2020 දී 20 විස්සේ ශ්‍රී ලංකාවේ තැනට ඇෆ්ගනිස්ථානය


2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20 විස්ස ලෝක කුසලානයේ සුපරි 12 වටයට නිතරගයෙන් සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අපොහොසත් වී තිබේ.

අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද තරග සටහන් අනුව 2014 වසරේ විස්සයි විස්ස ලෝක ශුරයන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2020 තරගාවලියේ මූලික වටයේ තරග වලට සහභාගි විය යුතුය.

අද වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව පසුවන්නේ 9 වන ස්ථානයේය. එහි මුල් ස්ථාන දිනාගත් කණ්ඩායම් 8ට 2020 වසරේ තරගාවලියේ සුපර් 12 වටයට නිතරගයෙන් තරග වැදීමේ අවස්ථාව හිමි වේ.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව අභිබවමින් ලෝක කුසලානයේ සුපර් 12 වටය සඳහා නිතරගයෙන් තරග කිරීමට සුදුසුකම් ලබා සිටී.

කෙසේ වුවත් මූලික වටයේ තරග වලට සහභාගි වීමට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයට සිදුවේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයට අමතරව, සුදුසුකම් ලබාගැනීමේ තරගවලින් සුදුසුකම් ලබන රටවල් හයක් එම මූලික වටයේ තරගවලට එක්වේ. සුපර් 12 වටයට සුදුසුකම් ලබන්නේ එම තරගවලින් ඉදිරියට එන රටවල් 4ක් පමණි.

ශ්‍ ලංකා කණ්ඩායමට නිතරගයෙන් සුපර් 12 වටයට පිවිසීමට නොහැකිවීම ගැන කණගාටුවන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ සහ අවසන් මහා තරග 3කට සුදුසුකම් ලැබූ රටක් ලෙස ශ්‍රී ලංකාව හොඳම රටවල් 8 අතර නොසිටීම ගැන කණගාටුවන බව පවසා ඇති ලසිත් මාලිංග, කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයෙන් සුදුසුකම් ලබා තරගාවලිය හොඳින් ක්‍රීඩා කිරීම සිය කණ්ඩායමේ අරමුණ බව ද සඳහන් කර තිබුණි.

2018 වසරේ දීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල දස්කම් දැක්වීමට පොහොසත් විය. වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය, විස්සයි විස්ස කේෂ්ත්‍රයේ 9 වැනි ස්ථානය සහ ටෙස්ට් ක්‍රිකට් අංශයෙන් 6 වැනි ස්ථානයේය.

2019 වසරේ ජුනි මාසයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නිතරගයෙන් සුදුසුකම් ලැබුවේ සුදුසුකම් ලැබූ රටවල් 8න් අවසන් කණ්ඩායම ලෙසිනි.