ඉෂාන් බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ තවත් පදක්කමක් සටහන්වීමේ අවස්ථා උදාවෙයි. කිලෝග්‍රෑම් 46 – 49 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට ඊයේ සහභාගී වූ තිවංක රණසිංහ වැනුආටා රාජ්‍යයේ බෙරී නැම්රී 5: 0 ක් ලෙස පරාජය කොට අවසන් පූර්ව වටයට පිවිසි හෙයින් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ බොක්සිං පදක්කමක් දැන් සුරක්ෂිතවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් සටහන්වී ඇති අතර බොක්සිං පදක්කම් 2ක් ද අනිවාර්යයෙන්ම හිමිවන තත්ත්වයක් නිර්මාණයවී තිබේ.
මේ ජයග්‍රහණයත් සමග දැනටමත් තිවංක රණසිංහ ලෝකඩ පදක්කමට හිමිකම් කියන අතර 13 වැනිදා පැවැත්වෙන තීරණාත්මක අවසන් පූර්ව තරගයේදී එංගලනතයේ ගලාල් යෆාසීට පහරදී ජය ගතහොත් රන් හෝ රිදී පදක්කම හිමිවන අවසන් සටනට පිවිසේ.
මේ අතර ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙමින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් බර ඉසිලීමේ ක්‍රීඩක පිරිස ඊයේ ගෝල්ඩ් කෝස්ට් වෙතින් ශ්‍රී ලංකාව බලා ගමන් ඇරැඹූහ. මේ බර ඉසිලීමේ කණ්ඩායම සමග ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණේ. බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක රිදී පදක්කමක්, චතුරංග ලක්මාල් හා හංසනී ගෝමස් ලෝකඩ පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන්හ.
කිලෝග්‍රෑම් 57 කාන්තා බොක්සිං තරගයේදී කේෂාණී හංසිකා හා කිලෝග්‍රෑම් 64 බර පන්තියේ පිරිමි බොක්සිං තරගයේදී දිනිදු සපරමාදූ පිළිවෙළින් නවසීලන්තයට හා නැමීබියාවට ඊයේ දිනයේ පරාජය වීමෙන් පදක්කම් දෙකක බලාපොරොත්තු සුන් විය.
කෙසේ වුවද කිලෝග්‍රෑම් 52 පිරිමි බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉෂාන් බණ්ඩාර හා කිලෝග්‍රෑම් 45-48 කාන්තා අවසන් පූර්ව තරගයේදී අනූෂා කොඩිතුවක්කු අද දින සටනට පිවිසෙන බැවින් තවදුරටත් බලාපොරොත්තු සහගත තත්ත්වයක් උදාවී තිබේ.
ඉෂාන් බණ්ඩාරට ලෙසෝතෝ හී 19 හැවිරිදි මොලීෆ් තාබෝ හමුවන අතර අනූෂා කොඩිතුවක්කුට ඉන්දියාවේ මේරී කොම් හමුවේ. ඉෂාන් මේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ජය ගතහොත් ඔහුට අනිවාර්යයෙන්ම ලෝකඩ පදක්කමක් හිමිවනු ඇත. මේරී කොම් සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයෙන් අනූෂා ජය ගතහොත් රන් හෝ රිදී පදක්කමක් දිනා ගැනීමේ අවසන් සටනට පිවිසීමේ අවස්ථාව ඇයට උදාවනු ඇත.
මේ වන විටත් ඇය ලෝකඩ පදක්කම දිනා ඇති හෙයින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක් වූවාය. කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් තරග වදින දුලනී ජයසිංහ කෙන්යාවට එරෙහිව අද දින බොක්සිං වලල්ලට පිවිසෙන අතර එයින් ජය ගන්නා ක්‍රීඩිකාව පදක්කමක් වෙත පිවිසේ. මීටර් 200 කාන්තා මූලික වටයේදී රුමේෂිකා රත්නායක තත්පර 23. 43කින් අවසන් පූර්ව වටයට පිවිසි අතර මූලික වටයේ ක්‍රීඩිකාවන් 38කින් 13වැනි ස්ථානයේ සිටී. දුර පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ජනක විමලසිරි ඊයේ පැවැති මූලික වටයේදී මීටර් 7.84ක දක්ෂතාවක් දැක්විය. ඔහු මූලික වටයට සහභාගීවූ ක්‍රීඩකයන් 28කින් 10 වැනි ස්ථානයේ සිටි. මේ තරග දෙකේ මීළඟ අදියර කැරාරා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන අතර මංජුල කුමාර උස පැනීම හා දිල්හානී ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීම යන ඉසව්වලට එක්වීමට නියමිතය.
බැඩ්මින්ටන් කාන්තා ඒකළ තරගවලදී හසිනි අම්බලන්ගොඩ ජර්සි දූපත් ක්‍රීඩිකාව 2-0ක් ලෙස, පිරිමි ඒකළ තරගවලදී බුවනෙක ගුණතිලක 2-0ක් ලෙස පාකිස්තානය, නිලූක කරුණාරත්න 2-0ක් ලෙස ෆෝක් දූපත, දිනූක කරුණාරත්න 2-0ක් ලෙස සී ෂෙල්ස් පරාජයට පත් කළහ. මිශ්‍ර යුගල තරගවලදී සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවා 2-0ක් ලෙස උගන්ඩාව පරාජය කළ අතර බුවනෙක ගුණතිලක හා කවින්දි සිරිමාන්න 2-0ක් ලෙස ඝානාව පරාජයට පත් කළහ.
පාපැදි කේවල කාලය මැනීමේ තරගයට එක්වූ ක්‍රීඩකයන් 56කින් අවිශ්ක මාවතගේ විනාඩි 59: 23කින් 39වැනි ස්ථානයට හා චාමික කුමාර පැය 1:00.48කින් 45වැනි ස්ථානයට පත්විය.
ටේබල් ටෙනිස් මූලික වටයේ කාන්තා ඒකළ තරගවලදී හංසී කපුගීකියන පිරිමි ඒකළ තරගවලදී රොහාන් සිරිසේන හා නිර්මල ජයසිංහ ප්‍රධාන තරගවටයට සුදුසුකම් ලබා ගත්හ. හංසි පාකිස්තානය 4-0කින් හා කැනඩාව 4-1ක් ලෙස පරාජයට පත්කළ අතර රොහාන් සිරිසේන බහමාස් හා වැනුආටා රාජ්‍යය සමග තරග දෙකෙදීම 4-0ක ජයක් ලැබීය. නිර්මල ජයසිංහ සාන්ත කිට්ස් සහා නෙවීස් 4-0කින්, ජැමෙයිකාව 4-3කින් පරාජයට පත් කළේය. එරන්දී වරුෂ විතාන 4-0කින් ඝානාව පරාජය කළ අතර ට්‍රිනිඩෑඩ් ටුබෑගෝ ක්‍රිඩිකාව හමුවේ 4-0කින් පරාජය වූවාය. ඉෂාරා මධුරංගී මොරිසස් ක්‍රීඩිකාව 4-1කින් පරාජය කළද එංගලන්තය හමුවේ 4-1කින් පරාජයට පත්විය. පිරිමි ඒකළ තරගවලදී ඉමේෂ් රණසිංහ සාන්ත වින්සන්ට් ඇන්ඩ් ග්‍රේනේඩියන්ස් ක්‍රීඩකයා 4-0ක් ලෙස පරාජය කොට නයිජීරියානු ක්‍රීඩකයා හමුවේ 4-3ක් ලෙස තියුණු පරාජයක් ලැබීය.