පොදු රද මඬුලු ක්‍රීඩා ඉතිහාසයේ මුල්ම කාන්තා බොක්සිං පදක්කම අනූෂා දිනාගනී

සපරමාදු නවසීලන්තය පරදවා අර්ධ අවසන් වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට කාන්තා බොක්සිං පදක්කමක් දිනා ගැනීමට අනූෂා කොඩිතුවක්කු සමත් වෙයි. ගෝල්ඩ් කෝස්ට් ඔක්සන්ෆෝඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වලල්ලේදී 39 හැවිරිදි අනුෂා කොඩිතුවක්කු විසින් කිලෝග්‍රෑම් 45-48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කේමන් දූපත් හී 21 හැවිරිදි බාර්නස් බ්‍රැන්ඩී මිනිත්තු 2:59කදී පරාජයට පත්කරමින් මේ අනගි අවස්ථාව ඊයේ සටහන් කරන ලදී. මේ තරගයේදී අනූෂා එල්ල කළ වේගවත් පහර කිහිපයක් හේතුවෙන් ප්‍රතිවාදී කේමන් දූපත් ක්‍රීඩිකාවගේ සමබරතාව බිඳීයනු දුටු විනිසුරු, තාක්ෂණික ජයග්‍රහණයක් අනූෂා වෙත පිරිනමා තරගය අවසන් කිරීමට තීරණය කළේය.
අනූෂා ඊයේ වාර්තා කළ ජයග්‍රහණයත් සමග, දැනටමත් ලෝකඩ පදක්කමකට හිමිකම් කියන අතර මේ 11 වැනිදා ඉන්දියාවේ මේරී කොම් සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයෙන් ජය ගතහොත් රන් හෝ රිදී පදක්කමක් දිනා ගැනීමේ සටනට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත. අනූෂාට ඉදිරියේදී හමුවන ඉන්දියාවේ 35 හැවිරිදි මේරී කොම් බොක්සිං ලෝක ශූරියක් ලෙස සම්මාන දිනා ඇති ක්‍රීඩිකාවකි. ඇය ඉන්දියාවේ බොක්සිං ක්‍රීඩාවේ වීර කාන්තාවක් සේ සලකන අතර බොලිවුඩ් රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා ‘මේරී කොම්’ ලෙස රගපෑ ජීවිත කතාව පිළිබඳ චිත්‍රපටියක් ද තිරගත කෙරුණි.
ටියුනීසියාවේ ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 48ට පහළ ෆ්ලයිවේට් රන් පදක්කම දිනා ඇති අනූෂා කොඩිතුවක්කු අත්දැකීම් බහුල ප්‍රවීණතම බොක්සිං ක්‍රීඩිකාවක්වන බැවින් ‘අනූෂා - මේරී කොම්’ සටන ඉතාම තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවද අනූෂා කොඩිතුවක්කු පවසන්නේ මේරි කොම් පරාජයට තමන් දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවය.
“මේරී කොම් ගැන මා හොඳින් දන්නවා. ඇය මට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී හමුවුණා. මා එහිදී ආබාධයකට ලක්වී පරාජය වුණා. මෙවර ඇය පරාජය කරනවා. දැනටමත් මා පදක්කමක් දිනාගෙන අවසන්. මේක ශ්‍රී ලංකාවට වැදගත් විශේෂ අවස්ථාවක්. මේ ජයග්‍රහණය පිළිබඳ කියන්න වචන මට නෑ. ඒ තරම්ම මා සතුටට පත් වෙනවා” කොඩිතුවක්කු පැවැසූවාය.
ශ්‍රී ලංකාව බොක්සිං රන් පදක්කමක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී අවසන්වරට දිනා ඇත්තේ මෙයට වසර 80කට පෙර 1938දී නිව්සවුත් වේල්ස් හී පැවැති බ්‍රිතාන්‍ය රාජධානී ක්‍රීඩා උළෙලේදීය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ක්‍රීඩා උළෙලකදී අවසන් වරට ලෝකඩ පදක්කමක් දිනා ඇත්තේ ඇලෙක්ස් ඔබේසේකර 1950දී ඔක්ලන්ඩ් හී පැවැති ක්‍රීඩා උළෙලකදීය. වසර 2010 දිල්ලි ක්‍රීඩා උළෙලේ මංජු වන්නිආරච්චි රන් පදක්කමක් දිනා ගත්තද තහනම් උත්තේජක චෝදනා එල්ලවී ජයග්‍රහණය අවලංගු කොට රන් පදක්කම සංවිධායකයන් භාරයට ගැනුණි.
මේ අතර කිලෝග්‍රෑම් 64 පිරිමි බොක්සිං තරගයේදී දිනිදු සපරමාදු නවසීලන්තයේ රිචඩ් හැඩ්ලෝ පරදවා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. නවසීලන්ත ක්‍රීඩකයාට එරෙහිව තියුණු සටනක නිරත වූ සපරමාදූ 4:1ක් ලෙස තරගය ජය ගත්තේය. තරගයෙන් අනතුරුව ඔහු පැවැසූවේ ඉදිරියේ කුමන ක්‍රීඩකයා හමුවුවද රන් පදක්කම දිනා ගැනීම එකම අදිටන බවය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ස්කොෂ් ක්‍රීඩාවෙන් අවසන් තරගයකට පිවිසි මුල්ම ක්‍රීඩිකාව බවට පත්වූ මිහිලියා මෙත්සරණී ප්ලේට් අවසන් තරගයේදී බාබඩෝස් ක්‍රිඩිකා බෙස්ට් මීගෑන් හමුවේ 3-1ක් ලෙස පරාජයට පත් වූවාය. ඒ අනුව මේ ක්‍රීඩිකාවන් 64 දෙනකුගෙන් මිහිලියා 18වැනි ස්ථානයට පත්විය. එය මෙතෙක් ශ්‍රී ලංකාව ස්කොෂ් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේ ලැබූ හොඳම දක්ෂතාවකි.
ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්ෂාවක් වූ බර ඉසිලීමේ ක්‍රීඩක චිංතන ගීතාල් විදානගේ කිලෝග්‍රෑම් 77 බර පන්තියේ 5වැනි ස්ථානයට පත් විය. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 132 හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 166ක් එසැවීමට සමත් වුවද එය පදක්කමක් කරා යෑමට ප්‍රමාණවත් නොවුණි. මෙවර ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස නම්කළ ඔහු මෙයට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බර ඉසිලීමෙන් රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩකයෙකි. ඊයේ පස්වරුවේ නිමාවූ කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තියේ තරගයේදී ප්‍රියන්කා චතුරිකා ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 75 හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 100ක් ඔසවා 9වැනි ස්ථානයට පත් වූවාය.
කිලෝග්‍රෑම් 58 බර පන්තියෙන් තරග කළ ක්‍රීඩිකා නදීෂානී රාජපක්ෂ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 66 හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ඔසවා 10වැනි ස්ථානය පත් වූවාය. කිලෝග්‍රෑම් 94 බර පන්තියෙන් තරග කළ ක්‍රීඩක ෂානක මධුසංඛ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130 හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 165ක් එසැවීමට සමත්වී 8වැනි ස්ථානයට පත් විය.
පිහිනුම් මීටර් 100 නිදහස් ආර නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට මැතිව් අබේසිංහ සමත් විය. ඔහු සහය පිහිනුම් තරගයේදී මීටර් 100 තත්පර 49. 11කින් නිමකොට මේ දක්ෂතාව දැක්විය. මීටර් 100 නිදහස් ආර අවසන් පූර්ව තරගයේදී මැතිව් තත්පර 49. 43ක් වාර්තා කිරීමෙන් අවසන් තරගය අහිමිවී ගියේය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට පිහිනුම් ක්‍රීඩාවෙන් අවසන් තරගයකට පිවිසි මීටර් 100 සහය පිහිනුම් ක්‍රීඩකයන් අතුරින් චෙරන්ත ද සිල්වාගේ නීති විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් නුසුදුස්සන් බවට නම් විය. පළමු මීටර් 100 මැතිව් අබේසිංහ තත්පර 49.53කින් නිමකර හොඳ ආරම්භයක් ලබා දුන් අතර අකලංක පීරිස් තත්පර 52.19කින් හා කයිල් අබේසිංහ තත්පර 50.79කින් තෙවැනි අදියර නිමා කළේය. එහෙත් චෙරන්ත ද සිල්වා අවසන් මීටර් 100 උදෙසා වැරදි ආරම්භයක් ගැනීමෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්වී ගියේය. මීටර් 100 සහය පිහිනුම් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3:22.84කින් නිමකර කණ්ඩායම් 9කින් 8වැනි ස්ථානය පත්ව සිටියේය.
විනෝලී කලුආරච්චි මීටර් 100 නිදහස් ආර තරගය විනාඩි 1: 02. 25කින් හා චෙරන්ත ද සිල්වා මීටර් 100 සමනළ ආර තරගය තත්පර 55. 91කින් නිමකළ අතර දෙදෙනාටම අවසන් පූර්ව වටයේ දොරටු විවර නොවීය.
අසංක ප්‍රදීප් හා මලින්ත යාපා සහභාගීවූ බීච් වොලිබෝල් මූලික වටයේ දෙවැනි තරගයේදී කැනඩාව හමුවේ හමුවේ තරගවට 2-0කින් පරාජයට පත්වූ අතර අද දිනයේ මේ දෙදෙනා සියෝරා ලියොන් පිලට එරෙහිව තරග බිමට පිවිසෙති.