Google Plus තුලින් ඩිජිටල් ලෝකය ජයගන්න.

Google Plus - plus.google.com යනුවෙන් හැදින්වෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි අතරින් අන්තර්ජාල පරිශීලකයින් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වන ජාලයකි. ශ්‍රී ලාංකිකයන් අතරද මෙය තරමක් ජනප්‍රිය වුවද Facebook මෙන් අධිභාවිතයක් නොමැත. මෙහි වඩා වැඩි වාසිය ඇත්තේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ සේවා හා භාණ්ඩ අලෙවි කරනු ලබන ආයතනයන්ටය. ඊට හේතුව නම් තම වෙබ් අඩවි ප්‍රවර්ධන කටයුතු මැනවින් සිදුකරගැනීමට මෙහි ලබාදී ඇති පුළුල් ඉඩකඩයි. දැනට ලොවපුරා මිලියන 343 වැඩි පිරිසක් මේ වන විට Google Plus භාවිතා කරයි. මෙම සමාජ ජාලයේ ඇති විශේෂත්වය නම් Google Plus වලටම ආවේනික විවිධ අංශ අන්තර්ගත කොට ඇත. එහි තාක්ෂණය හා ආකර්ශණීයත්වය ඉතා ඉහළ අගයක් ගන්නා අතර දිනෙන් දින නැවුම් ආකාරයෙන් ඔබවෙත පැමිණෙයි. Google Plus හි සැරසරන ඔබට අත්විදිය හැකි විවිධ අංශ වන්නේ Posts, Circles, Photos, Hangouts, Events, Google+ Pages,Communities,Polls,Collections ය.

ඔබ සතුව Google Plus ගිණුමක් ඇත්නම් එය ඔබේ ව්‍යාපාරයේ හා ඔබේ කෞෂල්‍යය තවත් සමාජගත කිරීමට මෙන්ම සෙවුම් යන්ත්‍ර තුල ඉහලට ගෙන ඒමට මනා රැකුලක් වනු ඇත. ඔබේ මිතුරන් ඔබේ ගිණුමට එක්කර ගැනීමට පහසුවෙන් හැකිවන අතර ඔහු හෝ ඇයද ඔබව එක්කරගැනීමෙන් පසුව ඔබ හා ඔවුන් අතර Circles ඇතිවේ. එමගින් ඔබ ඔබේ ගිණුමේ ප්‍රචාරය කරනු ලබන සියළු තොරතුරු ඔවුන් වෙත ඉතා පහසුවෙන් දැන්වීමේ අවස්ථාව සැලසේ.
Collections ඔස්සේ විවිධ අංශයන්, මාතෘකා, වෘත්තීන් පිළිබඳ දැනුම ඔබට ඒ ක්ෂේත්‍රයේ අය මෙන්ම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ බෙදාහදාගැනීමේ අවස්ථාව උදාකරදී ඇත. ඔබ නොදන්නා ක්ෂේත්‍රයක් පිලිබඳව දැනුවත් වීමට ඉතා හොද දැනුම් ගබඩාවක් ලෙස මෙම අංශය හැදින්විය හැකිය.
Google Plus තුලත් ඔබේ ඡායාරූප ඇල්බම් ඉතා පහසුවෙන් විධිමත් ආකාරයට පවත්වාගෙන යා හැකිය. ඔබේ ඡායාරූප සංසකරණයද ඉතා පහසුවෙන් කරගැනීමේ පහසුකම් ලබාදී ඇත. ඔබේ මිතුරන්ව Tag කිරිමේ පහසුකමද මෙහිදි අත්විදිය හැකිය. විඩියෝ ඔබේ ගිණුමට එක්කරගැනීම ද ඉතා පහසුවෙන් කළ හැකි අතර Google Plus හි විඩියෝ එක්කිරීමේදී ඔබේ විඩියෝව ප්‍රවර්ධනයේදී වාසියක් වන්නේ YouTube Google නිපැයුමක් වීමයි. Google ආයතනය තම නිපැයුම් සඳහා ඔවුගේ සෙවුම් යන්ත්‍රය තුල ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලබයි. 

Google ගිණුමක් භාවිතයේදී ඇති තවත් වාසියක් වනුයේ එක් පරිශිලක නාමයක් හා මුරපදයක් මගින් Google සියළු ගිණුම් වෙත ඇතුළුවීමේ ඉඩ ලබාදීමයි. මෙමගින් කාලය ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත. 
Google Plus හි ඇති තවත් තිළිණයක් වනුයේ ඔබට යම් කරුණක් සම්බන්ධයෙන් අන් අයගේ අදහස් විමසන්නට අවශ්‍ය නම් එහි Communities ඔස්සේ ඔබට පහසුවෙන් එය කරගත හැකිවීමයි. Facebook මෙන්ම Google Plus වලත් පිටු (Pages) සදාගැනීමේ පහසුකම සලසා ඇත. එහිදී ඔබේ ව්‍යාපාරයට අදාල, ඔබේ ආයතනයට අදාල, ඔබේ අධ්‍යාපනයට අදාල මෙන්ම ඔබේ විනෝදාංශයක් වෙනුවෙන්ද Google+ Pages සදාගත හැකිය. එමෙන්ම ඔබේ ආයතනය, ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානය ඉතා පහසුවෙන් පෙන්විය හැකිවන පරිදි Google Location ඇතුලත් කිරීමේ හැකියාව ඇත.
ඒත් එක්කම ඔබේ ආයතනයේ හෝ ඔබේ සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය යම්කිසි වැඩසටහනක් ඇත්නම් එය Events ඔස්සේ ඔබට ඉටුකරගත හැකිය. එමගින් අදාල වැඩසටහන පවත්වන්නට යෙදෙන දිනය, වේලාව හා ස්ථානය පහසුවෙන් ඔබට කෙනෙකුට දැන්විය හැකිය.

මෙහි Polls විශේෂාංගය ඔස්සේ යම්කිසි ප්‍රශ්ණයක් අන්අය වෙත යොමුකිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පිලිතුරු කිහිපයක්ද ලබාදීම තුලින් ඔබේ මිතුරන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ අදහස් යෝජනා එක්කාසු කරගැනීමට හොද තෝතැන්නක් නිර්මාණය කරගත හැකිවේ.

ඔබට ඇත්තේ Android වර්ගයේ ජංගම දුරකතනයක් නම් ඔබේ ජංගම දුරකතනයේ Google Plus Mobile App මගින්ද ඔබේ ගිණුමට අවතීරණය වීමේ හැකියාව ඇත. මෙහි ඇති සරල බව මෙන්ම ඉතා පහසුවෙන් සොයගත හැකි සහ අන්අය සමඟ බෙදාගැනීමට ලබාදී ඇති පහසුකම් තාක්ෂණික අතින් ඉහළ අගයක් ගනී. 

ඔබ විසින් Google Plus වෙත එක්කරන සියළු තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශන Facebook සහ Twitter හි එවෙලේම බෙදාහැරීමේ පහසුකම ලබාදී ඇත. ඒ වගේම සමීපතමයන් සමඟ මෙන්ම ව්‍යාපාරික, සමාජ සංවිධාන වල සංවාද ඇතිකරගැනීමට Google Hangouts භාවිතයෙන් එක් අයෙක් සමඟ හෝ සමූහයක් සමඟ විඩියෝ මෙන්ම වාචික සංවාදයන්හි නිරතවීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම සලසා දී ඇත. 

ඔබට ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමට අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධානද මෙහි අන්තර්ගත කර ඇති හෙයින් කිසිදු බියකින් තොරව භාවිතයට ගෙන උපරිම ප්‍රයෝජනය ලබාගන්න. Google Plus ඔබට ඔබේ ව්‍යාපාරයේ දියුණුවට ඉතා හොද මෙවලමක් ලෙස භාවිතා කල හැකි හෙයින් ගිණුමක් මෙතෙක් නොමැතිනම් අනාගත ලෝකය ජයගන්න ඔබේ Google Plus ගිණුම අදම සදාගන්න. 



පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
plus.google.com/+PulasthiWanniarachchi