Facebook වාරණය අවසන් Facebook යන අපි මෙහෙම හැසිරෙමු

ශ්‍රී ලංකාවේ Facebook වාරණය දැන් අවසන් වී ඇති හෙයින් අපිට දැන් රිසිසේ Facebook සැරිසරන්නට නැවතත් අවස්ථාව උදාවී ඇත. ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමේ මින් ඉදිරියට සෑම දිනකම සැරිසරන්නට ප්‍රථම පහත සදහන් දෑ හොදින් සිතට ගෙන කටයුතු කරන්නට පෙළඹෙන්න.
  1. දරුණු දේශපාලනික හා ආගම සම්බන්ධ මඩ / අශීලාචාර / අශිෂ්ඨ අදහස් පලකිරීමෙන් වැලකෙන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකිය. සමාජ ජාල වෙබ් අඩවි තුල ඔබ දන්නා පුද්ගලයන් මෙන්ම ඔබ නොදන්නා පුද්ගලයන්ද සිටින බැවින් යම් විරුද්ධ දේශපාලන හෝ අගමික මතයක් දරන කෙනෙකු ඔබට අනතුරක් හෝ පලිගැනීමක් සිදුකිරීමට ඇති අවධානම ඉහලය. කෙනෙකුට දැඩි ලෙස කටුක වදන් වලින් පහරදීමෙන් ඔහුගේ හෝ ඇයගේ මතය වෙනස් කල නොහැකි බව සිතට ගන්න. එමගින් ඔවුන් තව තවත් ඔබ කෙරෙහි වෛරී සිත් ඇතිකරගන්නවා නිසැකය.
  2. ඔබේ පෞද්ගලික තොරතුරු. ඔබේ විවාහක/අවිවාහක භාවය. ඔබ ජීවත් වන්නේ තනියමද, ඔබේ නිවසේ තොරතුරු මෙවැනි දෑ පලකිරීම මගින් පහසුවෙන් වෙනකෙනෙකුගේ ගොදුරක් බවට ඔබ පත්වන්නට තිබෙන අවදානම වැඩිය.
  3. ඔබ ඔබේ රැකියාව සම්බන්ධව ඇති ගැටලු හා අතෘප්තිය පලකිරීමෙන් වලකින්න. යම්හෙයකින් ඔබේ රැකියාව සම්බන්ධව සෘජු විවේඡනයක් පලකල විට එමගින් ඔබේ ආයතන ප්‍රධානියා ඔබ සමඟ උරන වන්නට පුළුවන එමෙන්ම ඔබ ඒ ආයතනයෙන් වෙනත් අයතනයක රැකියාවකට ගියත් මේ තොරතුරු දැනගැනීමෙන් ඔබ අයදුම්කරනු ලබන ආයතනයේ ප්‍රධානියා ඔබ ගැන අප්‍රසාදයක් ඇතිකරගැනීමට පුළුවන් අතර, ඔබට ලැබෙන්නට ඇති වටිනා අවස්ථාවක් එමගින් ඔබට නොලැබී යන්නට පුළුවන.
  4. ඔබගේ දරුවන්ගේ ඡායාරූප පලකිරීමෙන් වැලකෙන්න. ඔබ නිවසේ නැති මොහොතක ඔවුනට පිටස්තරයෙකුගේ කරදරයකට මුහුණ පෑමට ඇති අවදානම වැඩිය.
  5. තමන් දරණ දේශපාලන මතයේ ඇති අඩුපාඩු විවේචනය කලද එහි චරිත ඝාතන නොකරන්නට වගබලාගන්න. ඔබ මෙන්ම හැමකෙනාටම ආත්ම ගෞරවයක් ඇති බව නිතර සිතන්න. අපිට අන් අයගේ පෞද්ගලික ජීවිත වෙනස් කිරීමට හෝ ඔවුන්ගේ දේශපාලන මත බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවැසි නොවේ.ඔබේ සියළු සංවාද, විවේචන ඔබ දරන දේශපාලනික මතය ඉහලට ගෙනයෑමට පමණක් භාවිතා කරන්න.
  6. ඔබ සමඟ සංවාද කරන chat කරන අය ඔබ සමඟ විටෙක බෙදාගන්නා අතිශයින්ම පෞද්ගලික කරුණු අන් අයට බලාගැනීමට ඔබේ ගිණුමේ පලකිරීමෙන් වලකින්න. ඔබ පලිගැනීමේ චේතනාවෙන් එය කලද ඔබ ගැන සමාජයේ වැරදි ආකල්පයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. මිතුරෙක් හෝ මිතුරියක් තමන් සමඟ අමනාපවුවද අනාගතයේ යම් දිනක ඔහු හෝ ඇය ඔබට මුණගැසෙන්නට පුළුවන, එවිට ඔබට අපරාදේ එදා මම මෙයාට කැත විදිහට බැන්නේ කියලා හිතෙන්නට පුළුවන. එදා ඔබේ රළු වචන වලට Like, Comment දාපු අය අද ඔබත් සමඟ නොහිටින්නට පුළුවන. අපි වෙසෙන සමාජය දිනෙන් දින වෙනස් වන බව සිතට ගන්න.
  7. ඔබේ සිතැගි නොබියව ඔබේ ගිණුමේ පලකලද අන් අයට අපහාස වන අකාරයේ දෑ පලකීරීමෙන් වලකින්න. එමගින් ඔබත් මිනිස්කම් ඇති මනුෂ්‍යයෙක් බව ලොවට කියනු ඇත.
  8. අන්අයට අපහාස කරන හොද දේට පවා නරක කියන කරන කෙනෙක් බවට පත්වීමෙන් ඔබ කරගන්නේ මහා පාපයකි. එවැනි දෑ බැහැර කර ඔබේ මුහුණු පොතෙන් හැකිතාක් නොදැනුවත් අය දැනුවත් කරන්නට පෙළඹෙන්න.
  9. අසභ්‍ය වචන භාවිතය තොරවන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදුවනවා මෙන්ම කියවන කෙනාද අපහසුතාවයට ලක්විය හැකිය. එමෙන්ම අසභ්‍ය වචන භාවිතයෙන් ඔබකෙරෙන් ඔබේ මිතුරන් පවා ඉවත්වන්නට ඇති ප්‍රවණාවතාවය ඉහලය. එමෙන්ම ද්වේශය වෛරය ඔබේ ශරීර සෞඛ්‍යටද අහිතකරය.
  10. ඔබ සැබෑ මානව හිතවාදියෙකු ලෙස හොද දේ පමණක් රටට සමාජයට තිළිණ කරන්නට හැමදිනකම අදිටන් කරගෙන, මුහුණු පොතට ඔබ සොයාගත් අළුත් දේ එක් කරන්න. එමගින් තව කෙනෙකුන් දැනුවත් වනු ඇති.
  11. රට අපහසුතාවයට පත්කරන දෑ පලකිරීමෙන් වලකින්න. නිතර ශ්‍රී ලාංකිකත්වයට ගෞරව කරමින් සමාජ ජාල තුල සැරසරන්න. පසුගිය දින කිහිපය තුල සිදුවූ වාරණයෙන් රටට අහිමි වූ ආදායම ඉතා ඉහලයි. එමෙන්ම අපේ රටට වූ අපකිර්තියද ඉහලයි. මේ සෑම කරුණකටම ඔබත් නොදැනුවත්වම දායක වී තිබෙන්නට පුළුවන. එම නිසා දෙයක් අන් අයට බෙදාහැරීමේදී දෙතුන් වරක් සිතන්න.
  12. සෑමවිටකම රටට තමන්ගේ පාර්ශවයන්ට යහපත් ධනාත්මක දේ ලබාදෙන්නට මුහුණුපොත හොද තෝතැන්නකි. එය යහපත් ආකරයෙන් භාවිතාකරන්නට පෙළඹෙන්න 
  13. සියදිවි නසාගැනීම්, හදිසි අනතුරු වලින් මියගිය අයගේ ඡායාරූප මුහුණු පොතේ නොදමන්න වගබලාගන්න. අපි අප අතරින් වියෝවූ සෑම පුද්ගලයකුටම අවසන් ගෞරව දැක්වීම අපේ චාරිත්‍රයයි. දියුණු රටවල් ජාතීන් මියගිය අයගේ මෘතදේහ ඔවුන්ගේ මුහුණු නිරාවරණය වන පරිදි මාධ්‍ය ඔස්සේ නොපෙන්වයි. ඊට හේතුව අවසන් ගමන්ගිය පුද්ගලයාට දක්වන ගෞරවයයි.

Facebook ආයතනය විසින් දක්වා ඇති වෛරී ප්‍රකාශ, කෙනෙකු හෝ සමාජයක් ඉල්ලක කර ප්‍රචාරය කරන දෑ ඉවත් කිරීම ඔවුන්ගේ සමාජීය ප්‍රමිතීන්ගේ (Community Standards) එක් අදියරයකි. එය ඔවුන් පහත සදහන් ආකාරයෙන් දක්වා ඇත. එය මුහුණු පොත භාවිතයේදී සැමට වැදගත්වේ.

Facebook removes hate speech, which includes content that directly attacks people based on their:

Race - වාර්ගිකත්වය
Ethnicity - ජනවාර්ගිකත්වය
National origin - ජාතික සම්භවය
Religious affiliation - ආගමික අනුබැඳිය
Sexual orientation - ලිංගික හැඩගැස්ම
Sex, gender, or gender identity, or - ලිංගික හැසිරීම්, ස්ත්‍රී පුරුෂභාවය හෝ ලිංගික අනන්‍යතාවය 
Serious disabilities or diseases - බරපතළ ආබාධ හෝ රෝගාබාධ 

එමෙන්ම ශ්‍රී ලංකාවේ පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධ නීතියෙන් ජාතික ආරක්ෂාවට නීතිය බලපැවැත්වෙන ආකාරය ගැන මෙසේ සටහන් කරමි. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්‌ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ "පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌" වශයෙනි.

පරිගණක ආශ්‍රිත වැරැදිවල දී ජාතික ආරක්‍ෂාව ආදියට එරෙහි ව කරනු ලබන වැරැදි පිළිබඳව පනතේ 6 (1) වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යනුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපි අන් අයට වෛර කරන්නට, අපේම අයට අපහාස කරන්නට මුහුණු පොත යොදා නොගනිමු. අපට අහිමි වූ බොහෝ දෑ ලබාගැනීමට ආකල්පමය වෙනසක් රටේ ඇති කරන්නට මුලපුරමු. මුහුණු පොතේ සුළු පිරිසක් ඉතා වටිනා කියන දෑ, ඔවදන් පලකරන අතර වැඩි පිරිස සොයන්නේ අනුන්ගේ ඕපාදූපය. මේ රටවා වෙනස් කිරීමට මුලපිරය යුත්තේද ඔබය.

ඔබට එය කලහැකියි. විශ්වාස කරන්න ඔබේ මුහුණු පොත එයට හොද තෝතැන්නකි. ජීවිත යහමඟට ගන්නට, ජීවිත ජීවත් කරවන්නට අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන රට වෙනුවෙන් අපට හැකි දේ කරන්නට මුහුණු පොත භාවිතා කරමු. අපි අපේ රටේ ආදරණීයන්ට බුද්ධියක් ඇති ආචාරශීලී මිනිස්සු විදිහට සලකමු.

- පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක