පන්චාර විට්ටු නඩන්නු කුන්ජු

අන්තර්ජාලයේ කතා බහට ලක් වෙන වීඩියෝවක එන වැකියක්. මලයාලම් භාෂාවෙන් කියවෙන මෙහි අදහසනම් මම දන්නේ නෑ. නමුත් ඒ වීඩියෝව බැලූ පමණින් තේරුම් ගත් යමක් පිළිබඳවනම් නොකියාම බැහැ.
 
මට හැඟෙන විදියටනම් මෙය ඛේදවාචකයක්. බොහෝ දෙනා මෙය සිනහවට කාරණයක් කර ගත් බව පෙණුනත්, ඇත්තටම එය සිනහ විය හැකි කාරණයක්නම් නොවෙයි.
 
මවක්, තම දරුවාට වැකියක් පාඩම් කරවන්නට ගන්න උත්සාහය සහ, එම කුඩා දරුවාට එය උච්ඡාරණයට සහ මතක තබා ගැනීමට ඇති අපහසුව, මව තුලින් පෙනෙන විඩාබර බව, දරුවා තුලින් දිස් වන බිය මුසු චිත්ත පීඩාව, මේ සියල්ල දුටු විට මට සිහියට එන්නෙ අපේ සමාජයේත් දරුවන් තව කොතෙකුත් මේ අයුරින්ම පීඩා විඳිනවද සහ දෙමාපියන් කොතරම්නම් මේ අයුරින්ම තම දරුවන් කෙරෙහි කටයුතු කරමින් වෙහෙසෙනවද කියන කාරණය.
 
එක් සෙනසුරාදාවක, මම ගමන් ආරම්භ කරන තෙක් බස් රථයක වාඩී වී සිටින විට, මවක තම කුඩා දියණිය සමඟ එම බසයට විත් මා අසලම ආසනයක අසුන් ගන්නව. කුඩා දියණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින වයසේ දරුවෙක්. බස් රථයේ අසුන් ගත් වහාම මේ මව තමන් අතේ තියෙන ෆයිල් කවරයක් දිග හැරල එතුලින් ප්‍රශ්න පත්‍රයක් එලියට ගන්නව. නොඉවසිල්ලෙන් එය බලන ඇය තුලින් පෙනෙන්නෙ බලාපොරොත්තු කඩ වුණු ස්වභාවයක්. තම කුඩා දියණිය දෙස බලා තරවටු කරන ස්වරූපයෙන් යමක් පවසන විට , අර කුඩා දියණිය මහත් බියකින් මව දෙස බලනව. ඉන් පසුව එම මව, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එකින් එක විමසමින්, තම දියණිය වැරදි පිලිතුරු දී තිබූ සෑම ප්‍රශ්නයක්ම පාසා ඇයට බස් රථය තුලදීම තරවටු කරනව. විටෙක කණ මිරිකනව, තවත් විටෙක ටොක්කක් අනින ඇය, නැවතත් කම්මුල තදින් මිරිකනව. අර කුඩා දියණිය වේදනාවෙන් ඇඹරෙනව, බියෙන් වෙව්ලනව. ඇස් වල කඳුළු, මවට වගක්වත් නෑ අවට මිනිසුන් ගැනවත්. ඒ කුඩා දියණියට දැනෙන මානසික පීඩාව, අවට සෙනඟ සිටියදීම තරවටු කිරීමට ලක් වෙන ඇයගේ ආත්ම අභිමානයට සිදුවන හානිය, දරුවාට දැනෙන ලැජ්ජාව, දුක, අසරණ බව ... මේ කිසිවක් ගැන මවට කිසිඳු තැකීමක් නෑ.
 
ඇයි දෙමාපියන්ට මෙහෙම වෙන්නෙ ? ඇයි කුඩා දරුවන්ට මෙවැනි පීඩනයක් උහුලන්න, මානසික පීඩාවකින් ජීවත් වෙන්න සිදු වෙන්නෙ ?
 
මට හිතෙන ආකාරයටනම් මෙයට මූලිකම හේතුව අධ්‍යාපනය ලැබීමට සහ ලබා දීමට ඇති සීමා සහිත පහසුකම්, ඒ පහසුකම් ග්‍රහණය කර ගැනීමට ඇති අසීමාන්තික තරඟය.
 
එතනදි දෙමාපියන් උත්සුක වෙනව සම වයසේ අනිත් දරුවන්ට වඩා ඉදිරියට තම දරුවා ගෙන ඒමට. ඔවුන් එතනදි කරන්නෙ දරුවාගේ කැමැත්ත විමසීමකින් තොරවම, තමන්ගේ තේරීම වෙත දරුවා බලහත්කාරයෙන් තල්ලු කිරීමයි. තමන්ට අතපසු වූ, හෝ ලඟා කර ගැනීමට නොහැකි වූ ඉලක්ක කරා ලඟා වීමට තම දරුවා යොදා ගැනීමත් මෙතනදි සිද්ධ වෙනව.
 
දෙමාපියන් ලෙස, විටෙක ඔබත් මෙවැනි තත්වයකට පත් වෙලා තියෙන්න හෝ, පත් වීමට පුළුවන්. නමුත් එය කෙතරම් දුරට සාධාරණද ?
 
ඔබේ දරුවා යනු ඔබ නොවෙයි. ඔහු හෝ ඇය වෙනත් ජීවියෙක්. දරුවාගේ කැමැත්ත, තේරීම, ඔබට වඩා හාත්පසින්ම වෙනස් වූවක් වියැ හැකියි. එය දෙමාපියන් විසින් වටහා ගත යුතුම කාරණයක්.
 
සෑම දරුවෙකුම අධ්‍යාපනයට එක හා සමානව දස්කම් දක්වන්නේ නෑ, එක් දරුවෙක් කලාවට, තවත් දරුවෙක් ක්‍රීඩාවට, තවත් දරුවෙක් තාක්ෂණයට කැමති වෙන්න පුළුවන්. දෙමාපියන් ලෙස ඔබ කල යුත්තේ ඔබේ දරුවාව කියවීම, තේරුම් ගැනීම, සහ දරුවාගේ කැමැත්ත වටහාගෙන ඔහුට හෝ ඇයට තම ඉලක්කයන් කරා ලඟා වීමට ඔබට ලබා දිය හැකි උපරිම සහයත්, හොඳ නරක කියා දීමත් නොවෙයිද ?
 
දරුවන් පීඩාවට පත් කරමින්, අධ්‍යාපනයේ යම් ඉලක්ක සපුරා ගැනීමට බලහත්කාරකම් කිරීම තුලින් සමාජයට වැඩදායී පුද්ගලයෙක් බිහි වෙන්න පුළුවන්ද ? එවැනි දරුවෙක් ආත්මාර්ථයෙන් පිරුණු, අනෙකා පීඩාවට පත් කරන පුද්ගලයෙකු වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලයි. ඔවුන් තුල දෙමාපියන් කෙරෙහි පවා ඇති වන්නේ නුරුස්නා ස්වභාවයක්.
 
කිසිඳු කරුණක් වෙනුවෙන් ඔබ ඔබේම දරුවා හෝ වෙනත් දරුවෙකු පීඩාවට පත් කරන්න එපා. එය දරුවාට මානසිකව ඉතා ප්‍රභලව බලපාන කාරණාවක්. දරුවා තුල එම කාරණාව පිලිබඳව අනියත බියක්, අකමැත්තක්, ඔබ ගැන මෙන්ම සමාජය ගැනත් අකමැත්තක්, ද්වේෂයක් හට ගැනීමට එය හේතුවක්.
 
ඔබත් ඔබේ දරුවා කෙරෙහි පීඩාකාරීව කටයුතු කරන කෙනෙක්නම්, නවතින්න. මඳක් සිතන්න. දරුවා කෙරෙහි කාරුණික වන්න. ඔහුගේ / ඇයගේ කැමැත්තට ඉඩ දෙන්න. ඔවුන්ගේ ගමනට අත්වැලක් වෙන්න. මඟ පෙන්වන්න සෙනෙහසින්.


තුසිත වීරසිංහ