Instagram සම නිර්මාතෘවරු වන කෙවින් සිස්ට්‍රොම් සහ මයික් ක්‍රීගර් සමාගම හැර යති


ලොව පුරා ජනප්‍රියත්වයට පත් සමාජ මාධ්‍ය අතර ප්‍රබල ස්ථානයක පසුවන Instagram හි සම නිර්මාතෘවරුන් වන කෙවින් සිස්ට්‍රොම් සහ මයික් ක්‍රීගර් එම සමාගමෙන් ඉවත් වී තිබේ.

Instagram හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ, එහි සම නිර්මාතෘ කෙවින් සිස්ට්‍රොම් සඳහන් කළේ, 'අපගේ කුතුහලය සහ නිර්මාණශීලීත්වය ගවේෂණය කිරීම සඳහා' තමන් දෙදෙනා Instagram වෙතින් ඉවත් වීමට තීරණය කළ බවය.

2012 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවමින් Instagram ආයතනය, ෆේස්බුක් සමාගම විසින් මිලදී ගනු ලැබූ අතර, මේවන විට එය භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියනයකට අධිකය.

Instagram හි සම නිර්මාතෘවරුන් දෙදෙනා සහ ෆේස්බුක් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අතර මතභේදාත්මක තත්ත්වයක් ගොඩ නැගෙමින් පවතින බවට වාර්තා පළ කෙරෙන අතරතුර මෙම ඉවත් වීම සිදුව තිබේ.
ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන මෙවලමේ සාර්ථකත්වය අඩු වූ අවස්ථාවක Instagram හි ජනප්‍රියත්වය ඉහළ ගිය බව, බීබීසී උතුරු අමෙරිකානු තාක්ෂණික වාර්තාකරු ඩේව් ලී පවසයි.

ඒ අනුව, Instagram භාවිත කරන්නන්ගෙන් වැඩිපුර මුදල් ඉපයීම සඳහා නව විශේෂාංග හඳුන්වා දීමට ෆේස්බුක් සමාගම පෙළඹුණු අතර, එමගින් Instagram හි මූලික අරමුණ වූ සරලත්වයට බලපෑම් එල්ල වූ බව ඇතැමෙකුගේ අදහස වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
කෙවින් සිස්ට්‍රොම් සහ මයික් ක්‍රීගර් Instagram නමැති ඡායාරූපමය සමාජ මාධ්‍ය මෙවලම ආරම්භ කළේ, 2010 වසරේදී ය.

සිය ඉවත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කෙවින් සිස්ට්‍රොම් පවසා ඇත්තේ, "අපි අපගේ ඊළඟ පරිච්ඡේදය සඳහා සූදානම්," බවය.

"අපට අවශ්‍යයි අලුත් දේවල් නිපදවන්න. අපට දැනෙන දේ පිළිබඳවත් ලෝකයට අවශ්‍ය මොකක් ද කියන එක පිළිබඳවත් අපි වටහාගෙන සිටිනවා. ඒ අනුවයි අපේ වැඩ සැලසුම් කරන්නෙ."
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ, "Instagram ඇප් එක තුළින් එහි සම නිර්මාතෘවරුන් දෙදෙනාගේ ඒකාබද්ධ නිර්මාණශීලී දක්ෂතා," පිළිබිඹු වන බව ය.
"වසර 6 ක පමණ කාලයක් ඔවුන් සමග වැඩ කිරීමෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා. ඇත්තට ම ඔවුන් සමග වැඩ කිරීමෙන් සතුටක් ලැබුවා. මම බලාගෙන ඉන්නව ඔවුන් ඊළඟට නිර්මාණය කරන්නෙ මොකක් ද කියලා," සකර්බර්ග් සඳහන් කර තිබේ.

කවුද මේ දෙදෙනා?

34 හැවිරිදි කෙවින් සිස්ට්‍රොම් සහ 32 හැවිරිදි මයික් ක්‍රීගර් හමුවී ඇත්තේ, ඔවුන් දෙදෙනා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදීය.

ඔවුන් 2010 වසරේදී Instagram ඇප් එක නිර්මාණය කළේ, iPhone සඳහා පමණි. 2012 වසර වන විට එය භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 30ක් පමණ වූ අතර එම වසරේදී ෆේස්බුක් සමාගම විසින් එය මිලදී ගනු ලැබිණි.
bbc