Views: 201

කොළපාට යනු හරිත සංකල්පයේ එක් පියවරක් පමණයි. - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. ඒ. අත්තලගේ මහතා

Share this article   

පෘථිවිය කියන්නේ අපට අයිති දෙයක් නොවෙයි. අපි පෘථිවියට අයිති සත්ත්ව කොට්ඨාශයකි. මිනිසා යථාර්ථයට පිටුපා කරන්නට යෙදුන ගණුදෙනුවේ අවසානය ගෝලීය පාරිසරික අර්බුදයක් දක්වා පැමිණ තිබෙනවා. මානවයා තම පැවැත්ම වෙනුවෙන් ස්වභාව ධර්මය සමඟ කරන ගනුදෙනුවේදී පෘථිවියේ පැවැත්මට නොගැළපෙන ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස පරිසරය ක්‍රමාණුකූලව අසමතුලිත තත්වයට පත්වී මෙම ගෝලීය පාරිසරික අර්බුදය නිර්මාණය වී තිබෙනවා. මම හිතන්නේ මෙම තත්ත්වය ආරම්භවනුයේ කාර්මික විප්ලවයත් (Industrial revolution) සමඟමයි. කාර්මික විප්ලවයෙන් පසුව මිනිස් පරිභෝජන රටාව සීඝ්‍රයෙන් වර්ධනවී තිබෙනවා. මෙහි හොඳ වගේම නරක ප්‍රතිඵලත් තිබෙනවා. මිනිසා විසින්ම ශ්‍රමය වැයකර කරගෙන සිදුකළ කාර්යයන්, අත්‍යාවශ්‍යයෙන් පරිසරය හා බැඳි සිටිය යුතු අවස්ථාවන් මෙම නව්‍ය තත්ත්වය සමඟ වෙනස් වී තිබෙනවා. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අද තිබෙනවා ඉලෙක්ට්‍රික් දත් බුරුසුවක් නිර්මාණය කරලා. එය නිෂ්පාදනය කරන්නට ඇත්තේ ආබාධිත තත්වයේ සිටින කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ප්‍රචාරයන් හා මිනිසාගේ අළුත් දෙයකට ඇති කැමැත්ත යන කරුණ පදනම්ව තරුණ ජවය තියෙන කෙනෙකුත් එය භාවිතා කරන්න පෙළඹෙනවා. මේ නිසා යම් තරමක හෝ තා විසින් තාට කරගත යුතු කාර්යයන්, ව්‍යායාමයත් මිනිසාට අහිමි වෙනවා.

මූලික වශයෙන් මානවයා අද අත්කරගෙන තිබෙන අවශ්‍යතාවයන් පිළිබඳව නැවත සිතා බැලීමක් කළ යුතුව තිබෙනවා. අපි අපේ අවශ්‍යතාවයන් විද්‍යාත්මක පදනමකින් තොරව සීඝ්‍රයෙන් වර්ධනය කරගැනීමත් සමඟම එ අවශ්‍යතාවලට සරිලන වෙළඳපල ආර්ථිකයක්, කාර්මිකකරණයෙන් ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙනවා. එ වෙළඳපොළ අවශ්‍යතාවයට සරිලන ආකාරයේ ගෝලීය වූ කලාප වශයෙන් හා ජාතික වශයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය වී තිබෙනවා.

පෘථිවියේ ඇති ජලය, වාතය හා පස යන මූලික පදාර්ථ තුන සමතුලිතවයි පවතින්නේ. නමුත් මිනිසා පරිභෝජන අවශ්‍යතා සඳහා වන නිෂ්පාදන හා පරිභෝජන ක්‍රියාවලියේදී එම සමතුලිතතාවය බිඳ වැටී තිබෙනවා. ඇල්බට් අයින්ස්ටයින් නැමති ශ්‍රේෂ්ට දාර්ශනිකයාගේ අදහසට අනුව මානවයාට අද දවසේ මුහුණ දෙන්නට සිදුවී තිබෙන මානසික ප්‍රශ්නවලට පදනම වන්නේ මානවයා සිතන්නට පුරුදු වී සිටින මානසික රාමුව තුළයි. එම කරුණ අවධාරණය කරනොගෙන, ප්‍රශ්නයට මුල් වූ රාමුවෙන් බැහැර නොවී ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. එහෙමනම් ඒ යතාර්ථය තුළ තමයි අද අපිට තිබෙන මෙම ගෝලීය පාරිසරික අර්බුදයට විසිඳුම සොයන්නට හැකි මුලික ගමන් මඟ තිබෙන්නේ.

ජාත්‍යන්තර වශයෙන් සම්මූතීන් හා එකඟතාවයන් ඇති කරගත්තත් අප සිටින මානසික රාමුව නිවැරදිව හඳුනාගෙන එයින් පිටතට නොපැමිණ පාරිසරික අර්බුදයට පිළිතුරු ලබාගන්න මෙම ජාත්‍යන්තර එකඟතාවයන් හෝ සම්මුතීන්වට, නීතිවලට හැකිවන්නේ නැහැ. මෙම ගෝලීය පාරිසරික අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ මානවයා වසර ගණනාවක සිට හුරුවෙලා තිබෙන් පරිභෝජන රටාව තුළය. මෙම රටාව තමයි  ප්‍රශ්ණයට මූලික වන හේතුව. මෙම කරුණු අවබෝධ කරගෙන එයින් පිළියකට නොපැමිණ ඒ තුළ සිට තමයි ජාත්‍යන්තර වශයෙන් පවා මෙ අර්බුදයට විසඳුම් සොයන්නේ. මම විශ්වාස කරනවා ඉදිරි අවුරුදු 5-6ක් ඇතුළත ජාත්‍යන්තර විශ්වාස කරනවා ඉදිරි අවුරුදු 5-6ක් ඇතුලත ජාත්‍යන්තර ප්‍රජාවට ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කළ යථාර්ථයට අවධානය යොමුකිරීමට සිදුවෙනවා. ඒ තරමටම වේගයෙන් අවධානය යොමුකිරීමට සිදුවෙනවා. ඒ තරමටම වේගයෙන් ගෝලීය උෂ්ණත්වය ප්‍රමුඛකරගත් පාරිසරික අර්බුදය වර්ධනය වෙනවා. එසේ නොමැතිව අර්බුදයට විසඳුම්, නව තාක්ෂණයක් සොයාගන්නට සිදුවෙනවා. එය තවත් පාරිසරික අර්බුදයක ආරම්භක පරිච්ඡේදයක් වේවි. ඉදිරි කාලයේදී මෙ තත්ත්වය වර්ධනය වෙනවා. එයට හේතුව ජනගහනයේ වර්ධනයත් අවශ්‍යතාවල ධාරිතාවත් වැඩිවීමයි. ඉපැයීමට සරිලන සම්පත් නැහැ. දැන් අප බලන්න ඕන කොහොමද මෙම පාරිසරික සමතුලිත බව (ජලය, වාතය හා පස යන මූලික පදාර්ථ තුනෙහි සමතුලිතභාවය) නැවත ලඟා කරගන්නේ කියලා. ඒ සඳහා සමාජයක් ලෙස අපගේ පාරිභෝජන රටාව නැවත සරල කරගැනීම අවශ්‍ය වෙනවා. කාර් එක වෙනුවට පාපැදිය භාවිතා කරමුද? තම පරිභෝජනයට අවශ්‍ය ජලය ප්‍රමාණය තා සපයා ගන්නවාද? මෙම කාරණයේදී විශේෂයෙන් විදුලිය හා ජලය කොහොමද අරපිරිමැස්මෙන් පරිහරණය කරන්නේ යන සාධකය ගැන අවධානය යොමු කරන්න වෙනවා. මේ හැම කරුණකදී ම අවශ්‍යතා යන මූලික සාධකය විචාරාත්ක විමසීමකට ලක්කීරීමට අවශ්‍ය වේ. ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගැනීමට මානවයාට සිදුවෙනවා. මේ සඳහා “හරිත“ නැතහොත්  “කොළපාට“ (Green) යනු එක විසඳුමක් පමණි. ආයතනයක, ගොඩනැගිල්ලක් කොළපාට ගස් වැල් ටිකක් වැවීමෙන් මේ අර්බුදයට විසඳුම්  සොයන්න බැහැ. සම්පත් කාර්්‍යක්ෂම ලෙස භාවිතා කිරීමට පුරුදුවීම ඉතාම වැදගත්. යුරෝපයේ රටවල්, ජපානය අද මෙම තත්ත්වය ළඟා කරගෙන තිබෙනවා. ඔවුන් සම්පත් නාස්තිය අවම කිරීමට පුරුදුවී තිබීම ඉතාම වැදගත්. ඔවුන් සම්පත් නාස්තිය අවම කිරීඹට සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නවා. නාස්තිය නැතිකිරීම වගේම නැවත නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි (3R Method) අවධානය යොමුකිරීම ඉතාම වැදගත් කොට සලකා ප්‍රතිපත්ති සම්පාදනයේ සිට දෛනික වැඩකටයුතු කළමනාකරණය කරනවා.

ජලය, බලශක්තිය හා අමුද්‍රව්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හරිත යන සංකල්පයට මූලික පියවර 5ක් පදනම්ව තිබෙනවා. එහි පළමු පියවර තමයි අප ජීවත්වන පරිසරය තුළ ඇති ස්වභාවිකත්වයට හානි නොකිරීම. එම පරිසරයේ ඇති සමතුලිතතාවය (ජලය, වාතය, පස) බිඳනොවැටෙන ලෙස භාවිතයට ගැනීම.

දෙවන කරුණ වන්නේ නිසි ජල කළමනාකරණයයි. තමන් පරිභෝජනය කරන ජලය තමන් විසින්ම කළමනාකරණය කිරීඹ වගේම අවශ්‍යතාවයට පමණක් භාවිතා කිරීම, ජලය අපතේ නොහැරීම, භාවිත ජලය නැවත භාවිතය හා ප්‍රතිචක්‍රීකරණය කිරීම මින් අදහස්වේ. ඒ වගේ ජලය භාවිතා කරන ක්‍රම රාමුව වෙනස් කිරීමත් අවශ්‍යයි.

තුන්වන කාරණය වන්නේ බලශක්තිය භාවිතය ප්‍රශස්ථවීමයි. බලශක්තිය අපතේ නොයවන ක්‍රමෝපායවලටහා උපක්‍රමවලට යාම වැදගත්. ඒ වගේ තාට අවශ්‍ය බල ශක්තිය තමා නිපදවා ගැනීම. මෙහි දී සුර්ය බලශක්තියට යොමුවීම වැදගත්. සමාජයට මෙම අත්දැකීම ලබාදීම අවශ්‍යයි. දැනට වෙළඳ පොලේ සූර්ය කෝෂවලට ඇති මිල ගණන් සූර්ය බලශක්තිය භාවිතය අධෛර්යයට (demotivate) පත්කරනවා. මුල් කාලයේ විදුලිය සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසයි භාවිතා කළේ. නමුත් පසුකාලීනව එය සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. සූර්ය විදුලිකෝෂ සාමාන්‍ය දෙයක් බවට පත් කරගත්ත රටවල් ලෝකයේ ඕන තරම් තියෙනවා.

හතරවන කාරණය වන්නේ ද්‍රව්‍ය සමතුලිතභාවය රැකගැනීමයි. මෙහිදී ද්‍රව්‍ය භාවිතයේදී ඒවා භාවිතා කරන ක්‍රමවේදය, යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය, අනාගත අවශ්‍යතාවය, සමතුලිත කරගත් වත්මන් අවශ්‍යතාවයන් යන කරුණු කෙරේ අවධානය යොමු විය යුතුයි.

පස්වන කරුණ වන්නේ අප විසින් නිර්මාණය කරගන්නා පරිසරය, පරිසර හිතකාමී ලෙසට නිර්මාණය කරගැනීමයි. විශේෂයෙන් නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීමේ දී ස්වභාවික වාතාශ්‍රය, වැස්ස, සුළඟ යන සාධකවලින් ලබාගත හැකි වාසි උපරිම ලෙස ලබාගත හැකි ආකාරයට එම සැලසුම් නිර්මාණය කිරීමයි.

අපේ ඉපැරණි ජන සමාජය ඉහත දැක්වූ මූලික කරුණු 5 පදනම්වයි පරිසරය සමඟ ගනුදෙනු කළේ. විශේෂයෙන් අපේ පැවතුණු කෘෂිකාර්මික ආර්ථික රටාව තුළ මූලික කරගත්තේ ඉර, පස, ජලය යන ස්වාභාවික සම්පත් තුනයි. වැසිවසින කාලය හා ඉඩෝරය ඇති කාලය පිළිවෙලින් අවබෝධ කරගත් ඉපැරණි ශ්‍රී ලාංකිකයන් කාලරාමුවට අවනතව තම කෘෂිකාර්මික කටයුතු කළා. පරිසරය යනු මිනිසාට අයිති දෙයක් නොවන බවත් මිනිසා පෘතුවියට අයිති සත්වයකු බවත් යන මූලධර්මය පදනම්ව ඉපැරණි ශ්‍රී ලාංකිකයන් පාරිසරික ගනුදෙනුව සිදුකළා. පස පරිහරණයේදී කාබනික පොහොර (Organic) භාවිතයට පුරදු වුනා. පසේ ඇති අවශ්‍ය ජීවීන් ආරක්ෂා කරමින් අනවශ්‍ය ජීවීන් ඉවත් කරගත්තා. ජල කළමණාකරණය ඉතා ඉහළ මට්ටමක පැවතුනා. ජලයේ ඇති වටිනාකම පිළිබඳව එම ජන සමාජය තුළ ඉහළ පිළිගැනීමක් තිබුනි. ‘පොළවට වැටෙන සෑම ජල බිදුවක්ම මුහුදට නොයවා ප්‍රයෝජනයට ගත හැකියි‘ මහා පරාක්‍රමබාහු රජතුමා කළ ප්‍රකාශය තුළ ජලයේ ඇති මහඟු අගය කියාපායි. වැසි ඇති කාලයේදීත් වැසි නැති කාලයේදීත් වැව් අමුණුවලින් ජලය ලබාගෙන ස්වභාවික පාරිසරික සමතුලිතභාවය රැකෙන ලෙස ඉපැරණි ලාංකික සමාජ රටාව නිර්මාණය වී තිබුණි.

ඉපැරණි වාරි ශිෂ්ටාචාරය තුළ ප්‍රකට කරන්නේ ජල කළමනාකරණයට ඔවුන් සතු අවබෝධය, දක්ෂතාව හා පාරිසරික සතුලිතභාවය රකිමින් තිරසාර සංවර්ධනයක් ලඟාකරගත් සමාජ සබඳතාවයයි. විශේෂයෙන්ම අපේ ඉපැරණි ගොඩනැගිලි නිර්මාණය ඉහත දැක්වූ මූලික හරිත සංකල්පවල මූලධර්ම ප්‍රකාශ කරයි. මිනිසා විසින් නිර්මාණය කරන දේවල් ස්වභාවික පරිසරය රැකගනිමින් කළ යුතුයි යන පදනමින් සිදු වී තිබෙනවා. අදටත් ඉතිරිව ඇති වෙහෙර හා ගොඩනැගිලි නිර්මාණ මීට කදිම නිදසුනකි.

මෙම යහපත් ක්‍රමවේදයේ බිඳ වැටීමට මුල් වූයේ අපේ රට යටත් විජිතකරණයට ලක්වීමයි. එම රටවලට අවශ්‍ය කරන මූලික ආහාර ද්‍රව්‍ය වගාකිරීම සඳහා අපේ රටේ කෘෂිකාර්මික ක්‍රමවේදය වෙනස් කිරීම මත අපේ තිරසාර ක්‍රමවේදය බිඳ වැටුනා. නමුත් යුරෝපය තුළ කාර්මීකකරණයේදී තමන් සාම්ප්‍රදායික කෘෂි ජීවන රටාවේ හරයන් සමඟ කාර්මීකරණයට ලක්වීම නිසා ඔවුන් අදටත් තිරසාර සංවර්ධනය තුළ ඉදිරියෙන් සිටිනවා.

අපේ රට නැවතත් තිරසාර සංවර්ධනයක් තුළ ස්ථාපිත කිරී හරිම පහසුයි කියලයි  විශ්වාස කරන්නේ. ඒ සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තීන් නොව දිගුකාලීන ප්‍රතිපත්තීන් සැලසුම් කිරීම සුදුසුයි. මැදපෙරදිග කලාපයේ රටවල්වල තෙල් සම්පත අවසාන වූ විට ආර්ථිකය අර්බුදයකට ලක්වීමේ අවධානමක් තිබෙනවා. නමුත් අපේ රට තව අවුරුදු ගණනාවක් ගියත් එහෙම වන්නේ නැහැ. මොකද අපේ සම්පත භූමිය හා මානව සම්පත නිසා. අපේ මානව සම්පත පාරිසරික සුරක්ෂිතභාවය රැකගැනීමට අවශ්‍ය කරන දැනුම ආකරල්ප හා අවබෝධයන්ගෙන් සන්නද්ධ කළ යුතුවෙනවා. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කළ යුතුය.

මෙහිදී මා යෝජනා කරන කරුණ වන්නේ ජනතාව තුළ විනය ඇති කිරීමයි. අපේ රටේ පාරිසරික සුරක්ෂිතභාවය රැකීමට එම විනය ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍යයි. එය නීති මගින් හෝ කළ යුතුයි. ජපානයේදී අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් මා ලද අත්දැකීම නම් ඵාලත් පාලන ආයතනය විසින් අපද්‍රව්‍ය එකතු කිරීමට අදාල රථ පැමිණෙන කාලසටහන (වසර පුරාවට) වසර ආරම්භයේදී ම ඔවුන් අපට ලබාදීමයි. එවිට මට සිදුවෙනවා ඒ දිනයට අප නිවසේ අපද්‍රව්‍ය බැහැර කරන්න. කිරි පැකැට් එකක් බිව්වා ඒක පිරිසිදු කරලා බැහැර කළ යුතුයි. අදාල කසළ බඳුන්වල මිස කිසිම අපද්‍රව්‍යයක් පරිසරයට මුදා හරින්න බැහැ. මේ විනය හැබැවින්ම අමුත්තක්. ජපන් වැසියන් සුනාමි ආපදාවක දී දුරකථන පණිවිඩයක් ගැනීට සන්සුන්ව තමන්ගේ වාරය පැමිණෙනතුරු පෝලිමේ සිටින ආකාරය මුළු ලෝකයම දැක්කා. අපේ රටේ කාර් එකක යන කෙනෙක් කහ ඉර මාරුවෙන මගියාට නලාව ශබ්ද කරනවා ඉක්මන් වෙන ලෙසට. මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

දෙවන වැදගත් ම කාරණය තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය තුළ ඇති කළ යුතු වෙනස. අධ්‍යාපනයේ අද ඇති මූලික පරමාර්ථ වෙනස් කරමින් මෙම ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනසක් ලංකාව තුළ සිදුකළ යුතුයි. අධ්‍යාපනය යනු සහතිකයක් ලබාගන්නා දෙයක් බවට පත් නොකළ යුතුයි. පංතියක කෙනෙක් පළවෙනියා වෙද්දි තව කෙනෙක් අන්තිමයා වුනා ම මොකක්ද ඇතිවෙන ප්‍රතිඵලය. අධ්‍යාපනයේ අවසාන ඉලක්කය විය යුත්තේ සහතිකයක් ලබාගැනීමට විභාග සමත් වෙනවා වෙනුවට තමා තෘප්තිමත් වීම සිදුවීමයි. අධ්‍යාපනය යනු පාසල් කාලයේ ලබාගන්නා දැනුම උපයෝගී කරගෙන සමාජයට ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නක් විය යුතුයි. පාසැල් කාලය තුළ අධ්‍යාපනය දිය යුත්තේ තන්ගේ වැඩ තමන් කරගැනීමට අවශ්‍ය හැකියාව ලබාදීමයි.

අපද්‍රව්‍ය කළනාකරණයට යොමුවීම අත්‍යාවශ්‍යයි. එහෙම නැති වුණොත් අප විසින් උත්පාදනය කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඉහළ ධනයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණය නොවීම නිසා සෞඛ්‍ය ගැටළු ඇති වෙනවා. රටේ මානව සම්පත් නිසි ආකාරයට කළමණාකරණය කරගැනීම අවශ්‍යයි. ඒ සඳහා දැනුම ආකල්ප දියුණු කළ යුතුය. පරිසරයේ සමතුලිතභාවය, අපද්‍රව්‍ය කළමනාකරණයට ජනතාව රැගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති හා උපක්‍රම සම්පාදනය කල යුතුය. ජපානයේ මුල් කාලයේ තරඟයක් පැවැත්වුණා ඒ තමයි රටේ සෑම පුද්ගලයෙක්ටම රේඩියෝවක් නිෂ්පාදනය කිරීමේ තරඟය. එහි අවසාන ප්‍රතිඵලය වුණේ රේඩියෝවක් නිපදවීම සාමාන්‍ය දෙයක් බවට පත්වීමයි. මානව සම්පත උසස් ලෙස දැනුමින් සන්නද්ධ වුණා. අපේ රටේ දැනට වෙන්නේ මානවයා විසින්ම පිළියෙල කරන ලද කසල ගොඩවල් මානවයා විසින් ඉවත් කිරීමේ ක්‍රමවේදයයි. ඒ නිසා මානව සම්පත නිසි ලෙස කළමනාකරණය වෙන්නේ නැහැ. එසේ නම් ශ්‍රී ලාංකීය ජනතාවට නැවත තිරසාර සංවර්ධනයක් සඳහා යාමට හිතකර පාරිසරික තත්වයන් නිර්මාණය කරගැනීමට කළහැක්කේ කුමක්ද?

පළමුව මා දකින්නේ ඒ සඳහා අපට තවම කාලය ඇති බවට විශ්වාසයක් ඇති කරගැනීමයි. දෙවනුව ඉපැරණි මුතුන් මිත්තන් සිතූ ආකාරයට අපි පෘථිවියට අයත් සත්ත්ව කොට්ඨාශයක් මිස පෘථිවිය අපට අයත් දෙයක් නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගැනීමයි. තෙවනුව ධනාත්මක ආකල්පයෙන් යුත් පුරවැසියන් බවට පත්විය යුතුයි. උගත් බුද්ධිමත් ප්‍රජාව විනයගරුක වීම ඒ අනුවම කළයුතුයි. වරක් මහත්මා ගාන්ධිතුමා ළඟට සීනි අධිකව පරිභෝජනය කරන දරුවකු උපදෙස් සඳහා යොමුකළ විට එතුමා එසැනින් අවවාද නොකර ප්‍රකාශ කලේ තව සති 2න් දරුවා රැගෙන එන ලෙසයි. සති දෙකකින් පැමිණි පසු වැඩිපුර සීනි කෑම ශරීරයට හොඳ නැති දෙයක් බවට ගාන්ධිතුමා දරුවාට අවවාද කරනු ලැබුවා. පෙර අවස්ථාවේදීම මෙම අවවාදය නොදී සති 2න් පැවසුවේ මන්දැයි දරුවාගේ පියා ගාන්ධිතුමාගෙන් විමසා සිටියා. දරුවාට අවවාද කිරීමට පෙර තමාගේ සීනි පරිභෝජන මට්ටම අවම කරගැනීමට සති දෙකක කාලයක් අවශ්‍ය වූ බව ගාන්ධිතුමා පවසා සිටියා. මේ ලෙසට ස්වයං විනයක් ඇති කරගැනීමට සමස්ථ ශ්‍රී ලාංකිකයින්ම පුරුදු පුහුණු විය යුතුයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ආර්. ඒ. අත්තලගේ මහතා
නියෝජ්‍ය උපකුලපති
මොරටුව විශ්ව විද්‍යාලය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ‘සඵල පුවත්‘ සඟරාවේ ජනවාරි - පෙබරවාරී කාලාපය වෙනුවෙන් ලියවුණු ලිපියකි.