හේමාල් මෙන්ඩිස් ICC යෙන් හදිසියේම රැගෙන යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුළදීම ඊයේ (08) පස්වරුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශයේ තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹ 07 මේට්ලන්ඞ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ මෙන්ඩිස් මහතා සහ ඔහුගේ ජංගම දුකථනය ඊයේ දහවල් 1.00 ට පමණ බාරයට ගෙන තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේදී හේමාල් මෙන්ඩිස් මහතා ක්‍රිකට් ආයතනය තුළ රාජකාරී මට්ටමේ රැස්වීමකට සහභාගි වී සිටි බවද වාර්තා වේ.
සති දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ යැයි කියන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ද වන නුවන් සොයිසා මේ ආකාරයටම ඔවුන්ගේ බාරයට ගත් බවද වාර්තා විය. එහිදීද මෙම දූෂණ මර්ධන නිලධාරීන් එම හිටපු වේග පන්දු යවන්නාගේ දුරකථනය ඔවුන්ගේ බාරයට ගෙන තිබුණි.