බේස්බෝල්-ශ්‍රී ලංකාව ආසියාවේ 5 වැනි තැනට

ආසියානු බේස්බෝල් සම්මේලනය 12 වැනි වරටත් සංධානය කළ වයස 18 න් පහළ ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ජපානයේ මියසාකි නුවරදී පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 8 ක සහභාගී වූ අතර ඉන් රන් පදක්කම දිනාගැනීමට කොරියාව සමත් වූ අතර චීන තායිපේ කණ්ඩායමට එහි රිදී පදක්කමද, සත්කාරක ජපානයට එහි ලෝකඩ පදක්කමද හිමිවිය.

ශ්‍රී ලංකා මූලික වටයේදී සහභාගි වූ තරග තුනේදී කොරියාව හමුවේ ලකුණු 15-0 ක් ලෙසද, ජපානය හමුවේ 15-0 ක් ලෙසද පරාජයට පත් වූ අතර හොං කොං රාජ්‍යයට එරෙහිව ලකුණු 17-1 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

අනතුරුව දෙවැනි වටයේදී ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 15-14 ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකාව,යලිත් වරක් ලකුණු 11-1 ක් ලෙස හොං කොං රාජ්‍යය පරාජය කරමින් තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්විය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනිත් කවීෂ තරගාවලියේ දක්ෂතම ඩී.එච්. ක්‍රීඩකයා ලෙසත්, ලක්ෂාන් හේරත් තරගාවලියේ දක්ෂතම බේස් අතර දිවයන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.