තනි වුණු මියැසිය ( සත්‍ය සිදු වීමකි )

" නදී උබට කෝල් එකා....ක් "
චතුරි කෑ ගැහුවා. 
" අනේ චතූ, කවුද කියල බලපංකො තරහ නැතුව" නදිනි බාත් රූම් එක ඇතුලෙ ඉඳල උත්තර දෙනකොටත් චතුරි ෆෝන් එකත් අරගෙන බාත් රූම් එකේ දොර ලඟ.
" Save කරල නැති නම්බර් එකක් බං. US නම්බර් එකක් වගේ . දොර ඇරපන් , මම ෆෝන් එක ගෙනාව "
බාත් රූම් එකේ දොර යන්තමින් ඇරල අත එලියට දාපු නදිනි චතුරිගෙන් ෆෝන් එක ඉල්ල ගත්තා. රෙදි හෝදන බේසමට වතුර එකතු වෙන්න ඇරල තිබුණ ටැප් එක වහල දාපු  නදිනි නොදන්න ඇමතුමට "හෙලෝ" කිවුවෙ හිතේ පොඩි චකිතයකින්. 
චතුරි සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ තුන් වෙනි වසරෙ නර්තන අංශයේ . නදිනිත් එම වසරෙම සංගීත අංශයේ. පීඨ දෙකක උනත් චතුරි තමයි පලමු වසරෙ ඉඳලම නදිනිගෙ රූමා. උන් දෙන්න දුක, සැප බෙදා හදාගෙන සහෝදරියො වගේ, සැහැල්ලුවෙන් සතුටින් ජීවත් උන හොඳම යාලුවෝ. 
නදිනිට ෆෝන් එක දීපු චතුරි, දෙන්නටම බොන්න තේ හදලා, නදිනිගෙ තේ එක උණුසුම් බෝතලේට දැම්ම. මොකද නදිනි නාගෙන ඇවිත් සීතලයි සීතලයි කියල නටන ඩෙඟාව දැන් අවුරුදු තුනක් තිස්සෙ දන්න නිසා කලින්ම තේකක් හදලා තිබ්බම ලේසියි. තමන්ගෙ තේ එකත් අරගෙන චතුරි  මේසෙ ලඟ වාඩි උනේ ලබන සතියෙ විභාගෙ පටන් ගන්න නිසා, අතපසු වෙලා තිබුණ පාඩම් කීපයක් බලා ගන්න හිතාගෙන.
වෙනදට වඩා ඉක්මනින් බාත් රූම් එකෙන් එලියට ආපු නදිනි, හෙමින් සීරුවෙ ඇවිත් බාත් ටවල් එක පිටින්ම ඇඳේ කොණක වාඩි උනා. මූණ බිමට හරවගෙන කල්පනාවක්. නදිනිගෙන් පිටවෙන දිග සුසුමක හඬ චතුරිට මීටර් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. 
ඉද්ද ගැහුව වගේ පුටුවෙන් නැඟිට්ට චතුරි ක්ෂ්ණයකින් නදිනි ලඟ. 
" නදිය, මොකද බං උනේ ? කාගෙන්ද කෝල් එක ? ඇයි උඹ අඬන්නෙ ? "
චතුරිට මේක ප්‍රහේලිකාවක්. වෙනදට පිස්සු කෙලින රූමා, මෙහෙම අඬද්දි චතුරිටත් සෑහෙන්න අවුල්. ඉඳල ඉඳල පොඩි පොඩි දේවල් වලට ඇඬුවත් මේ අවුරුදු තුනටම නදිනි මෙහෙම හූල්ලනව චතුරි දැකලම නෑ.
හීන් සීරුවෙ පුටුව ඇදල නදිනි ලඟට ගත්තු චතුරි නදිනිගෙ ඉස්සරහින් වාඩි උනා. 
"නදියා, මොකද උනේ කියපන්"
වහින්න ඔන්න මෙන්න තිබුණ කළු වලාකුලක් එක පාරටම කඩා වැටිල අනෝරා වැස්සක් ඇද වැටෙන්නා වගේ, නදිනිගෙ ඇස් වලින් කඳුලු කැට කඩා වැටෙන්න ගත්ත. 
නදිනිට අඬන්න දීල චතුරි හෙමිහිට ඇයව තමන්ගෙ උරහිසට වත්තම් කර ගත්තා. ටික වෙලාවකින් අඬන එක අමාරුවෙන් නවත්තගෙන නදිනි වචන ගලපන්න ගත්ත ඉකි බිඳුම් මැදින්. 
" චතූ "..
" කියපන් මචං, මොකද උඹට උනේ ? "  නදිනිගෙ කෙහෙරැලි අතරි හෙමිහිට හිස පිරිමදින ගමන් චතුරි ඇහුවා.
"චතූ,  සහන් අයියා.. පේරදෙණිය කැම්පස් එකේ සිවිල් ඉංජිනියරිං කරන්නෙ.." නදිනි කතාවට මුල පිරුවා
" ඔවු ඉතින් මම නොදන්න එකෙක්යෑ සහන්, අර උඹට කෝල් කරන්නෙ, උඹේ ෆේස්බුක් එකෙත් ඉන්නව නේද,  හැබැයි සහන් උඹට කාලෙකින් කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ, ෆේස්බුක් එකෙන්වත් අප්ඩේට් දැක්කෙ නෑ කියල උඹ කිවුව නේද ? ඉස්සර උඹට හැමදාම ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, කෑවද, කියල මෙසේජ් එනවනෙ සහන්ගෙන්, අන්තිමට පොල්ලෙන් ගැහුව වගේ ඒකත් නැවතුනා, සමහරදාට උඹ ගිටාර් ප්ලේ කරනව අහන්න කෝල් කර කර උන්න, ඒව මොනවත් දැන් නහැනෙ, දැං මොකද කියන්නෙ, රට ගිහින්ද ?"  චතුරි ඇහුවෙ විමතියෙන්. 
චතුරිගෙ ආවර්ජනයත් එක්ක නදිනිගෙ හිත අවුරුද්දක් තරම් මෑත අතීතයට ආපහු ඇදිල ගියා.
සහන් කියන්නෙ පේරාදෙනියෙ ඉංජිනේරු පීඨයෙ ශිෂ්‍යයෙක්. සහන්ව නදිනිට මුන ගැහෙන්නෙ අන්තර් විශ්ව විද්‍යාලයීය කළා උළෙලකදි,  මීට වසරකට විතර කලින්. නදිනි සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයෙ බටහිර සංගීතය හදාරමින් ඉන්නකොට ඇයටත් අවස්ථාව ලැබුණා කළා උළෙලට සම්බන්ධ වෙන්න. චතුරිත් නර්තන අංශයෙන් එයට සහභාගී උනා. සහන් ඇවිත් උන්නෙ යාලුවොත් එක්ක කලා උළෙල බලන්න. මොකද කලා උළෙල සංවිධානය කලේ පේරාදෙනිය විශ්ව විද්යාලයෙ සහන්ලගෙ වසරෙ සියලුම සිසුන් එකතු වෙලා. 
සංදර්ශනය අතරතුර අහම්බෙන් අඳුන ගත්තු සහන්, නදිනි පස්සෙ ටික ටික යාලුවො උනා, සමහර විට යාලුකමට එහා ගිය බැඳීමක් මේ දෙන්න අතර තිබුණෙ නමුත්, එය දෙන්නගෙම හිත් වල හිර කරගෙනයි උන්නෙ . දවසට දෙතුන් පාරක් කෝල් කරල, නදිනිගෙ සැපදුක අහන සහන්, සමහරදාට කෝල් නොකලොත් එදාට නදිනිට පාළුවක් දැණුනා. එහෙම වෙලාවට නදිනි සහන්ට කෝල් කරල බලනව මොකද වෙලා තියෙන්නෙ කියල. සහන්ට හෙම්බිරිස්සාවක්  වගේ අසනීපයක් හරි හැදුනම නදිනිගෙන් ඉතින් උපදෙස් කෝටියයි. 
සමහර දාට රෑ වෙලා සහන් නදිනිට කෝල් ගන්නෙ ඇගෙන් ගිටාර් වාදනයක් බලාපොරොත්තුවෙන්. ෆෝන් එක ලවුඩ්ස්පීකර් දාල නදිනි සහන් වෙනුවෙන් ගිටාරය වාදනය කරනව. වාදනය ඉවර උනාම සහන්ගෙන් ලැබෙන අගය කිරීම් ඉවරයක් නෑ. ටිකක් වෙලා කතා කර කර, හිනා වෙවී ඉඳල කෝල් එක කට් කලාම දෙන්නටම පාළුයි.
මේ සේරම බලාගෙන ඉන්න චතුරි හැමදාම නදිනිගෙන් අහන ප්‍රශ්නයක් තිබුණ.
"නදියා, උඹල දෙන්න මොකක්ද බන් ඔය කරන්නෙ ? මොකක්ද ඔය සම්බන්දෙ ? ලව් ද ? යාලුකමක්නම් නෙමෙයිනෙ බන් ඕක, එක්කො උඹ අහන්න ඕන, නැත්නම් ඌ අහන්න ඕන. උඹල දෙන්නගෙම මහන්තත්තකමට ඉස්සර වෙන්නෙ නෑ"
ඔහොම ඉන්න අතරෙ, මීට මාස දෙකකට විතර කලින් දවසක් සහන් කෝල් නොකලෙ ඇයි බලන්න නදිනි සහන්ට කෝල් එකක් ගත්ත, එයට පිලිතුරු දුන්නෙ සහන්ගෙ මව.
"සහන් ඉන්නවද ?" නදිනි ඇහුවා
"සහන් අසනීප වෙලා හොස්පිටල් එකේ දුව, මම සහන්ගෙ අම්මා. කවුද මේ කතා කරන්නෙ ?"
"මම සහන්ගෙ කැම්පස් යාලුවෙක්" නදිනි කිව්වා
"මට දුවගෙ නම කියන්නකො, මම සහන්ට කියන්නම් ඔයා කතා කලා කියලා"
"මම නදිනි" ඇය සහන්ගෙ මවට පිළිතුරු දුන්නා.
දවස් කීපයක් ගත වුනා, සහන්ගෙන් කෝල් එකක් නෑ, ෆෝන් නම්බර් එකත් වැඩ නෑ, ෆේස්බුක් එන්නෙත් නෑ. සහන්ව සම්බන්ධ කර ගන්න විදියක්  ඇත්තෙම නැති තැන 
" එයාට ඕනනම් මට කතා කරයිනෙ " කියල නදිනි හිත හදා ගත්ත. 
සමහර වෙලාවට මතක් වෙද්දි මහ පාළු ගතියක් හිතට දැනුණම චතුරි එක්ක සහන් ගැන කතා කලා, හැබැයි ඒ වෙලාවට චතුරි කලෙත් නදිනිටම බනින එක. 
"උඹල දෙන්නම ලොකු කමට හිතේ තියෙන දේ නොකියා උන්නනම්, දැන් ඉතින් නාහෙන් අඬන්නැතුව පාඩුවෙ හිටපන්" එහෙමයි චතුරි කිව්වෙ. 
අන්තිමට චතුරි එක්කවත් සහන් ගැන කතා නොකර මතකය හිත ඇතුලෙ විතරක් තියාගෙන නදිනි සහන්ගෙන් පණිවිඩයක් එන තුරු මඟ බලන් උන්නා.
" නදී, ඒ ගමන මොනවද උඹ හූල්ල හූල්ල කල්පනා කරන්නෙ ? මට දැන්වත් කියපන්කො මොකක්ද උනේ කියලා.." චතුරිගෙ හඬින් නදිනිගෙ දැහැන බිඳුනා.
නදිනි හිමීට ඔලුව උස්සලා චතුරිගෙ මූණ දිහා බලද්දි ඇස් වල පිටාර යන කඳුළු  දෙකොපුල් දිගේ ගලාගෙන ඇවිත් බිමට වැටුණා. 
" මට කෝල් කලේ සහන්ගෙ අයියා, ඇමරිකා වල ඉඳන් " නදිනි ආයාසයෙන් හඬ අවදි කලා.
" සිරාවට ? , ඉතිං ඇයි උබ අඬන්නෙ, සහන් උඹගෙ නම්බර් එක අයියට දීලද උඹට කතා කරන්න කියල ? අයිය මොනවද කිව්වෙ, උඹලගෙ කසාදෙ ගැන කතා කර ගන්න ලන්කාවට එනව කිව්වද ? උඹ ඔය අඬන්නෙ සතුටටද නදියෝ ? "
චතුරි පිස්සුවෙන් වගේ නදිනිව බදා ගත්තා. චතුරිගෙ දෑත් වල හිර වෙලා නදිනි ආයෙම ඉකි බිඳිනවා. 
" මේ මොකද කෙල්ලෙ ? " චතුරි ඇහුවා. 
" සහන්ට අසනීප වෙලා බෙහෙත් කරන්න ඇමරිකාවට එක්ක ගියාලු චතූ" නදිනිගෙ උත්තරෙන් චතුරි ටිකක් වික්ෂිප්ත උනා.
" මොකක්ද බං සහන්ට එක පාරටම හැදුන අසනීපෙ, එහෙනම් කොල්ල උඹට කෝල් කරන්නැතුව උන්නෙ උඹ කලබල වෙයි කියල වෙන්න ඇති. හරි හරි ඉතිං සහන් බෙහෙත් අරං ලන්කාවට එනකල් අපි ඉවසමු නදී, දැන් ඉතින් අඬන්නැතුව ඉඳපන් හොඳ ලමය වගේ" චතුරිටත් පොඩි වචනයක් ඇති දිග කතාවක් පටන් ගන්න.
චතුරිගෙ අත් දෙක හයියෙන් අල්ල ගත්තු නදිනි අයෙමත් තමන්ගෙ හඬ වදි කලේ ඉකිබිඳුමකුත් එක්ක.
" සහන් මගෙ නම්බර් එක අයියට දුන්නලු මට කතා කරන්න කියල, හැබැයි  සහන් ආයෙ එන්නෙ නෑ චතූ, සහන් ආයෙ කවදාවත්ම එන්නෙ නෑ, මම ගිටාර් ප්ලේ කරනව අහන්න, බලන්න සහන් ආයෙ කවදාවත් එන්නෙ නෑ චතූ, සහන්ව බේර ගන්න බැරි උනා කියල සහන්ගෙ අයිය මට කිව්වා " 
වේදනාවෙන් මිරිකෙමින් ඒ වචන ටික අමාරුවෙන් පිටකරපු නදිනි චතුරිගෙ උර මත මුහුණ හොවාගෙන මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.


තුසිත වීරසිංහ