ලිංගිකත්වය කියන්නෙ යකෙක් නෙමෙයි - උපුල් ශාන්ත සන්නස්ගල

ලේක් හවුස් ආයතනයේ තරුණි පුවත්පත සඳහා මාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තේය. එය පුවත්පතේ පළ වූයේ නැත. කර්තෘවරයා දුරකතනයෙන් පැවසුවේ මා දුන් පිළිතුරු පුවත්පතට නොගැළපෙන බවයි. පහත පළ වන්නේ පත්තරේ ප්‍රශ්න සහ මාගේ පිළිතුරු ය. ඇත්තට ම ලංකාවේ තරුණියන් මේ පිළිතුරු කියවිය යුතු නැද්ද ?

01. පෙම්වතෙකු සොයා ගැනීමේ දී ගැහැනු ළමයෙකු සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?
ලෝක ඉතිහාසයේ එදා ඉඳන් අද වන තෙක් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයා ගැනීම සම්බන්ධව ගණිතමය, සමීකරණමය සූත‍්‍රයක් තිබෙනවා නම් ලෝකයේ පෙම්වතුන්ගේ ජීවිතය, විවාහය පරමාදර්ශී තැනක තියෙයි. කිසි ම ආගමික ශාස්තෘවරයෙක්වත්, මාක්ස්වාදියෙක්වත්, සමාජ විශ්ලේෂකයෙක්වත් ඒ සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කර තිබුණත් කරුණුමය වශයෙන් සිද්ධාන්තයක් ගොඩනඟා නැහැ. ඒත් අපේ වාගේ රටවල්වල ආගමික සංස්කෘතිය ඇතුළෙ එක එක කාලවල විවාහය, පේ‍්‍රමය සම්බන්ධව වැඩිහිටි අද්දැකීම් තරුණ පරම්පරාව මත පටවනවා. හැබැයි ඒ වැඩිහිටි අද්දැකීම විසි එක්වෙනි සියවසේ පරම්පරාවට තේරෙන්නෙ නෑ. ඒ නිසා වර්තමාන යෞවන යෞවනියන් විකාර සහගත ජීවිත ගෙවන බවත්, ඔවුන් වඩාත් සැලකිලිමත් විය යුතු බවටත් පූර්ව විනිශ්චයක ඉන්න වැඩිහිටියන් අණපනත් පනවනවා. අණපනත් හෝ එකී විනිශ්චයන්ට පේ‍්‍රමය විශ්ලේෂණය කරන්න බැහැ. ඒ නිසා මං විශ්වාස කරන්නෙ ඒක පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වන ස්වකීය සිතිවිලි පද්ධතිය සහ අද්දැකීම් විසින් ගොඩනඟන සංකල්පයක් කියලා. ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. පේ‍්‍රමය, ලිංගිකත්වය සහ විවාහය ඒක කේන්ද්‍රීය සංකල්පයක් ලෙස කුටුම්භගත කිරීම යල්පැන ගිය අදහසක්. මේ කාරණා තුන වෙන් වෙන් ව වුණත් අද්දකින තරුණ පරම්පරාවක් ඉන්නවා. ඔවුන්ට සමීකරණ හදන්න බෑ. එම නිසා පෙම්වතෙකු සොයා ගැනීම ස්වයංසිද්ධ කාරණාවක් මිසක් අනෙකාට වුවමනා ලෙස, අනෙකාගේ අවශ්‍යතාවයේ රාමුවට වැටෙන සම්බන්ධයක් විය යුතු නැහැ. එකිනෙකාගේ සම්බන්ධතා තියෙන්නෙ එකිනෙකාගේ අනන්‍යතා සහ අවශ්‍යතා මතයි. ඒ සම්බන්ධව ‘සැලකිලිමත් විය යුතු කරුණු’ යනු ව්‍යාජ අදහසක් පමණයි. එහි සත්‍ය අදහස එකිනෙකාට වෙනස්.

02. පෙම්වතාගේ මොන වගේ ගතිලක්ෂණ ද ගැහැනු ළමයෙක් බලාපොරොත්තු වෙන්නෙ ?
මේ ලෝකෙ ගැහැනු ළමයි හෝ පිරිමි ළමයි ෆොටෝ කොපි ගහපු අය නෙමෙයි. ෆොටෝ කොපි සීයක් විතර ගත්තොත් නම් ඒකෙ සමාන ගති ලක්ෂණ, වර්ණ, හැඩය, කොළයෙ ප‍්‍රමාණය, එහි කල්පැවැත්ම, කොලිටි එක, විලාසිතාව වාගේ දේවල් සලකා බලන්න පුළුවන්. මේ විශ්වයේ කිසිම දවසක අතීතයේවත් වර්තමානයේවත් එක වගේ දෙන්නෙක් ඉඳලා නෑ. අනාගතයේදීත් ජාන බද්ධ කරලා ෆොටෝ කොපි වගේ ළමයි දෙන්නෙක් හැදුවත් ඒ දෙන්නා එකිනෙකාට වෙනස්. අනෙකාගේ ගති ලක්ෂණ අපි සමාන කරන්නෙ කොහොම ද අපේ ගති ලක්ෂණත් මොහොතින් මොහොත වෙනස් වෙන ලෝකයක් ඇතුළෙ. අවුරුදු හතේ අටේ වයසෙ ගැහැනු ළමයෙක් හිතන විදිහට අවුරුදු පහළොවේ ගැහැනු ළමයෙක් හිතනවා නම් එයා මන්දමානසික තත්ත්වයක ඉන්න ඕන. අවුරුදු දහ අටේ ගැහැනු ළමයෙක් අවුරුදු විසි තුනේදිත් පරණ සිතිවිල්ලෙ ම හෝ පරණ අදහසේ ම ඉන්නවා නම් ලෝකෙ දැනුම සහ බුද්ධිය අවශෝෂණය කර නො ගත්ත කෙනෙක්. මොළේවත් හදවතවත් නො වැඩුණ කෙනෙක්. අවුරුදු තිස් පහේදිත් පනහේදිත් ස්ත‍්‍රිය හිතන විදිහ වෙනස්. ඒ කියන්නෙ ගැහැනිය තමන් ඇතුළෙත් වෙනස් වෙනවා. තමන් ඇතුළෙ වෙනස් වෙන කෙනෙක්ට තමන් එක්ක පේ‍්‍රම කරන හෝ විවාහ වෙන හෝ අනෙකාගෙන් නො වෙනස් වන ගති ලක්ෂණ හොයන්න පුළුවන් ද ? මනුෂ්‍යයෝ විතරක් නෙමෙයි ලෝකයේ අජීවී දේවලුත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ හින්දා එක එක කාලේ පෙම්වතාගෙන්, සහකරුවාගෙන්, විවාහක ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන ගති ලක්ෂණ වෙනස්. ස්ත‍්‍රිය ඇතැම් වෙලාවට පේ‍්‍රම කරද්දි නො ඉල්ලූ දේ විවාහයෙන් පස්සෙ ඉල්ලන්න පුළුවන්. ඒක රැවටීමක් නෙමෙයි. ඒක ස්වභාවය. ස්වභාවය ඒක නම් කවුරුවත් කාගෙවත් ගති ලක්ෂණ හොයන එක අර්ථ විරහිත දෙයක්. එකඟතාවයට පත් වීමට, ආදරය කිරීමට, බෙදාහදා ගැනීමට වර්තමාන පරම්පරාව කියන්නේ ‘ෂෙයාරින්’ කරගන්නවා කියලා. එහෙම කරන්නේ ම තමන්ට යමක් බෙදාහදාගන්න පුළුවන් කෙනෙක් එක්ක. ඒක තමයි ගතිලක්ෂණය. ඒක සදාකාලික දෙයක් නෙමෙයි. ඒකත් වෙනස් වෙන දෙයක්.

03. ගැහැනු ළමයෙක් පෙම්වතියක් වූ පසු තමන්ට තමන් නැති වෙනවා, ගතිගුණ වෙනස් වෙනවා. 
එහෙම වෙන්නෙ ඇයි ?
පේ‍්‍රම කිරීම යන්නෙන් අදහස් කරන්නෙ මොකක් ද? ‘මට ඕන විදිහට මට ඉන්න දෙන එක’ තමයි පේ‍්‍රම කරන අනෙකා කරන්න ඕන දේ. තමන්ට තමන් නැති වෙනවා නම් ඒක පේ‍්‍රමය නෙමෙයි වහල්කම; යටත් වීම වගේ වැඩවසම් අර්ථයක් තියෙන්නෙ. ගෘහස්ථ හිංසනය වගේ විෂයයන් කතා කරන්න වෙන්නෙ එහෙම වුණාට පස්සෙ. ගැහැනියක් හෝ පිරිමියෙක් හෝ පේ‍්‍රම කරද්දි පළමුව තමන් ඉතිරි වෙන්න ඕන. පේ‍්‍රමයේදී තමන් නැති වෙනවා නම් ඒක පේ‍්‍රමය නෙමෙයි. ඒක ගොදුරු වීමක්. ඇතැම් වෙලාවට ‘තඩි පිරිමි’ ලක්ෂණයට, ආගමට, මුදලට, ජනප‍්‍රියකමට, සිවිල් බලයට, ආධිපත්‍යයට, සමාජ සම්බන්ධතාවලට, සංස්කෘතියට තියෙන අනියත බිය සහ අසීමිත සමාජ, සංස්කෘතික ආශාවන් විසින් ස්ත‍්‍රියක් පිරිමියෙකුට ගොදුරු වෙන්න පුළුවන්. ඊට පස්සෙ එයා නැති වෙනවා. රූපය, හැඩය පවා නැති වෙනවා. අදහස් වෙනස් වෙනවා. හුඟක් නිළියො මුදලාලි කෙනෙක් කසාද බැන්දහම රඟපාන එක නවත්වන්නෙ ඒ නිසා. මුදලාලිට ඕන විදිහට ජීවත් වෙලා ‘මං පවුලට පළමු තැන දුන්නා’ කියනවා. එතැන වෙලා තියෙන්නෙ මුදලාලිගෙ ආර්ථික ශක්තියට යටත් වීම. ඒක පේ‍්‍රමය විදිහට අර්ථ දක්වන්න බැහැ. ඊට පස්සෙ මුදලාලිගෙ තින්කින් එක නිළියගෙ කටින් පත්තර පිටු පුරා එළියට එනවා. ඊට පස්සෙ නිළිය නැති වෙනවා. කිවිඳිය නැති වෙනවා. ක‍්‍රීඩිකාව නැති වෙනවා. ලේඛිකාව නැති වෙනවා. නර්තන ශිල්පිනිය නැති වෙනවා. ඉගෙන ගන්න කෙල්ල නැති වෙනවා. විලාසිතා නැති වෙනවා. ස්වාධීන චින්තනය නැති වෙනවා. කටහඬ බිරිඳගෙ වුණාට ඒක පිටිපස්සෙ ඉන්නෙ බලයෙන් ඇයව යටත් කර ගන්න කෙනා. ඒ කිසිවක් පේ‍්‍රමය ලෙස අර්ථ දක්වන්න බැහැ. පේ‍්‍රමයේදී කිසිවෙකුට කිසිවෙකු නැති වෙන්න බැහැ. පේ‍්‍රමයේදී සිද්ධ වෙන්න ඕන දෙදෙනා ඉතිරි වීම සහ දෙදෙනාට ම තවත් දේ එකතු වීම.

04. පේ‍්‍රමයේදී ලිංගිකත්වයට මුල් තැන දීම පිළිබඳ ඔබේ අදහස ?
ඒ ප‍්‍රශ්නෙම තියෙනවා අපේ වාගේ ගෝත‍්‍රවාදී රටක් ලිංගිකත්වයට මොන තරම් බයයි ද කියන කුහක අදහස. ලිංගිකත්වය කියලා කියන්නෙ ස්ත‍්‍රියක් සහ පිරිමියෙක් අබිරමණය කිරීම ම නෙමෙයි. දැකීම, ස්පර්ශ කිරීම, කතා කිරීම, සිතිවිලි බෙදා ගැනීම, ආශා කිරීම යනාදී සියල්ල ලිංගිකත්වයේ කොටස්. ලංකාව සලකන්නෙ හරියට පේ‍්‍රමය සම්බුද්ධ නම් ලිංගිකත්වය දේවදත්ත වගේ. පේ‍්‍රමය සක‍්‍රයා නම් ලිංගිකත්වය යක්ෂයා වගේ. එතන ම තමයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ලෝකෙ කොහෙද ලිංගිකත්වයෙන් තොර ව පේ‍්‍රමයක් තියෙන්නෙ? නමයෙ පන්තියෙ ප‍්‍රජනනය පාඩම හරියට ඉගැන්නුවා නම් ලංකාවෙ කෙල්ලන්ටවත් කොල්ලන්ටවත් ඔය වින්නැහිය වෙන්නෙ නෑ. පේ‍්‍රමය විෂයයක්. ලිංගිකත්වය සංස්කෘතියක්. අපේ වැඩිහිටියො අපිට ඉගැන්නුවෙ ආනන්දයෙන් ප‍්‍රඥාවට යන්න කියලා. එහෙම නැතුව ප‍්‍රඥාව අත්පත් කරගන්න බෑ කියලා. ඒක හරියට මුලින් පේ‍්‍රම කරන්න බැන්දට පස්සෙ සෙක්ස් කරන්න වගේ අදහසක්. ඒ කියන්නෙ පළමුව පේ‍්‍රමය, දෙවනුව ලිංගිකත්වය. ආනන්දයේ සිට ප‍්‍රඥාවට යනවා වගේ පේ‍්‍රමයේ සිට ලිංගිකත්වයට යනවා. මේක සම්පූර්ණ බොරුවක්. සම්පූර්ණ මිථ්‍යාවක්. ප‍්‍රඥාවෙන් යමක් අත්පත් කරගෙන ආනන්දය ලබන්න පුළුවන්. මං හිතන්නෙ ප‍්‍රඥාව නැති ගොඩක් අයට ආනන්දය නෑ කියලා. ඒ වගේ පේ‍්‍රමයෙන් ලිංගිකත්වයට යන්න පුළුවන් නම් ලිංගිකත්වයෙන් පේ‍්‍රමයට එන්නත් පුළුවන්. ලිංගිකත්වය කියන්නෙ යකෙක් නෙමෙයි.

තරුණි පුවත්පත මාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගත්තේ ය. ඒ පෙම්වතුන්ගේ දිනය වෙනුවෙනි. එය පුවත්පතේ පළ වූයේ නැත. තරුණි පුවත්පතේ කර්තෘවරයා මෙසේ කීවේ ය. 
‘අදහස් ටික නම් හොඳට තියෙනවා. තරුණි පත්තරේට ගැළපෙන්නෙ නෑ. ඒ නිසා දැම්මෙ නෑ. ටිකක් ගැඹුරු වැඩියි.’

උපුල් ශාන්ත සන්නස්ගල