Local
ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරගන්න - සමන් රත්නප්‍රිය
Thursday, 25 May 2023 - 3:55 pm
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති තම තනතුරට නුසුදුසු ආකාරයෙන් කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් ඉවත් කර ඇති බවත්, විපක්ෂයේ වීරයෙකු වී සිටින ජනක රත්නායක මහතා ඊලඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කරගන්නා ලෙස හිටපු එක්සත් ජාතික පක්ෂ පා.ම., ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසු ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේසේද පැවසීය. රට අගාධයකට වැටී තිබු අවස්ථාවේ කවුරුත් මේ රට බාරගත්තෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා පමණයි ඒ අභියෝගය බාරගත්තේ. එදා පැය ගනන් විදුලිය කැපුවා. පාසල් ළමුන්ට පාඩම් කරන්න විදියක් තිබුනෙ නෑ. කර්මාන්තශාලා වහන්න උනා. සේවකයෝ පාරට වැටෙන තත්වයක් උදා උනා. ඒ නිසා ජනතාවට අත්‍යවශ්‍ය සාධකයක් වන විදුලිය අඛන්ඩව ලබා දීම සදහා ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් සකස් කලා. ඒ අනුව විදුලි බිල වැඩි කරලා හරි රජය අඛන්ඩව විදුලිය ලබා දීමට කටයුතු කලා. අද රට ටිකෙන් ටික නැගිටිනවා. දැන් ඒ වැඩි කල විදුලි බිල අඩු කරනවා. භාණ්ඩවල මිල අඩු කරනවා. ජනතාවට සහන දෙනවා. මේ රට නැවත සංවර්ධන මාවතට යොමු කරන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න විවිධ පුද්ගලයෝ සම්බන්ධ වෙලා තිබෙනවා. එයින් එක්කෙනෙක් තමා ජනක රත්නායක කියන්නේ. එයා මෙහෙයවන්නේ කවුද දන්නෙ නෑ. නමුත් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අය ජනක රත්නායක වීරයෙක් විදියට පෙන්වා දුන්නා. අද කවුරුහරි ආණ්ඩුවට ගහනවානම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරනවානම් ඒ පුද්ගලයා මේ බංකොලොත් විපක්ෂයේ වීරයෙක් වෙනවා. හොදයි කියලා බදාගන්නවා. ඒක නිසා මම ඔය ප්‍රේමදාසලාට, වීරවංශලාට, විජිත හේරත්ලාට කියන්නේ ජනක රත්නායක විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට පත් කරගන්න. තව ටික දවසකින් එයාගෙ ඇත්ත තත්වය රටේ ජනතාවට දකින්න පුළුවන් වෙයි. මහජන උපයෝගිතා කොමිසමේ මීට පෙර හිටපු සභාපතිවරු තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා හරියට තේරුම් අරන් වැඩ කලා. විශේෂයෙන් විදුලි බලය නිෂ්පාදනය සදහා යොදන යෙදවුම් වෙනස් කරලා මෙරට ජනතාවට කෝටි ගනන් මුදල් ඉිතිරි කරලා දුන්නා. විදුලි බල පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව හදුන්වාදීම් සිදු කලා. මේ සභාපතිවරයා ඉදිරියට අරගෙන තියෙන්නේ විදුලි බිල වාගෙ ජනප්‍රිය මාතෘකා විතරයි. විදුලි බිල අඩුකරනවා වගේම, අඛන්ඩව ජනතාවට විදුලිය ලබා දීමත් කොමිසමේ වගකීමක්. ඒ වගකීම ගැන මෙයාලා දන්නෙවත් නෑ.