Views: 1,210

සමාජ ජාල තුල ඔබේ ඡායාරූපය බොහෝ දේ පවසාවි.

Share this article   

අපි සෑමකෙනෙකුම Facebook, Instagram, Twitter, LinkedIn, Google Plus සහ අනෙකුත් සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන අතර අපි කිසිදු දිනක සමහරවිට අපේ සමාජ ජාල ගිණුම්තුල ඇති ප්‍රධාන ඡායාරූප (Profile Pictures) ගැන සැලකිලිමත් නොවන්නට ඇති. ඔබ දන්නවාද? එයින් ඔබේ සමාජ ප්‍රතිරූපය ගොඩනැගිය හැකි බව? ඔබ සිතනවා නම් ඔබේ ඡායාරූපය කුමක් හෝ වුවාට කමක් නැහැ කියා, නැවත සිතා බලන්න.
 
ඉතා සිත්ගන්නා සුළු ඡායාරූපයක් ඇති සමාජ ජාල ගිණුමක් (Profile) නැත්නම් පිටුවක් (Page) වෙත පිරිස ඇදී එන පිරිස එසේ නොමැති ගිණුමක් වෙත එන පිරිස මෙන් සත් ගුණයකින් වැඩි බව සොයාගෙන ඇත. එක් මානසික විද්‍යාව හා සබැදි පරීක්ෂණයකින් සොයාගෙන ඇති පරිදි එක් පුද්ගලයෙකු ගැන තවත් පුද්ගලයකුට දළ අදහසක් ගැනීමට ඔහුගේ ඡායාරූපය බැලීමෙන් තත්පරයකටත් වඩා අඩු කාලයක් ගත වන බව සොයාගෙන ඇත. ඔබට ඔබේ සමාජ ජාල ප්‍රතිරූපය ගොඩනැගීමට අවැසි නම් පහත සදහන් ක්‍රම අනුගමනය කිරීමෙන් වඩාත් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි බව අවබෝධ කරගන්න.


පලමුව ඔබ සත්‍ය පුද්ගලයෙකු බව පෙන්වීමට ඔබේ සත්‍ය ඡායාරූපයක් පලකල යුතුවේ. ඊට හේතුව බොහෝ ව්‍යාජ සමාජ ජාල ගිණුම් පවතින හෙයින් ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමේ එක් ක්‍රමයක් වනුයේ ඔබේ යථා ස්වරූපය ලොවට පෙන්වීමට ඔබේ සත්‍ය ඡායාරූපයක් එක්කරගැනීමය. එම නිසා කිසිදු කාටූන් චිත්‍රයක්, ඔබේ සුරතලාගේ ඡායාරූපයක්, බෝනික්කන්, සත්ව රූප සහ මූර්ති රූප ඔබේ සමාජ ජාල ගිණුම්වල ප්‍රධාන ඡායාරූපය ලෙස එක්කර නොගන්නට වගබලා ගන්න.

එමෙන්ම ඉතා සිත්ගන්නා සුළු ඡායාරූපයක් එක්කරගැනීමට වගබලාගන්න. අතිශෝක්තියෙන් තොර ඔබේ සමාන්‍ය ජීවිතයේ ඉතා සිත්ගන්නා සුළු ආකාරයට සැරසී ගන්නා ලද ඡායාරූපයක් මීට වඩාත් උචිතවේ.



සිනා නොමසන් දසන් දක්වා යන පැරණි කියමන ඔබ අසා ඇති. එය සමාජ ජාල වලටත් එසේමය. ඒ අනුව යමින් මවාගත් ව්‍යාජ සිනහවකට වඩා ඔබේ සාමාන්‍ය සිනහව අන්තර්ගත ඡායාරූපයක් මේ සඳහා වඩාත් උචිත වේ. කොක්හඬලා සිනාවෙන ඡායාරූපද මේ සඳහා එක්කර නොගන්නට වගබලා ගන්න. එමගින් ඔබ කිසිදා නොදුටු පුද්ගලයෙක් ඔබගැන වැරදි අකල්පයක් සමාජජාල ඔස්සේ දුටුව පලමුදාම ඇතිකරගන්නට පුළුවන. මතක තබා ගන්න ඔබ නොදන්නවා වුණාට ඔබ අවට සිටින පිරිස ඔබට හොරෙන් ඔබේ සමාජ ජාල ගිණුම් පිරික්සන බව. ඒ අතර ඔබේ මිතුරන්ද ඔබේ සතුරන්ද සිටිය හැකි බව සැමවිටම සිතෙහි තබාගන්න.

එමෙන්ම ඔබේ හිස සහ උරහිස පෙනෙන ඡායාරූපයක් මේ සදහා වඩාත් සුදුසුවේ. එමගින් ඔබේ පෞරෂය වඩාත් ලොවට පිලිඹිබුවේ. කිසිදු අවස්ථාවක ඔබේ සම්පූර්ණ සිරුරම දැක්වෙන ඡායාරූප ප්‍රධාන ඡායාරූපය ලෙස එක්කර නොගන්න. හේතුව එමගින් ඝෘණාත්මක ආකල්පයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි නිසාවෙනි. ඡායාරූපයට පෙනී සිටීමට අව් කණ්ණාඩි පැලදුවාට කමක් නැත. නමුත් ඔබ තව තවත් සමාජ ගතවන්නට වෙරදරන කෙනෙකු නම්, සමාජයේ ජනප්‍රිය චරිතයක් නම් අව් කණ්නාඩි වලින් තොර ඡායාරූපයක් ඔබේ පිටුවට එක්කරගැනීම වඩාත් සුදුසුය නමුත් ඔබේ පෞද්ගලික ගිණුමට එය එතරම් අදාල නොවේ. ඔබේ පිටුව සහ ගිණුම නිවැරදිව වෙන් කර තේරුම් ගන්න. මීට හේතුව ඔබේ දෑස් ඔබ ගැන බොහො දේ ලොවට පවසන නිසාවෙනි.





ඔබේ ඇඳුමද ඔබේ ප්‍රතිරූපයේ තවත් එක් මිනුම් දණ්ඩකි. වඩාත් උචිත විධිමත් ඇඳුමක් මගින් ඔබේ වෘත්තීය ගරුත්වය ද සමාජගත කල හැකි වේ. උදාහණයක් ලෙස සාදයකට භාවිතා කරන කමිසයකට වඩා කාර්යාල කමිසයක් හා ටයි පටියක් පැලදි ඡායාරූපයකින් ඉහල ප්‍රතිරූපයක් ගොඩනැගිය හැකි බව සමාජ විද්‍යඥයන් පවසයි. මේ සඳහා කෝට් එකක් පැලදීමද වඩාත්  බව වැඩිමනත් පවසා ඇත. කාන්තාවකට නම් වඩාත් උචිත චාම් ඇඳුමකි. එහිදී ශරීර අංග ඉස්මතු වන අකාරයේ ඇඳුම් පැලඳුම් ඇදීම ගැන දෙවරක් සැලකිලිමත් වන්න. බොහෝ විට ඔබේ ඇඳුම ඔබේ හැදියාව ගැන ලොවට පවසන තවත් එක් අංගයක් බව මනාව සිහි තබාගන්න.  එය ඔබේ රුචි අරුචිකම් මත පදනම් වේ. එමෙන්ම වඩාත් සරල, වඩාත් සිත්ගන්නා සුළු ඡායාරූප වලට බොහෝ දෙනා ඇලුම් කරන බව වටහාගෙන සමාජ ජාල තුල සැරසරන්න. 



එමෙන්ම ඔබේ ඡායාරූපය ගැන අදහසක් ගැනීමට පහත කරුණද සැලකිල්ලට ගන්න.
• ප්‍රවීණත්වය (දැකුම්කලු, සුදුසු)
• ප්‍රියඋපදවන ගුණාංග (මිත්‍රශීලී, කරුණාවන්ත)
• බලපෑම ( ගරුත්වය දනවනසුළු, සමාජශීලීත්වය ගෙන හැර දක්වන, නායකත්වය)
අවසන් වශයෙන් මෙසේ පවසමි. ඔබ හැමනිතරම සිනාමුසු මුහුණකින් සිටින්න. එය ඔබේ සමාජීය ප්‍රතිරූපයට බෙහෙවින් උපකාරීවේ. එය සමාජ ජාල වල මෙන්ම සාමාන්‍ය සමාජීය ජීවිතයේද වැදගත් වේ. මෙම ලිපිය මගින් ඔබේ සමාජ ජාල ගිණුම් වල කුමන ආකාරයක ඡායාරූපයක් ප්‍රධාන ඡායාරූපය ලෙස එක්කරගත යුතුදැයි යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඔබට ජය හා සතුට පතමි.



පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
www.seoranksrilanka.com