පියාසරණය (11 කොටස)

”හුඟාක් කාලයකට කලින්... මේක රාජකීය අනුග‍්‍රහය ලබපු සක්මන් මළුවක්...”
ආරම්භක ඉමට... අන්තයේ ඉමත්... අන්තයේ ඉමට ආරම්භක ඉමත් නොපෙනෙන සක්මන් මළුවේ පා සටහන් තබන අතරේ
ශිල්පීය පියාසැරියා කියලා දුන්නා. සක්මන් මළුවේ දිගටම සක්මන් භාවනාව කරන්න බැරි වුණාට
සක්මන් කරන්න මට පුළුවන් වුණා.
හැම මොහොතකම වගේ ඔහු ලෙංගතුකමින් මං එනතුරු රළු ගලක් මත මගබැලූවා...
”මේ වැලි කැට කතා කරනවාද?”
ගල්තලාව උඩ පද්මාසනයෙන් ඉඳගන්න අතර මම ඇහුවා. ”වැලි කැටයක් වෙලා බලන්න...” එ් ගමන මට හිනාවෙන්න හිතුණා.
”මේ සක්මන් මළුව රහතන් වහන්සේලා කීදෙනෙකුට සංසාරෙන් එතෙර වෙන්න සම්මාදං වෙන්න ඇද්ද...? අපි යන්නෙත් එහෙම ගමනක්ද?”
මං වචන ගැළපුවා.
ඔහු මගේ සමහර ප‍්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබාදුන්නට සමහර ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැහැ.
මේ ප‍්‍රශ්ණය අදාළ වුණේ දෙවැනි වර්ගයට කියලා ගස්වලින් කහපාට කොළ කැරකී කැරකී බිමට පතිත වෙද්දී මං හිතාගත්තා.
”ඔව්...”
සෑහෙන්න වෙලාවකට පස්සේ ඍජු උත්තරයක් දීලා
පියාසැරියා නැගී සිටියා.
ඊට පස්සේ කතාබහකට අර අදින්නේ නැතිව අපි දිගින් දිගටම සක්මන් මළුවේ ඇවිද්දා... මට ඕන වුණේ වැලි කැටයක් වෙලා වසර දහස් ගණනක රහස් කතා අහන්න... එ්ත් මගේ වචන ඇහුවේ වෙනම දෙයක්...
”මෙතැනින් එහාට අපේ ගමන ඉවර වුණොත්... ඔයා ගමන ඉවර කරනවද?”
මගේ ප‍්‍රශ්නයට ශිල්පීය පියාසැරියාගේ ඇස් මගේ මුහුණ මත
පතිත වුණා.
”අනිවාර්යයෙන්ම... නතර වෙනවා... හැබැයි...අ ාපහු වෙනම තැනකින් පටන් ගන්න. අවසානයම තමයි ආරම්භයමත්...”
”එතකොට අපි හොයන මාර්ගය...”
”දැනටමත් අපි ඉල්ලම හොයාගෙන...”
එවර මම දුටුව ඔහුගේ ඇස්වල හංසයකුගේ පේ‍්‍රමණීය විලාසයකුත් තැවරිලා තිබුණා.