Views: 531

කප්පම් නොගෙන සෝමාලියානු කොල්ලකරුවන් ශ්‍රී ලංකාවේ නාවිකයින් සහ නැව මුදාහරියි

Share this article   

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවේ සේවය කළ නැව සහ ශ්‍රී ලාංකික කපිතාන් ඇතුළු අටදෙනා නිදහස් කර තිබේ.

මොවුන් මේ වන විට අදාළ මුහුදු සීමාවෙන් පිටතට ගමන් කරමින් සිටින බව එම ශ්‍රී ලාංකික පිරිසකගෙන් අයෙකු තහවුරු කර ඇති අතර පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නැව මුදාහැරීම සඳහා මෙම කොල්ලකරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා තිබුණද, ශ්‍රී ලාංකික පිරිස මුදාහැරීම සඳහා කප්පම් මුදලක් හෝ කිසිදු අයකර ගැනීමක් සිදුකර නොමැත.

මේ පිළිබඳව සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහනයට ලක්වීමෙන් පසු තමන් ලැබූ අත්දැකීම පිළිබඳ අදහස් දැක්වු කාර්ය මණ්ඩල නිලධාරී දිලීප් නිශාන් මහතා,

“ ඇත්තටම අපි නිදහස් වුණා සෝමාලියානු වෙලාවෙන් සවස 6 ට පමණ. අපි තවම හරියට හේතුවෙක් දන්නෙ නෑ. ඒගොල්ලො අපිට එක පාරටම කිව්වා අපිව නිදහස් කරනවා කියල නොහිතපු වෙලාවක. දැන් අපි යනවා බොසාසෝ වරායට. ආරක්ෂක අංශ නිලධාරීන් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. රජයෙන් අපිට ගොඩක් ලොකු සහයෝගයක් හම්බුණා. අපි හිතන්නේ රජයේ බලපෑම මත අපිට නිදහස් වීමට හැකි වුණා කියලා. මංගල සමරවීර මහතා අපිට පුද්ගලිකව කතා කළා. රජයට සහ අනෙකුත් ආයතනවලට බොහොම ස්තූතියි අපිව නිදහස් කරගන්න කැපවෙලා අන්තිම මොහොතෙත් කටයුතු කරපු එකට. අපි හිටියේ සෑහෙන මරණ බියෙන්, හම්බුණාම කතා කරමු ” යැයි ප්‍රකාශ කර තිබේ.

කිසිදු කොන්දේසියකින් තොරව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැව, එහි නිලධාරීන් සමග මුදා හැර තිබේ. ඒ අනුව නෞකාව සෝමාලියාවේ බොසාසෝ වරායට රැගෙන එමින් තිබේ.