Facebook යන අපි මෙහෙම හැසිරෙමු

එදිනදා ජීවිතයේ අද නැතුවම බැර අංගයක් මට්ටමට මුහුණු පොත එහෙමත් නැත්නම් facebook පත්වී තිබේ. දිනකට මුහුණු පොත භාවිතා කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වයස අවුරුදු 18ත් 65ට වැඩි පිරිස අතරින්  50000ක් පමණ වන බව ගණන් බලා ඇත. මේ වන විට ලක්ෂ 49ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙහි ගිණුම් පවත්වාගෙන යනු ලබයි.  නමුත් අපේ ශ්‍රී ලාංකික බහුතර සමාජ ජාල වෙබ් අඩවි පරිශිලකයන් එය නිවැරදි ආකාරයට භාවිතා කරන්නේදැයි ප්‍රශ්ණාර්ථයකි. ඊට හේතුව මේ වටිනා සමාජමය දැනුවත් කිරීමේ මෙවලම භාවිතා කලයුතු ආකාරයේ දැනුවත් වීමක් නොමැති වීමයි.

ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමේ සෑම දිනකම සැරිසරන්නට ප්‍රථම පහත සදහන් දෑ හොදින් සිතට ගෙන කටයුතු කරන්නට පෙළඹෙන්න.
  1. ඔබේ පෞද්ගලික තොරතුරු. ඔබේ විවාහක/අවිවාහක භාවය. ඔබ ජීවත් වන්නේ තනියමද, ඔබේ නිවසේ තොරතුරු මෙවැනි දෑ පලකිරීම මගින් පහසුවෙන් වෙනකෙනෙකුගේ ගොදුරක් බවට ඔබ පත්වන්නට තිබෙන අවධානම වැඩිය.
  2. ඔබ ඔබේ රැකියාව සම්බන්ධව ඇති ගැටලු හා අතෘප්තිය පලකිරීමෙන් වලකින්න. යම්හෙයකින් ඔබේ රැකියාව සම්බන්ධව සෘජු විවේඡනයක් පලකල විට එමගින් ඔබේ ආයතන ප්‍රධානියා ඔබ සමඟ උරන වන්නට පුළුවන එමෙන්ම ඔබ ඒ ආයතනයෙන් වෙනත් අයතනයක රැකියාවකට ගියත් මේ තොරතුරු දැනගැනීමෙන් ඔබ අයදුම්කරනු ලබන ආයතනයේ ප්‍රධානියා ඔබ ගැන අප්‍රසාදයක් ඇතිකරගැනීමට පුළුවන් අතර, ඔබට ලැබෙන්නට ඇති වටිනා අවස්ථාවක් එමගින් ඔබට නොලැබී යන්නට පුළුවන.
  3. ඔබගේ දරුවන්ගේ ඡායාරූප පලකිරීමෙන් වැලකෙන්න. ඔබ නිවසේ නැති මොහොතක ඔවුනට පිටස්තරයෙකුගේ කරදරයකට මුහුණ පෑමට ඇති අවදානම වැඩිය.
  4. දරුණු දේශපාලනික හා ආගම සම්බන්ධ මඩ / අශීලාචාර / අශිෂ්ඨ අදහස් පලකිරීමෙන් වැලකෙන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකිය. සමාජ ජාල වෙබ් අඩවි තුල ඔබ දන්නා පුද්ගලයන් මෙන්ම ඔබ නොදන්නා පුද්ගලයන්ද සිටින බැවින් යම් විරුද්ධ දේශපාලන හෝ අගමික මතයක් දරන කෙනෙකු ඔබට අනතුරක් හෝ පලිගැනීමක් සිදුකිරීමට ඇති අවධානම ඉහලය. කෙනෙකුට දැඩි ලෙස කටුක වදන් වලින් පහරදීමෙන් ඔහුගේ හෝ ඇයගේ මතය වෙනස් කල නොහැකි බව සිතට ගන්න. එමගින් ඔවුන් තව තවත් ඔබ කෙරෙහි වෛරී සිත් ඇතිකරගන්නවා නිසැකය.
  5. තමන් දරණ දේශපාලන මතයේ ඇති අඩුපාඩු විවේචනය කලද එහි චරිත ඝාතන නොකරන්නට වගබලාගන්න. ඔබ මෙන්ම හැමකෙනාටම ආත්ම ගෞරවයක් ඇති බව නිතර සිතන්න. අපිට අන් අයගේ පෞද්ගලික ජීවිත වෙනස් කිරීමට හෝ ඔවුන්ගේ දේශපාලන මත බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවැසි නොවේ.ඔබේ සියළු සංවාද, විවේචන ඔබ දරන දේශපාලනික මතය ඉහලට ගෙනයෑමට පමණක් භාවිතා කරන්න.
  6. ඔබ සමඟ සංවාද කරන chat කරන අය ඔබ සමඟ විටෙක බෙදාගන්නා අතිශයින්ම පෞද්ගලික කරුණු අන් අයට බලාගැනීමට ඔබේ ගිණුමේ පලකිරීමෙන් වලකින්න. ඔබ පලිගැනීමේ චේතනාවෙන් එය කලද ඔබ ගැන සමාජයේ වැරදි ආකල්පයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. මිතුරෙක් හෝ මිතුරියක් තමන් සමඟ අමනාපවුවද අනාගතයේ යම් දිනක ඔහු හෝ ඇය ඔබට මුණගැසෙන්නට පුළුවන, එවිට ඔබට අපරාදේ එදා මම මෙයාට කැත විදිහට බැන්නේ කියලා හිතෙන්නට පුළුවන. එදා ඔබේ රළු වචන වලට Like, Comment දාපු අය අද ඔබත් සමඟ නොහිටින්නට පුළුවන. අපි වෙසෙන සමාජය දිනෙන් දින වෙනස් වන බව සිතට ගන්න.
  7. ඔබේ සිතැගි නොබියව ඔබේ ගිණුමේ පලකලද අන් අයට අපහාස වන අකාරයේ දෑ පලකීරීමෙන් වලකින්න. එමගින් ඔබත් මිනිස්කම් ඇති මනුෂ්‍යයෙක් බව ලොවට කියනු ඇත.
  8. අන්අයට අපහාස කරන හොද දේට පවා නරක කියන කරන කෙනෙක් බවට පත්වීමෙන් ඔබ කරගන්නේ මහා පාපයකි. එවැනි දෑ බැහැර කර ඔබේ මුහුණු පොතෙන් හැකිතාක් නොදැනුවත් අය දැනුවත් කරන්නට පෙළඹෙන්න.
  9. අසභ්‍ය වචන භාවිතය තොරවන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදුවනවා මෙන්ම කියවන කෙනාද අපහසුතාවයට ලක්විය හැකිය. එමෙන්ම අසභ්‍ය වචන භාවිතයෙන් ඔබකෙරෙන් ඔබේ මිතුරන් පවා ඉවත්වන්නට ඇති ප්‍රවණාවතාවය ඉහලය. එමෙන්ම ද්වේශය වෛරය ඔබේ ශරීර සෞඛ්‍යටද අහිතකරය.
  10. ඔබ සැබෑ මානව හිතවාදියෙකු ලෙස හොද දේ පමණක් රටට සමාජයට තිළිණ කරන්නට හැමදිනකම අදිටන් කරගෙන, මුහුණු පොතට ඔබ සොයාගත් අළුත් දේ එක් කරන්න. එමගින් තව කෙනෙකුන් දැනුවත් වනු ඇති.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අන් අයට වෛර කරන්නට, අපේම අයට අපහාස කරන්නට මුහුණු පොත යොදා නොගනිමු. අපට අහිමි වූ බොහෝ දෑ ලබාගැනීමට ආකල්පමය වෙනසක් රටේ ඇති කරන්නට මුලපුරමු. මුහුණු පොතේ සුළු පිරිසක් ඉතා වටිනා කියන දෑ, ඔවදන් පලකරන අතර වැඩි පිරිස සොයන්නේ අනුන්ගේ ඕපාදූපය.  මේ රටවා වෙනස් කිරීමට මුලපිරය යුත්තේද ඔබය.

ඔබට එය කලහැකියි. විශ්වාස කරන්න ඔබේ මුහුණු පොත එයට හොද තෝතැන්නකි. ජීවිත යහමඟට ගන්නට, ජීවිත ජීවත් කරවන්නට අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන රට වෙනුවෙන් අපට හැකි දේ කරන්නට මුහුණු පොත භාවිතා කරමු. අපි අපේ මිනිසුන්ට බුද්ධියක් ඇති ආචාරශීලී මිනිස්සු විදිහට සලකමු.



පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු