Views: 198

අපිට අමතක ඔවුන් අපේම පිරිසකි

Share this article   

ආබාධිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය යෙදි තිබුනේ පසුගිය දෙසැම්බර් 03දාටය. මීට දශක ගණනාවකට පෙර ආබාධිත පුද්ගලයන් පිළිබදව සමාජය තුල පැවතියේ ඉතාමත් අසුබවාදී ආකල්පයන්ය. ආබාධිත දරුවකුගේ උපත එම පවුලට මහත්වු විපතක් ගෙන දෙන දෙයකැයි සිතූ ඔවුන් එම දරුවන් සමාජයෙන් වසන් කර නිවසේ වෙනම ස්ථානයක සගවා තබන ලදී.

ඔවුනට කෑම බීම සහ ඇදුම් පැළදුම් පමණක් සැපයීම ප්‍රමාණවත් යැයි සිතූ ඔවුන් ඔවුනගේ අනෙකුත් අයිතිවාසිකම් ගැන නොතැකූහ.. ඔවුන් අනුනගෙන් යැපෙන පිරිසක් බවට නිතැතින්ම පත්ව සිටියහ.එබැවින් එවකට ආබාධිත පුද්ගලයෙකු පිලිබදව සිහිපත් කිරීමේදී නිතැතින්ම සිහියට නැගෙන්නේ වැරහැලි ඇදුම් වලින් යුත් අපිරිසිදු රුවකි. එමතුදු නොව ඔවුන් හැදින්වීමට එවකට සමාජය නොයෙක් උපහාසාත්මක නාමයන් පාවිච්චි කලහ.

එහෙත් 20වන සියවසේ අග භාගයේදී සිදුවූ තාක්ෂණික දියුණුව ලොව සෑම කෙෂ්ත්‍රයක් කෙරෙහිම බලපෑම් කිරීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය විද්‍යාව ඇතුඑ විද්‍යාවන්ගේ සිදුවූ සීග්‍ර දියුණුවත් සමග ජන ජීවිතය වඩ වඩාත් යහපත් අතට පත්විය. මිනිසුන් තුල චින්තන විප්ලවයක් ඇති කිරිමටද එතුලින් හැකි විය. එම බලපෑම ආබාධිත ප්‍රජාවගේ ජිවන තත්වයද වඩාත් යහපත් අතට පෙරලිමට සමත් විය. අද වන විට ලොව බොහෝ රටවල් ආබාධිත ජනතාවටද සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව පිළිගෙන ඔවුන් සදහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ඔවුන් එම රටවල සංවර්ධනයේ මුල් පෙලේ කොටස්කරුවන් බවට පත් කරගෙන ඇත. අද වන විට ලෝකයේ දියුණු රටවල ආබාධිත පුද්ගලයන් තම අයිතින් දිනා ගනිමින් සම්පුර්ණයෙන්ම ස්වාධින ජිවිත ගත කිරිමට සමත්ව ඇත. එපමණක් නොව අද ඔවුන් ආබාධිත නොවන පුද්ගලයන්ව දිරිගන්වන පිරිසක් බවටද පත්ව සිටිති.

එහෙත් ලොව දියුණු රටවල් වලට සාපේක්ෂව බැලිමේදී දියුණු වෙමින් පවතින රටවල ආබාධිත පුද්ගලයන්ගේ ජිවන තත්වය තවමත් සැලකිය යුතු මට්ටමකින් දියුණුවි නැත. සමාජ ආකල්ප භූගෝලීය සාධක ආදායම් මට්ටම, එම රටවල රාජ්‍ය ප්‍රතිපත්තින් වල පවතින දුර්වලතා ආදි කරුණු නිසා ඔවුන් තවමත් අදුරේ දිවි ගෙවන පිරිසක් බවට පත්ව සිටිති. ඔවුන් සතුව කෙතරම් හැකියාවන් තිබුනද ඉහත සදහන් බාධා හමුවේ ඔවුනගේ ආත්මශක්තිය හීන වී ඇති පිරිසක් බවට පත්ව ඇත. ශ්‍රි ලංකාවේ ආබාධිත ප්‍රජාව පිළිබදව සැලකීමේදී මෙම තත්වය වඩාත් කැපී පෙනේ. දැනට ලක්ෂ 16ක් පමණ වන ආබාධිත ජනගහනය වසරක් පාසා වැඩිවෙමින් පවතින අතර ඔවුනගේ ජිවන තත්වය හා බැදුනු ගැටඑද දිනෙන් දින වර්ධනය වෙමින් පවති. ආබාධිත පුද්ගලයන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තිය ආදර්ශයට ගනිමින් අප රටද ආබාධිත පුද්ගලයන් පිළිබද ප්‍රඥප්තියක් සහ ඒ පිළිබද ක්‍රියාකාරි සැලැස්මක්ද සකස් කර ඇත.

ආබාධිත පුද්ගලයන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 33 වන පරිච්ඡේදයේ සදහන් ආකාරයට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ පත්කරන ලද ස්වාධින කොමිසමක් මගින් ඉහත කී ක්‍රියාකාරි සැලැස්මේ සදහන් යෝජනා ක්‍රියාවට නැංවිය යුතුය යන්න එම ප්‍රඥප්තියේ සදහන් එක් යෝජනාවකි. ක්‍රියාකාරි සැලැස්මේ සදහන් එක් එක් යෝජනා ක්‍රියාවට නැංවීම එක් එක් අමාත්‍යාංශයන් යටතට පැවරී ඇත. එහෙත් ඉහත කී අමාත්‍යාංශ වල අමාත්‍යවරුනට එම යෝජනා ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අනුමැතිය නොමැතිව කල නොහැක. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ පත්කරන ලද ස්වාධින කොමිෂන් සභාවක් නිර්දේශ කර ඇත්තේ එබැවිනි. මෙම ප්‍රඥප්තිය සකස් කරන ලද්දේ 98 වසරේදිය. එයට අනුමැතිය ලැබී ඇත්තේ 2015 වසරෙදිය. එහෙත් මෙතෙක් එම සැලැස්ම ක්‍රියාවට නංවන ආකාරයක් පෙනෙන්නට නැත.. එබැවින් ආබාධිත ප්‍රජාවගේ ගැටළු වලට විසදුම් පෙනෙන තෙක් මානයක නැත. අපට නුදුරු රටවන ඉන්දියාව පවා ආබාධිත පුද්ගලයන්ගේ අයිතින් සුරකිමින් ඔවුන් තම රටේ ශ්‍රම බලකායට හවුල් කරගනිමින් සිටියදී අප රට තවමත් ඒ සදහා කිසිදු සූදානමක් නැත.

මෙම ප්‍රඥප්තිය ක්‍රියාවට නංවා ඔවුනට පහසුකම් සලසා ඔවුනට ස්වාධීනව ජීවත්වීමට සුදුසු පරිසරයක් සකස් කර දෙන්නේ නම් ඔවුනද රටේ සවර්ධනයේ මුල් පෙලේ කොටස්කරුවන් වනු ඇත. අප රටද අනෙක් රටවල් අතරින් විශිෂ්ඨම රටක් වනු ඇත. දේශපාලනඥයන් පමණක් නොව මානව දයාවෙන් යුත් ඒ වෙනුවෙන් කැප වුනු අප රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුම මේ කරුණ පිළිබදව සිත යොමු කල යුතුය. ඒ සදහා ක්‍රියාත්මක විය යුතුය.

- පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවන අපේම සොයුරියක් විසින් ලියූ ලිපියකි.