දරුවන් රකිමු පණ ‍සේ

නැවතත් අහිංසක මල් කැකුලක්  වැනි දරුවෙකු තලා පොඩි කර දමා ඇති බව පසුගියදා වාර්තා විය. පාසැලේ ක්‍රිඩා කරමින් සිටි දරුවන් කිහිප දෙනෙකුද අනතුරු නිසා මරු තුරුලට ගොස් ඇත. අපේ දූදරුවන්ගේ ජිවිත අනතුරේ වැටි ඇති බව මෙයින් නැවතත් සිහිපත් කර දී ඇත. ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත නැති බව නැවතත් සිහිපත් කර දී ඇත. පසුගිය කාලය පුරාම ඒ ගැන අවධානය යොමු කරවන සිදුවීම් කොතෙකුත් සිදුවුවද අපට ඒවා ටික දිනකින්ම අමතකව ගොස් තිබුනි. අපේ රටේ අනාගතය අපේ දරු පරපුරය. එබැවින් ඔවුනට යහපත් හෙට දවසක් උදාකරදිමට කටයුතු කිරිම අද දවසේ සැමගේ යුතුකම වන්නේය. මනා කායික සහ මානසික සෞඛ්‍යෙයන් පිරි දරු පරපුරක් බිහි කිරිමට නම් දෙමවුපියන් ගුරුවරුන් ඇතුඑ සැමදෙනාටම එක හා සමාන වගකිම් පැවරි ඇත. නිවසේ දෙමවුපියන් හා වැඩිහිටියන් සෙවනේ වැඩෙන දරුවන් පාසැලේදි ගුරුවරුන්ගේ රැකවරණය යටතට පත් වේ. එහෙත් ඒ අතරතුර දරුවන් සුළු මොහොතකට හෝ වැඩිහිටියන්ගේ රැකවරණයෙන් ඈත්විම තුල බොහෝ  අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වන ආකාරය අප බොහෝ විට දැක ඇත්තෙමු.  

තවද දියුණුවන ලෝකයට සාපේක්ෂව ඉදිරියට යන අපට විවිධ තාක්ෂණික මෙවලම් සමග නිරතුරුවම ගණුදෙනු කරන්නට සිදුවේ. එසේම අධික පරිභෝජනය සහිත ජිවන රටාව තුල පියා මෙන්ම මවටද රැකියාවක යෙදිමට සිදුව තිබේ. මෙවැනි වාතාවරණයක් තුල දරුවන් නිවසේ හුදෙකලා වන අතර තාක්ෂණික මෙවලම් සමග හුදෙකලා වන දරුවන් ඒ ඔස්සේ නොයෙක් අපචාර වලට ගොදුරුවිම බහුලව දැකිය හැකිය. තවද දෙමවුපිය රැකවරණය අහිමිවිම, දෙමවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ නොසැලකිල්ල නිසාද දරුවන්ට බොහෝ අවාසනාවන්ත තත්වයන්ට මුහුණපෑමට සිදුවු වාරයන් අපමණය.

නව යොවුන් වියේ සිටින දරුවන් මත්දුව්‍ය වලට සහ ‍නොයෙක් විෂමාචාරයන්ට ගොදුරුවිම මෑතක සිට සිග්‍ර යෙන් වැඩි වෙමින් පවති.  වැඩිහිටියන්ගේ රැකවරණය ලබමින් වැඩෙන දරුවා නව යොවුන් වියට එලැබෙනවාත් සමගම සමාන මිතුරු ඇසුරට පත්වේ. ඔහු හෝ ඇය යන මග හරි හෝ නිවැරදි මගට යොමු කිරිමට මෙම මිතුරු ඇසුර බලපායි. ඒ මන්ද යත් ඔවුන් බොහෝ විට හරි හෝ වැරදි අත්දැකිම් ලබාගන්නේ මෙම මිතුරු ඇසුර තුලින් බැවිනි. බොහෝ විට වැඩිහිටියන්ගේ අවවාද පිලිනොගන්නා දරුවා තම මිතුරන්ගේ උපදෙස් පිලිගනියි. එබැවින් තම දරුවාට නිවැරදි මිතුරන් ආශ්‍රයට සැලැස්විම ඉතා වැදගත් වේ.  අද වන විට බොහෝ දරුවන්ගේ වයස අවුරුදු 10 – 12 සම්පූර්ණ වීමත් සමග අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු විමට පටන් ගනි. එයට හේතුව ඔවුන් නව යොවුන් වියට පත්විමත් සමගම ඔවුන් අනවශ්‍ය දේ වෙත නැඔුරු විම තුල නිවැරදි අරමුණු සහ, ඉලක්කයන් ඔවුන් තුලින් ගිලිහී යෑමයි.  එහි අවසානය හිස් මිනිසුන් පිරිසක් බිහිවීමයි. පෞර්ෂයක් නැති පරපුරක් බිහි වීමයි. අධ්‍යනයන්ට අනුව බොහෝ අපරාධකරුවන් අපරාධ වලට යොමු වි ඇත්තේ තමන්ගේ සමිපතම මිතුරන් නිසාය. එසේම බොහෝ දරුවන් අපහරණයන්ට ලක්වි ඇත්තේ සමිපතම මිතුරන් අතිනි.

තවද මෑතක සිට අපේ දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුනගේ මනස විකෘති කරන නොයෙක් මත් ද්‍රව්‍ය පරිගණක ක්‍රිඩා මෙන්ම නොයෙක් විෂමාචාරයන් ක්‍රියාත්මක වෙමින් පවති. විවිධ සමාජ ජාල වෙබ් අඩවි මගින් දරුවන් නොමගට ඇද දමන විවිධ දෑ නිර්මාණය කර ඇත. මත්පැන්, මත් පෙති පමණක් නොව ඇතැමුන් වේදනාව සමනය කිරිමට ගන්නා වේදනා නාශක පවා අධි මාත්‍රාවකින් තරුණ පරපුරට අධික මිළ ගණන් වලට විකුණමින් මුදල් ඉපැයිමට පුරුදුව සිටිති. වානිජ අරමුණු මුල්කර ගනිමින් සිදු කරන මෙවැනි ක්‍රියාවන්ගෙන් විනාශයට පත් වන්නන් අතර බොහෝ විට තමන්ගේම දූදරුවන් සහෝදර සහෝදරියන් සිටිනු දැකිය හැකිය.

සමාජයේ බොහෝ දෙනෙකු හුරුවි සිටින්නේ 99%ක්ම යම් කිසි දෙයක් කරන්නේ නම් එය හරි හෝ නිවැරදි බව සොයා නොබලා ඒ දෙය අනුගමණය කිරිමටයි. එහි ඇති හරය කුමක්දැයි විමසා බැලිමට තරම් විචාර බුද්ධියක් ඔවුනට නැත. අහවලා ඒ දේ කරනවානම් අපි ඒ දේ කලාම මොකදැයි අසමින් ඔවුන්ද ඒ නිසරු දේම කිරිමට පෙලඕ සිටිති. නූතන ශ්‍රි ලාංකික දරු පරපුර විචාර බුද්ධියෙන් තොර පෞර්ෂයක් නැති පිරිසක් බවට පත් වෙමින් සිටින්නේ එසේය.

මෙම තත්වයට වග කිවයුත්තේ වැඩිහිටියන්මය. කුඩා කල සිටම කයට ආහාර සපයමින් පෝෂණය කරනවා සේම මනසද යහපත් දෙයින් පෝෂණය කල යුතුය. ඔවුනට නිවැරදි චින්තනයක් ඇති කල යුතුය. ආගමට දහමට යොමුකල යුතුය. වැඩිහිටියන්ට ගරු කිරිමට ඉගැන්විය යුතුය. ගැටළුක් ඇති විට එය විසදා ගන්නා ආකාරය, නිවැරදිව සමාජයට පිවිසෙන ආකාරය, සැමදෙනා සමග සුහදව ජිවත් වන ආකාරය, නිවැරදිව ඉලක්ක ජය ගන්නා ආකාරය, හැකියාවන් වර්ධනය කර ගන්නා ආකාරය පිළිබදව නිවැරදි මග පෙන්විමක් ලබා දෙමින් මනා පෞර්ෂයක් ගොඩනැගෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයයක් ඇති කල යුතුය. එය දෙමවුපියන් ගුරුවරුන් ආගමික නායකයන්,නීතිය ක්‍රියාත්මක කරන්නන් ඇතුළු වැඩිහිටියන් සතු පැහැර හැරිය නොහැකි වගකීමක් වන්නේය. දයාබර වැඩිහිටියනි, අද දවසේ ඔබ විසින් ගොඩනගන අයහපත් ලෝකය තුල හෙට දවසේ විනාශයට පත් වන්නේ ඔබේම දරුවන්ය. එබැවින් ඔවුනට යහපත් අනාගතයක් උදාකරදිමට අද දවසේ සිට ක්‍රියාත්මක වන්න.  

ටී.පී. ජයසේකර