ළමා දූෂණයට වරදකරු වූ හිටපු ඉන්දීය මන්ත්‍රීවරයා දිවි ඇති තෙක් හිරේ

2017 වසරේ දී දාහත් හැවිරිදි බාල වියේ යුවතියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කුල්දීප් සෙන්ගර් (Kuldeep Sengar) නම් හිටපු ඉන්දීය මන්ත්‍රීවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කිරීමට අධිකරණය නියෝග කළේය.
දූෂණයට ලක් වූ දැරියට ඉන්දීය රුපියල් ලක්ෂ විසි පහක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කෙරිණ.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ එම හිටපු මන්ත්‍රීවරයා, චෝදනාවලට වරදකරු බව පසුගිය දෙසැම්බර් 16 වෙනි දින අධිකරණය තීන්දු කළේය.
51 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් වූ දූෂණ චෝදනා ඉන්දියාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණ අතර, පාලක භාරතීය ජනතා පක්‍ෂය විසින් ඔහු පක්ෂයෙන් ද නෙරපා හරිනු ලැබුණි.
රැකියාවක් ලබා ගැනීමට උදව් ඉල්ලා ගිය අවස්ථාවක මන්ත්‍රීවරයා සහ කණ්ඩායමක් තමා පැහැර ගෙන ගොස්, පුරා සතියකට අධික කාලයක් දූෂණය කරන ලද බව වින්දිත තරුණිය කියා සිටින්නීය.
එකී දූෂණය සිදු කෙරෙන විට වින්දිත යුවතිය දාහත්වෙනි වියේ පසු වූ හෙයින් මන්ත්‍රීවරයාට එරෙහි නඩුව පවරා තිබුණේ ළමා ආරක්ෂණ නීතිය යටතේය.
දූෂණ අතවරයෙන් පසු පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් එම වින්දිත යුවතිය ගිනි තබා ගැනීමට උත්සහ කිරීමත් සමඟ ඇයට අත් වූ ඉරණම ජාතික මට්ටමින් අවධානය යොමු වූ කරුණක් බවට පත් විය.
කුල්දීප් සෙන්ගර් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරනු ලැබීමෙන් අනතුරුව, එම තරුණිය, ඇයගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ නීතිවේදියා පසුගිය ජූලි මාසයේ රිය අනතුරකට ගොදුරු වූ අතර, එයත් එම මන්ත්‍රීවරයාගේ සැලසුමක් බවට චෝදනා එල්ල විය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ එම රිය අනතුරින් වින්දිත යුවතියගේ ජීවිතය බේරුනත් ඇයගේ ඥාති කාන්තාවන් දෙදෙනා මරණයට පත් වූ අතර, නීතිවේදියාට බරපතළ තුවාල සිදු විය.

අපරාධ චෝදනාවන්ට වරදකරු කෙරුණ මන්ත්‍රීවරයාට පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් 17) දඬුවම් නියම කිරීමට නියමිතව තිබිණ.

දූෂණ අපරාධය සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිල්ලක් කළ නමුත් පළමු අවස්ථාවේ මන්ත්‍රීවරයා චූදිතයකු හැටියට නම් නොකළ බව යුවතිය පවසයි. එයින් මාසයකට පසුව පොලිසිය මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණිල්ලක් සටහන් කරගත් නමුත් අදාළ නෛතික ක්‍රියාමාර්ග නොගත් බවට ඇය චෝදනා කරයි.

ඉතා බරපතළ චෝදනාවලට ලක්ව සිටියත් මන්ත්‍රීවරයා දිගටම පක්ෂයේ තබා ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂය මේ අතර දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

එම විරෝධතා හමුවේ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීමට භාරතීය ජනතා පක්‍ෂය පසුගිය අගෝස්තු මාසයේ පියවර ගෙන තිබුණි.

එම නෙරපා හැරීම සිදු කෙරුණේ මෙහි මුලින් සඳහන් කරන ලද රිය අනතුරෙන් පසුවය.

'මහාරාෂ්ට්‍ර' ප්‍රාන්තයේ රිය අනතුර මන්ත්‍රීවරයා විසින් සැලැසුම් කරන ලද්දක් බවට වින්දිත යුවතියගේ මව චෝදනා කරන නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය මගින් විභාගයක් සිදු කෙරෙමින් පවතී.
හිටපු මන්ත්‍රී සෙන්ගර් ගේ සහෝදරයා වන අතුල් සෙන්ගර් 2018 අප්‍රියෙල් මාසයේ දිනක වින්දිත යුවතියගේ මවගේ පියාට පහර දුන් බවටත් එම පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

එම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය පස් දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබ ඇතත් පැහැර කෑමට ගොදුරු වූ තැනැත්තා ද අනවසරයෙන් ගිනිඅවි තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබුණි.

එම තැනැත්තා සිරගෙය තුළ දී මරණයට පත් විය.

එම මරණයෙන් දින කීපයකට පසු, වින්දිත යුවතිය සිය සිරුරට ගිනි තබා ගැනීමට තැත් කරනු ලැබ තිබෙන්නේ 'උත්තර්ප්‍රදේශ්' ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආදිත්‍යනාත්ගේ නිවස ඉදිරිපිටදීය.

ඇය එවැනි පියවරක් ගැනීමට තැත් කරන ලද්දේ යුක්තිය ඉටුකර ගැනීම අතින් දිගින් දිගටම බාධා කරන ලද බවට චෝදනා කරමිනි.

අනතුරුව ඉන්දීය මධ්‍යම පරීක්ෂණ ආයතනය විසින් අතුල් සෙන්ගර් සහ තවත් දහ දෙනෙක් මිනීමැරුම් චෝදනා යට‍තේ අත්අඩංගුවට ගනු ලැබුණි.

ඔවුන්ට එරෙහි නඩු විභාගය තවමත් පෙරට යමින් පවතී.

තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අතුල් සෙන්ගර් ප්‍රතිචාරය දක්වා නැත.

පසුගිය සඳුදා (දෙසැම්බර් 16) හිටපු මන්ත්‍රී කුල්දීප් සෙන්ගර් දූෂණ චෝදනාවලට වැරදිකරු යයි තීන්දු කෙරුණේ දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තයේ විසිහත් හැවිරිදි පශු වෛද්‍යවරියක් පසුගිය මාසයේ දිනක කල්ලියක් විසින් දූෂණය කරනු ලැබ පුළුස්සා මරා දැමීමේ අපරාධය සමස්ත ලෝකයේ ම ප්‍රධාන මාධ්‍ය සිරස්තලයක් වී ඇති වකවානුවකය.