ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය 15දා ආරම්භවේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි අදියර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවරදී රටවල් හයක සහබාගිත්වයෙන් මේ මස 15 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකාව,ඉන්දියාව ,පාකිස්තනය ,බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන රටවල් සහබාගි වන අතර ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං යන රටවල් ‘ඒ’ කාණ්ඩයේ තරග වදින අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා කරයි.

ආසියානු ක්‍රිකට් සමුළුව 1983 වසරේ ආරම්භ කිරීමෙන් පසුව 1984 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා නුවරදී පළමු ආසියානු කුසලාන තරගාවලිය පැවැත්විණි. එක්දින ක්‍රිකට් තරග ලෙස මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුවේ බලාපොරොත්තු විය.

නමුත් පසුව තරගාවලිය වර්තමානයට ගැලපෙන ආකාරයට 2015 වසරේ සිට එක්දින සහ විස්සයි20 තරගාවලියක් ලෙස මාරුවෙන් මාරුවට පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුව තීරණය කළේය. ඒ අනුව පසුගිය 2016 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැති අතර නැවත 2020 තරගාවලිය විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වේ.
විවිධ හේතූන් මත මෙම තරගාවලිය ඇතැම් වර්ෂවල පැවැත්වීමට නොහැකි වූ අතරම ඉන්දියාව 1986 ශ්‍රී ලංකාවේදී පැවැති දෙවැනි ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විය.

මේ අතර පාකිස්තානය දේශපාලන හේතූන් මත 1990-91 තරගාවලිය වර්ජනය කළ අතර ඉන්දියාව සහ පාකිස්තනය අතර දේශපාලන අර්බුදය හේතුවෙන් 1993 තරගාවලිය අවලංගු කළේය.

ශ්‍රී ලංකාව 1984 වසරේ පළමු තරගාවලියේදීම අනු ශූරයන් බවට පත්වීමත් සමඟ ආසියානු කුසලාන තරගාවලිය වඩාත් උණුසුම් විය.
පසුව දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 1986 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කරමින් ශූරයන් බවට පත්විය.
එසේම ශ්‍රී ලංකාවේදී 1997 වසරේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් නැවතත් ආසියානු ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේය. ශ්‍රී ලංකාව ඉන් පසුව 2004 වසරේ ශ්‍රී ලංකාවේදී මාවන් අතපත්තුගේ නායකත්වයෙන් ද, 2008 වසරේ පාකිස්තානයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ද, අවසන් වරට 2014 වසරේ බංග්ලාදේශයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ද, ආසියානු කුසලාන දිනාගත්තේය.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවස්ථා 13 දී ශූරතා පහක් සහ අනුශූරතා හයක් ද හිමිකරගෙන තිබේ. ඉන්දියාව හයවරක් ශූරතාව දිනාගෙන ඇත.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියාව සත්කාරත්වයෙන් ඉවත්වීම නිසා ඩුබායි සහ අබුඩාබි ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සමුළුව තීරණය කළේය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස මේ මස 15 වැනිදා පැවැත්වේ.

අවසන් මහ තරගය මේ මස 28 වැනිදා ඩුබායිදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග
අතිරේක ක්‍රීඩකයෝ: ෂෙහාන් මධුසංඛ, නුවන් ප්‍රදීප්, ලක්‍ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල