ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් ඉන්දියාවට පරදී


අද (13 වැනිදා) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය ලකුණු 7 කින් ජයගැනීමට සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් පසුවේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ලකුණු 220 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පහසුවෙන් තරගය ජයගැනීමට අවස්ථාව තිබිණි.එහෙත් පසුපෙළ පිතිකාරියන්ගේ අදූරදර්ශී පිතිහරඹය හේතුවෙන් ඕවර 48.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකාරියන් තිදෙනෙකු ලකුණු 40 ක් තුළ දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සඳහා චමරි අතපත්තු සහ ශශිකලා සිරිවර්ධන පන්දු ඕවර 25 ක් කඩුල්ලේ රැඳි සිටිමින් ලකුණු 89 ක් එක්කළේය.

පන්දු 95 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට චමරි අතපත්තු සමත්වූ අතර පන්දු 91 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 49 ක් රැස්කිරීමට ශශිකලා සිරිවර්ධන සමත් විය.

නිලක්ෂි ද සිල්වා දැවීයන විට වේගවත් ලකුණු 31 ක් රැස්කර සිටි අතර පන්දු 19 කට මුහුණදුන් නිලක්ෂි ද සිල්වාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් පසුවේ.