මාධ්‍යවේදි කශෝගී මැරූ බව සෞදිය පිළිගනී


සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගී, තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදී, මරා දමා ඇති බව තමන් පිළිගන්නේ යැයි සෞදිය කියයි.

පසුගිය ඔක්තෝබර් 02 දා සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ මාධ්‍යවේදි ජමාල් කශෝගී ව සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි ඝාතනය කෙරුණු බවට තුර්කි රජය චෝදනා කරමින් සාක්ෂි රැසක් ඉදිරිපත් කර තිබුණු නමුත් සෞදිය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් කශෝගී කොන්සල් කාර්යාලයේ දී මරා දැමුණු බව සෞදිය පිළිගත් පළමු අවස්ථාව මෙයයි. කශෝගී ඝාතනය වුණු බව සෞදි රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශය පිළිගෙන ඇති අතර, ඒ බව ට්විටර් පණිවුඩයක් හරහා ලොවට නිවේදනය කළේය.

කොන්සල් කාර්යාලයේ දී එහි සිටි පිරිසක් සමඟ කශෝගී බහින්බස් වීමක් සිදුවී ඉන්පසු ගැටුමක් ඇති කරගත් බවත්, මේ අනුව එම ගැටුම අවසන් වුයේ කශෝගී මියයෑමෙන් බවත් තමන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වුණු බව සෞදි රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර සිදුකරණ ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු නිලධාරීන් 15 දෙනකු සේවයෙන් නෙරපා දැමීමටත්, තවත් සෞදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමටත් සෞදිය පියවර ගෙන තිබේ.

මෙලෙස රාජකාරිවලින් නෙරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයකු වන සෞද් අල් කටානී මෙන්ම නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මේජර් ජනරාල් අහ්මද් අල් අසීරී ද සිටින බව වාර්තා වේ.

මේ අතරම ජමාල් කශෝගී සෞදියේත් සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේත් උදහසට ලක් වී සිටි අයෙකි. ඒ, කශෝගී සෞදියේ ඔටුන්න හිමි කුමාරයා දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියකු වූ නිසාය.