ආසියානු පැරා ක්‍රීඩා උළෙලදී රන් සහ ලෝකඩ පදක්කම් දිනාගත් - ආබාධිත සෙබල චරිත නිර්මල


ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පසුගියදා පැවති 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කළ චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

යුද හමුදා කොමාන්ඩෝ බලකා‍යේ කෝප්‍රල්වරයෙකු වශයෙන් සේවය කළ ඉන්ද්‍රපාලය ගේ පාදයක් ආබාධයට ලක් වූයේ 2009 පෙබරවාරි මස පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය සමග පැවති ගැටුමේදීය.

වවුනියාවේ නැවත පදිංචි කරන ලද ගම්මානයක් වන බෝගස්වැව පදිංචි ඔහු යුද හමුදා රෝහලේ නැවතී වසර එක හමාරක පමණ කාලයක් ප්‍රතිකාර ලැබූ අතර ඉන් අනතුරුව ඉන්ද්‍රපාල මලල ක්‍රීඩාව වෙත යොමු වී ඇත.
ඔහු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබුවේ, දුර පැනීම සහ මීටර 200 දිවීමේ ඉසව් සඳහාය.

මීට පෙර 2016 වසරේ ඩුබායිහි පැවති ආසියානු ශාන්තිකර කලාපයේ පැරා ක්‍රීඩා උළෙලේදී මීටර 100, මීටර 200 සහ දුර පැනීම ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට චරිත සමත් වී තිබේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම සිය අනාගත ඉලක්කය බව චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල වැඩිදුරටත් සඳහන් කළේය.