ඩොලරයේ අර්බුදයටත් සාර්ථකව මුහුණ දෙනවා

ගතයුතු පියවර ගැන දැනටම සාකච්ඡා ඇරැඹූ බව අගමැති කියයි
ආණ්ඩුව අර්බුද ගණනාවකට පසුගිය වසර කීපය තුළ මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහළ යාමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඩොලරයේ අගය ඉහළයාම රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපා තිබෙන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කෙළේ පසුගිය (22) දා නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙම රැස්වීමට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින නාරවිල ශ්‍රී ගුණරතන විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම, නාත්තන්ඩිය වලඟපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නාන්තන්ඩිය පිලාකටුමුල්ල, ශ්‍රී පුෂ්පාරාම විහාරයේ අස්මධාචාර්යෝත්තම පූජ්‍යපාද හාල්දඬුවන පඤ්ඤාසෝමාභිධාන නාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ද පැවැත්විණි. නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමට මෙහි පැමිණෙන ලෙසට මට ආරාධනා කිරීම පිළිබඳවත් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කළ සියලු දෙනාටත් මගේ ස්තූතිය පළ කර සිටිනවා. එදා කතෝලික සභාව විසින් අධ්‍යාපනය භාරගත් ඉතා පැරණිම පාසලක් ලෙස මෙම පාසල හැඳින්විය හැකියි. අද සමාජයේ විවිධ තනතුරුවල සිටින බොහෝ දෙනෙක් මේ පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. පසුගිය වසර තුන තුළදී අපේ ආණ්ඩුව මෙම පාසල දියුණු කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඒ නිසාම අද මට මේ විද්‍යාලයට පැමිණීමට අවස්ථාව ලැබුණා. රජයට අමතරව පාසල් දියුණු කිරීම සඳහා කතෝලික පියතුමන්ලාගේ ද සහයෝගය නොඅඩුව ලැබෙනවා. තවදුරටත් අපෙන් ඉටුවිය යුතු යමක් තිබෙනවා නම් ඒ අවශ්‍ය කටයුතු ලබාදීමට අප සූදානමින් සිටින බව සිහිපත් කළ යුතුයි.
මේ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරුවන් මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව මට ඉහතදී අදහස් දැක්වූ කථික මහත්වරු ප්‍රකාශ කළා. ඒ ගැටලුවලට ද විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන ඇමැතිතුමා සමඟ ද අප සාකච්ඡා කර ඊට අදාළ පියවර ගන්නා බව කියන්න කැමතියි.