දුමින්ද සිල්වා ඇතුළු තිදෙනකුට මරණ දඬුවම තහවුරු කරයි


2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු වේ ප‍්‍රකාශයට පත් කෙරිණි.
මේ අතර මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.විනිසුරු මඩුල්ල වන්නේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ය.

දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසු අධිකරණය මේම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

එදින දෙපාර්ශවය අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවුන අතර එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබීය.පසුව 2013 මාර්තු 05 වැනි දා අලුයම ඔහු ලංකාවට යළි පැමිණියේ ය.
මෙහිදී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.
පසුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.
ඉන් පසු දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළේය.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.