ධනුෂ්ක අබාධයකට ලක්ව ආපසු එයි - ෂෙහාන් යයි


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන අතර එයට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.
ඊයේ (12) රාත්‍රී පැවැති පුහුණු සැසියේ පන්දු රැකීමේ පුහුණුවීම්වලදී කොන්දේ ආබාධයට ලක්ව ඇති ධනුෂ්ක හෙට (14) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර ෂෙහාන් ජයසූරිය සංචිතයට එකතු වීමට නියමිතය.

ධනුෂ්ක යථා තත්ත්වයට පත්වීමට සති කීපයක් විවේක ගතයුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇත. ධනුෂ්ක මීට පෙර ද කොන්දේ ආබාධයකට ලක්ව සිටි බව වාර්තා වේ.
ධනුෂ්ක මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 33 කදී ලකුණු 957 ක් රැස්කර තිබේ. 27 හැවිරිදි ධනුෂ්ක ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් 30.87 ක සාමාන්‍යයක් රදවාගෙන තිබේ.

මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ද ආබාධයකට ලක්වීම නිසා ඉවත්වීමට සිදුවූ අතර එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල කැඳවීමට කටයුතු කර ඇත.