ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2020 පෙබරවාරි මාසයේ දී බවට සුව ඇමැතිගෙන් යෝජනාවක්.

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාව, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, විකිරණ ශිල්පීන්, වාග් චිකිත්සක, වෘත්තීය චිකිත්සක, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අක්ෂී තාක්ෂණවේදී, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි තනතුර සදහා බදවා ගත් 325 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - සෞඛ්‍ය සේවාව මුදලට යටත් නොවී තිබුනේ. නමුත් වාණිජ ලෝකය තුල එලෙස කරන්න බැහැ. වෘත්තීය සමිති ඉල්ලන සෑම දෙයක්ම මම ලබාදීලා තිබෙනවා. රජය රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් වැඩි කළා වසර 2020 ජනවාරි වන විට එම සම්පුර්ණ මුදලම වැටුපට එකතු වෙනවා. 2020 වනවිට රාජ්‍ය සේවක වැටුප 52000 කින් වැඩි වෙනවා. විශාල වැටුප් වැඩිවීමක්. ලක්ෂ 14 ක් වූ රාජ්‍ය සේවකයින්ටම මෙම වැටුප් වැඩිවිම ලැබෙනවා. එම නිසා මැතිවරණය තියන්න ඕන 2020 පෙබරවාරි මාසයේ පමණ. මොකද එතකොට රාජ්‍ය සේවකයාට වැටුප් වැඩිවීම ගැන මතක් වෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය සේවකයොත් ඡන්දය ප්‍රකාශ කළේ පොහොට්ටුවට එම තත්ත්වය වසර 2020 වනවිට මගහරවා ගන්න පුලුවන්. හෘද රෝගීන් සදහා මසකට ස්ටෙන්ස් දැමීමේ ශල්‍යකර්ම 450 -500 ත් අතර ප්‍රමාණයක් කරනවා. මම උත්සාහ කරන්නේ එය 1000 දක්වා වැඩි කිරීමට. නොමිලේ ස්ටෙන්ස් ලබාදීම නිසා තමයි වැඩි පෝලිමක් දක්නට ලැබෙන්නේ.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.