිනකම උදෑසන ඉඹුල් ගසකට වතුර ටිකක් දාන්න පුළුවන්නම් 2021 වඩා සාර්ථක වසරක් වෙයි.



කන්‍යා ලග්නය



ලග්නාධිපති බුධ, රවි සමඟ හතරවැන්නේ බුධ ආදිත්‍ය නමැති යෝගයක් උදාකරමින් ගමන් කරමින් පස්වැන්නාධිපති ශනි බ‍්‍රහස්පති සමඟ පස්වැන්නේම බලවත් වෙලා පවතිනවා. සඳු එකොලොස්වැන්නේ ගමන් කරමින් අලූත් අවුරුද්ද ඔබට උදාකරනවා.

ආර්ථිකය අතින් ගත්කල ඔබේ ලග්නාධිපති වගේම දහවැන්නාධිපති වන්නෙත් බුධ. එකී බුධ රාජ්‍යකාරක රවි සමඟ සංයෝගවීමත් එකොලොස්වැන්නේ සඳුගේ ගමනත් යහපත් ආර්ථික රටාවක් පවත්වාගෙන යාමට ඔබේ උත්සහය, කැපවීම මත හැකියාව පවතිනවා. එමෙන්ම පසුගිය කාලය පුරාවට අතහැර තිබූ අතපසු කරතිබූ කටයුතු අළුත් විදිහකට පටන් ගන්න ශක්තිය, ජවසම්පන්න බව ලැබෙන වසරක්.

යුග ජීවිතය ආශ‍්‍රිතව සතුට, සැනසුමට යම් යම් බාධා විටින් විට ඇතිවිය හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි ඥාතීන් පිළිබඳව තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

අධික අනුකම්පාව දැක්වීමට යාම නිසා බොහෝවිට පවුලේ සතුට සහජීවනයට යම් යම් බාධා එල්ලවිය හැකියි.

අධ්‍යාපනය අතින් ගත්කල විද්‍යා තාක්ෂණ වැනි අංශවල ජයග‍්‍රහණ ලබාගත හැකියි.

කුසීත ගති ලක්ෂණ තමයි ගෙනදෙන්නේ. කටයුතු කල් දැමීමට යොමුවීමෙන් බොහෝවිට අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා එල්ලවිය හැකියි.

සෞඛ්‍ය අතින් ගත්කල ආහාර දිරවීමේ ගැටළු වගේම ශරීර අප‍්‍රාණිකත්වය ඇතිකළ හැකි නිසා ඒ පිලිබඳව අවධානය දෙන්න. අඟහරු 08 වැන්නේ පිහිටීම නිසා හදිසි අනතුරු විපත් බහුල කල හැකියි. යාන වාහන වල ගමන් බිමන් යාමෙදී යන්ත‍්‍ර සූත‍්‍ර ආශ‍්‍රිතව කටයුතු කිරීමේදී වගේම විශේෂයෙන් මේ වසරේදී යතුරුපැදි ධාවනයේ යෙදෙන කන්‍යා ලග්න හිමියන් තමන්ගේ අරපරිස්සම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. අප්‍රේල් 16 සිට මැයි 01 දක්වා කාලයත්, අගෝස්තු 09 වනදා සිට අගොස්තු 26 දක්වා කාලයත් කල්පනාකාරී විය යුතුයි.

මාසේ පලමුවන හෝ අවසාන බදාදා දිනවල උදෑසන 6.55 ට පෙර ගණ දෙවියන්ට ඊතන මල්මාලාවක් පැලඳීමත් එදිනම සවස ලඟම ඇති විහාරස්ථානයක සිටින සාමණේර හිමි නමකට පොත්පත් දන් දෙන්න පුළුවන්නම් වසර සාර්ථක කරගන්න පුළුවන්.



තුලා ලග්නය



තුලා ලග්නාධිපති වන්නේ සිකුරු. එකී සිකුරු ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානගතව බලවත් වූ කේතු සමඟ සංයෝග වී පවතිනවා. හත්වැන්නාධිපති අඟහරු හත්වැන්නේම බලවත් වෙලා රුචක නැමැති පංච මහා පුරුෂ යෝගයක්ම වගේම හතරවැන්නාධිපති හතරවැන්නේම බලවත් වෙලා සස නැමැති පංචමහා පුරුෂ යෝගය උදාකරමින් තමයි මේ වසර පටන්ගන්නේ.

ආර්ථිකය අතින් ගත්කල එකොලොස්වැන්නාධිපති රවි, බුධ සමඟ සංයෝග වීම නිසා අලූත් නිර්මාණ, අලූත් සැලසුම්, අලූත් විදිහට හිතලා වැඩකිරීම තුල ආර්ථිකය යහපත් කරගන්න පුළුවන්.

සඳුගේ බ‍්‍රහස්පතිගේ සප්තම දෘෂ්ඨිය නිසා ගප්කේෂරී යෝගය උදාවීමත් පසුගිය වසරේ අතපසු වූ කටයුතු සාර්ථක කර ගැනීමටත් හැකිවේ.

ගෘහ ජීවිතය අතින් ගත්කල අඟහරු 07 වැන්නේ පිහිටීම, ක්ෂණික තීන්දු තීරණ ඒ වගේම ආවේගශීලී ගති ලක්ෂණ, ඉවසීම නැති නිසා පවුලේ සමගියට සේම, ප්‍රේමය ආලය වැනි කටයුතුවලදිත් ගැටලූ මතුවිය හැක.

අධ්‍යාපනය ගත්කල පස්වැන්නාධිපති සෙනසුරු බලවත් වීම නිසා බොහෝවිට ශිල්ප ශාස්ත‍්‍ර අධ්‍යාපනයට සේම ක‍්‍රීඩා කටයුතු වලට වගේම, ගණිත මිණිත කටයුතු වලත් ජයග‍්‍රහණ ලැබීමට හැකියි.

සෞඛ්‍ය අතින් ගත්කල රාහු 08 වැන්නේ පිහිටීම නිසා ආහාර දිරවීමේ දුර්වලතා වගේම, ආහාර ප‍්‍රතිශක්තීකරණ කටයුතු වලට බාධා එල්ලවිය හැකිය.

රාහු මහ දසා අතුරු දසා ගතකරන තුලා ලග්න හිමියන් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. මේ වසරේදී ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතු හොඳම තැන. මාසේ පළමු හෝ අවසාන සිකුරාදා දිනක ඔබේ දකුණු අතේ වියතේ උසට ගැලපෙන ලෙස පෙරහන්කඩ ගොටු 09 ක් මහලා ලඟම ඇති විහාරස්ථානයට පූජා කරන්න. වසර සාර්ථක කරගන්න පුලූවන්.


වෘශ්චික ලග්නය



ලග්නාධිපති අඟහරු හයවැන්නේ බලවත් වෙලා ගමන් කරමින් තමයි වසර ආරම්භ වන්නේ. සිකුරු කේතු සමඟ බලවත්ව ලග්නගතව රාහු ලග්නයෙන් හත්වැන්නේත්. සෙනසුරු බ‍්‍රහස්පති සමඟ ලග්නයෙන් තුන්වැන්නේත්, සඳු නවවැන්නේත් ගමන් කරමින් වසර තිලිණ වේ.

ආර්ථිකය ගත්කල ලග්නාධිපති බලවත් නිසා වසර මුල සිටම තම අභිමතය පරිදිම කටයුතු කරන නිසා සියළු කටයුතු සාර්ථක කරගත හැක. තම අභිමතය, සාර්ථකත්වයට හරවා ගත හැක.

ගෘහ ජීවිතය ගත්කල රාහු කේතු බලපෑම මත යුග ජීවිතයේ සතුටට කරදර, බාධක එල්ලවිය හැක. විවාහාදී කටයුතු ප‍්‍රමාද කරනවා. සහකරු/සහකාරියගේ රෝග පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ. එමනිසා සුළු අසනිප තත්වයකදී පවා ඉක්මන් ප‍්‍රතිකාර ගතයුතු වෙනවා.

අධ්‍යාපනය ගත්කල පස්වැන්නධිපති බල රහිතව ගමන් කිරීම නිසා අප්‍රේල් 06 දක්වා කාලය අධ්‍යාපනයට යම් යම් බාධා එල්ලවෙන්න පුළුවන්. නමුත් ඔබේ කැපවීම, නැඹුරුතාව මත සියලූ බාධා ජයගෙන අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්.

සෞඛ්‍ය ගත්කල හිසට පපුවට, සෙම් රෝග ආදියෙන් බලපෑම් නිසා ජලාශ‍්‍රිත කටයුතු වලින් සහ අවේලාවේ ස්නානයෙන් ප‍්‍රවේශම් විය යුතු අතර මාසේ පලමු අඟහරුවාදා දිනවල ධාතු කරඬු වසන ලේන්සුවක් වගේම, හදිසි අනතුරකට හෝ ශල්‍යකර්මයකට මුහුණ දෙන කෙනෙක්ට ආහාර ද්‍රව්‍ය හෝ බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන්න. වසර සාර්ථක වේ.

ධනු ලග්නය



ලග්නාධිපති දෙවැන්නේ දෙවැන්නධිපති සමඟ ගමන් කිරීමේදී, ලග්නගතව බුධ කේන්ද්‍රගතව හා දිග් බලයෙන් යුතුව ගමන් කරන්නේ රාජකාරක රවි සමඟ සංයෝග වෙලා. එකොලොස්වැන්නාධිපති සිකුරු දොලොස්වැන්නේ කේතු සමඟ සංයෝගව ගමන් කරද්දී රාහු ගමන් කරන්නේ ලග්නෙන් හයවැන්නේ රෝගස්ථාන හා සතුරුස්ථාන වලයි.

ආර්ථිකය ගත්කල ධනස්ථානාධිපති සමඟ ලග්නාධිපති ගමන් කිරීමේදී සමලා සංයෝග වීම කියන සංයෝගය ඔබට හිමිවේ. 2014 වසරේ සිට ඇරඹුණු සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය අවසාන කාලපරිච්ඡේදය ගමන් කරමින් සිටින නිසා වෙන වසර වලට වඩා ආර්ථික රටාව සුවිශේෂීයි. උසස් අයගේ ආධාර උපකාර මතින් ආර්ථික ජයග‍්‍රහන අත්පත් කරගත හැක.

උත්සහයේ තරමට ප‍්‍රතිඵල ලැබේ. අරපිරිමැස්මෙන් කටයුතු කරන නිසා වසරේ ආර්ථිකය යහපත් වේ.

ගෘහ ජීවිතය ගත්කල සාමකාමී බව පවතී. අප්‍රේල් හයෙන් පසුව ඔබට වඩාත් යහපත් වන අතර කාන්තා පාර්ශවය සමඟ කටයුතු කිරීමේදී ප‍්‍රවේසම් විය යුතුය. කාන්තා ආශ‍්‍රය නිසා පවුලේ සමඟියට බාධා එල්ලවිය හැක.

අධ්‍යාපනය ගත්කල බුධ ලග්නගතව, කේන්ද්‍රගතව දිග් බලයෙන් යුතුව පිහිටීම උසස් අධ්‍යාපන කටයුතු වලට සේම තරඟ විභාග වලට ඉතා යහපත්.

සෞඛ්‍ය ගත්කල රාහු 06 වැන්නේ පිහිටීම නිසා නිදන් ගත රෝග සහ විෂ ශරීරගතවීම සිදුවිය හැක. සුරතලයට ඇතිකරන සතුන්ගෙන් පවා ප‍්‍රවේසම් වන්න.

මේ වසරේ ඔබගේ ශක්තිය, හැකියව හා විශ්වාසය පෙරදැරිව කටයුතු කළොත් වසර සාර්ථක කරගත හැක.කුරුල්ලෙක් ඕනෑම අත්තක් මත වහන්නේ ඒ අත්ත විශ්වාස කරලා නෙවෙයි තමන්ගේ අත්තටු විශ්වාස කරලා. බුද්ධිය ගැන විශ්වාසය තැබුවහොත් වසර සාර්ථක කරගත හැක. මාසේ පලමු හෝ අවසාන බ‍්‍රහස්පතින්දා දිනවල තමන්ගේ උසට කහ මල්මාලාවක් අමුණා වයසට අදාලව නිල්මල් එයට අමුණා බෝධියේ නැගෙනහිර පැත්තේ අත්තක එල්ලා බෝධි පූජාවක් කරන්න.



මකර ලග්නය



ලග්නාධිපති සෙනසුරු කලකට පසුව ලග්නගතව බලවත් වෙලාසස නැමති පංච මහා පුරුෂ යෝගයක් මෙන්ම නීච භංග රාජයෝගයක් උදාවෙලා පවතිනවා. අඟහරු 04 වැන්නේ බලවත් වෙලා රුත්චක නැමැති පංච මහා පුරුෂ යෝගයකින් ගමන් කරද්දී යෝගකාරක සිකුරු අයස්ථානය වූ එකොලොස්වැන්නේ රාජකාරක රවි බුධ දොලොස්වැන්නෙත්, සඳු 07 වැන්නේත් ගමන් කරමින් වසර ආරම්භ වේ.

ආර්ථිකය ගත්කල දියුණුවට ඉතා යහපත් වේ. සුළුවෙන් පටන්ගත්ත කටයුතු සාර්ථකත්වය කරා යන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක්නම් තමන්ගේ සේවක සේවිකාවන් ගැන තීන්දු තීරණ ගැනීමේදි කීප වතාවක්ම සිතා තීරණ ගන්න. නැත්නම් ඔබේ සමීපතමයින් ඔබෙන් දුරස්වීම සිදුවිය හැකියි. 2017 සිට ලබා ඇති සෙනසුරු ඒරාෂ්ඨකයේ අති ප‍්‍රබලතම කාලය තමයි ගෙවීගෙන යන්නේ. මේ වසර පුරාවටත් ලග්න ඒරාෂ්ඨක තත්වය පවතිනවා.

ගෘහ ජීවිතය ගත් කල කේතුගේ / රාහුගේ බලපෑම නිසා දුක්ඛ චරිත ලක්ෂණ පෙන්නුම් කල හැක. ආවේගශීලී වීම නිසා ප‍්‍රශ්න ඇතිකිරීමේ හැකියාව පවතිනවා. තම අභිමතය පරිදි කටයුතු කිරීම නිසා බොහෝ අහිතකරතා වගේම පවුලේ අය සමඟ සමඟියට බාධා එල්ල වේ.

අධ්‍යාපනය ගත් කළ අනපේක්ෂිත බාධා එල්ලවිය හැක. ඒ සඳහා වැඩි උනන්දුවක්, කැපවීමක් යොමුකල යුතු බව මකර ලග්න හිමි දුවා පුතුන් මතක තබාගත යුතුය.

සෞඛ්‍ය අතින් ගත්කල පිටකොන්ද දණහිස හා මුත‍්‍රාශය ආශ‍්‍රිතව තමයි රෝග බහුලව පෙන්නුම් කරන්නේ. ඒ නිසා සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් ප‍්‍රතිකාර ගන්න.

අප්‍රේල් 6න් පසුව සිදුවන ඔබේ බ‍්‍රහස්පති මාරුව බොහෝවිට ඔබේ බොහෝ අවහිරතා දුරු කල හැක. මාසේ පලමුවන සෙනසුරාදා දිනවල උදෑසන 6.40 ත් 6.50 ත් අතර ලිපගිනි මොලවා රතු කැකුළු බතක් එලවළු වෑංජන සහිතව බත් පාර්සල් 03 ක් හදලා අතපය වාරු නැති යාචකාදීන්ට දෙන්න පුළුවන්නම් සෙනසුරුගේ අපල පහසුවෙන්ම මගහැරවා ගත හැකියි. මිරිඟුව වගේ පේන දේ විශ්වාස කරලා තමා සතු දේ අත්හරලා ඒ මිරිගුව පසුපස දුවන්න එපා. රැවටීම්, මුලාවීම් වලට හසුවන බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. දුවන මුවන් දැක නොදමන් නෙළු පලා යන උද්ධෘතය පෙරදැරි කරගෙන කටයුතු කළොත් වසර සාර්ථක වේ.



කුම්භ ලග්නය



ලග්නාධිපති සෙනසුරු බ‍්‍රහස්පති සමඟ සංයෝග වෙලා දොලොස්වැන්නේ රාහු 04 වැන්නේත්, කේතු 10 වැන්නේත් අඟහරු බලවත් වෙලා 03 වැන්න වූ වික‍්‍රමස්ථාන ගතව රාජකාරක රවි බුධ සමඟ අයස්ථානගතව එකොලොස්වැන්නේ ගමන් කරමින් තමයි වසර ආරම්භ වන්නේ.

ආර්ථිකය ගත් කල සෙනසුරු 12 වැන්නේ ගමන් කරන නිසා නිශ්ඵල වියදම් බහුල කරනවා. හවුලේ සිදුකරන කටයුතු වලින් පාඩු කරදර සිදු කල හැක. අප්‍රේල් 06 න් පසු කාලය ඔබට ඉතා යහපත් වන අතර 2020 ජනවාරියේදී ඇරඹුණු සෙනසුරු ඒරාෂ්ඨකය මේ වසර පුරාවටම පවතින බව මතක තබා ගත යුතුය. තමන්ගේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමයි වැදගත් වන්නේ.

ගෘහ ජීවිතය ගත්කල කරදර මැද වුවත් පවුලේ සතුට සමඟිය හොඳ තත්වයක පවතින වසරකි. රාහු 06 වැන්නේ පිහිටීම නිසා පවුලේ අයගෙන් ඈත්වී කටයුතු කිරීම බහුලව දකින්න පුළුවන්. විවාහ කටයුතු ප‍්‍රමාද වුණු අයට ප‍්‍රබල මංගල යෝග උදාවන වසරක්.

අධ්‍යාපනය ගත් කල බුධ එකොලොස්වැන්නේ ගමන් කිරීම අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරයි. ඒ විතරක් නෙවෙයි. ඒරාෂ්ඨක තත්වයක් පෙන්නුම් කරන නිසා ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා පුතුන්ට තමයි තරමක් බාධා කරදර පැමිණෙන්නේ. වසර පුරවටම ඒරාෂ්ඨක තත්වයක් පෙන්නුම් කරන නිසා කරදර බාධක පෙන්නුම් කරනවා. යාන වාහන ගමන් බිමනේදී පරිස්සම් වුනොත් අවහිර බාධක මඟ හැරහන්න පුළුවන්. ඔබේ හැකියා වලින් හා බුද්ධියෙන් ප‍්‍රයොජන ගත හැකි වසරක්. තව දෙයක් මතක තබාගන්න ඔබගෙන් ප‍්‍රයෝජන ගන්න බොහෝ අය පෙළඹෙන අතර නමුත් ඒ උදව් උපකාර ලබාගත්තට පස්සේ ඒ අයගේ උනන්දුව, අගයකිරිම් අඩුවෙලා. යන්න පුළුවන්. කොයි වගේද දන්නවද, හරියට ගෙයක් හදද්දි ඒ ගේ ගොඩනගන්න වැලි ඕන වුණාට ගේ හැදුවට පස්සේ ඒ ගේ ඇතුලට වැලි එනවට ගෙදර අය කැමති නෑ වගේ. ඒ නිසා උපේක්ෂාශීලීව 2021 වසරට මුහුණ දෙන්න.

මේ වසර පුරාවටම සෙනසුරු ඒරාෂ්ඨකය පවතින නිසා සෑම දිනකම උදෑසන අවදි වූ වහාම තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙක් ලගට ගොස්

නීලාංජන සමාභාෂං - රවි පුත‍්‍ර යමා ග‍්‍රජම්
චායාය මාර්තණ්ඩසමභූතං - තණ් නමාමි ශෛනේෂ්වරම්

යන පාඨය තුන් වතාවක් කියලා දවසේ කටයුතු පටන් ගන්න. අතිශය සාර්ථක වසර බවට පත්වේවි.



මීන ලග්නය



ලග්නාධිපති බ‍්‍රහස්පති සෙනසුරු සමඟ සංයෝග වෙලා ගමන් කරමින් වසර ආරම්භ වේ. ඒ වගේම, අඟහරු බලවත් වෙලා දෙවැන්නෙන් රාජ්‍යකාරක රවි කේන්ද්‍රගත බලයෙන් හා දිග් බලයෙන් යුතුව දහවැන්නේ බුධ සමඟ සංයෝග වෙලා පවතිද්දී රාහු තුන්වැන්න වූ වික‍්‍රමස්ථානගතව ගමන් කරමින් තමයි 2021 වසර ආරම්භ වන්නේ.

ආර්ථිකය අතින් ගත්කල එකොලොස්වැන්නධිපති ලග්නාධිපති සංයෝගව පැවතීම නිසා යහපත් ආර්ථික රටාවක් පැවතිය හැක. අළුතින් ආරම්භ කරන කටයුතු බධක මද වුවත් සාර්ථක කරගත හැක. විශෙෂයෙන් ආහාරපාන හා ජංගම ව්‍යාපාර වලට සාර්ථක වසරක් බවට පත්වේ. රාහුගේ මහ දසා අතුරු දසා ගත කරන අය කල්පනාකාරීව කටයුතු කල යුතුය.

යුග ජීවිතය ගත්කල යහපත් වන අතර අප්‍රෙල් 06 න් පසු කල්පනාකාරී විය යුතුය. මොකද ඔබෙ ලග්නාධිපති බ‍්‍රහස්පති ලග්නයෙන් 12 වැන්නට පැමිණීම නිසායි.

අධ්‍යාපනය ගත්කල ස්ථීර තීන්දු තීරණ වල අවම භාවය නිසා අරමුණු බලාපොරොත්තු නොමැති වීම නිසා බාධා එල්ල වෙන්න පුළුවන් වුනත් ඔබේ බුද්ධිය පෙරදැරිව කටයුතු කරොත් සියළු බාධක ජයගෙන 2021 වසර අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක.

සෞඛ්‍ය අතින් ගත්කල පෙනීමේ දුර්වලතා තමයි පෙන්නුම් කරන්නේ. ඇස්දෙක ඇස්දෙක වගේ පරිස්සම් කරගන්න මතක තබාගන්න.

රාහුගේ මහ දසා අතුරු දසා ගත කරන අයට වෙදදුරන්ට නිශ්චය කරගත නොහැකි තරමේ රෝග පීඩා ඇතිවිය හැකියි. ඒ පිළිඹඳව වැඩි අවධානයක් දෙන්න. මාසේ පළමු බ‍්‍රහස්පතින්දා දිනවල බෝධිය දෝවනය කිරීමට පැන්කල 09 ක්ද, බෝමළුව ඇමදීමට ඉදලක්ද, ශීල ව්‍යාපාර වලට බෙලිමල්ද පූජා කරන්න. එසේම රාහුගේ ඇති බලපෑම දුරු කරගන්න හැකියාව තිබෙන සෑම උදෑසනකම

අර්ධ කායං මහා ගෝරං - චන්ද‍්‍රදිත්‍ය විමර්ධකං
සිහිං කායං සුඛං රෞද‍්‍රං - තණ් රාහුං ප‍්‍රමාණයං

යන රාහුගේ නමස්කාර පාඨය වරක් හෝ සජ්ජායනය කරලා නිවසින් පිටත් වෙලා යන්න. අනිවාර්‍යයෙන්ම අති සාර්ථක වසරක් බවට පත්වේවි.


රාශි 12ම පවතින හිතකර තත්වයන් පෙරදැරි කරගෙන අහිතකර තත්ව පිළිඹඳව හොඳ අවබෝධයකින් යුතුව 2021 කියන නව වසරට ඔබ මුහුණ දීම වඩාත් වැදගත් වනවා. ඉතින් තල්පත්වල ලියැවුණු ඔබේ දෛවයේ, නොවිසදුනු ගැටළු සොයාගෙන 2021 වසර පියමන් කරද්දී අනේකවිධ බාධක, අනේක විධ කම්කටොළු, අනේකවිධ තර්ජන ගර්ජන ඇතිවෙන්න පුළුවන්. බුද්ධිය පෙරදැරි කරගෙන කටයුතු කළොත් මෙන්න මේ අභියෝග රාජයෝග බවට පත්කර ගන්න ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා වසර පුරාවටම මම ප‍්‍රාර්ථනා කරනවා.