සීගිරි සිතුවම් පිටපත් කිරීමට නවීන තාක්ෂණයේ සහාය

සීගිරිය පිළිබඳ අප බොහෝ දේ ලියා තිබේ; කියවා තිබේ. ඒ සීගිරි ලඳුන් ගැනය; සීගිරි කුරුටු ගී ගැනය; එසේත් නැති නම් කාශ්‍යප රජුන් ගැනය; තවත් විටෙක කුවේරයා ගැනය. ඒ සියල්ල අවසන අපි සීගිරිය හා රාවණා ගැන කතා කළෙමු. රාවණ රාජධානිය ලෙස සීගිරිය හඳුන්වා දීමටද ඇතැම් විද්වත්හු උත්සුක වෙති. එහෙත් අතීතයේ සැඟවුණු රහස් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම අතිදුෂ්කරය. ඒ සඳහා පරිශ්‍රමයක් දැරිය යුතු වේ. අද අප කතා කරන්නේ සීගිරි සිතුවම් අනාගතය වෙනුවෙන් වාර්තා කර තැබීම පිළිබඳවය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂෙත්‍රයේ සිතුවම් ලේඛනගත කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් නොතිබිණි. අතින් ඇඳීමේ ක්‍රියාවලියේදී වර්ණ භාවිතයේ ගැටලු මතු විය. ඊට හේතු වූයේ පුද්ගලයාගෙන් පුද්ගලයා වර්ණ හඳුනාගැනීමේදී දක්වන වෙනස්කම්ය. අතින් ඇඳීමේදී සිතුවම් පිටපත් කිරීම හේතුවෙන් නිර්මාණයට හානි සිදු විය. චිත්‍ර පිටපත් කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් නොවූ බැවින් වර්ණ, වස්තුවිෂය, ශෛලිය හා එදිනෙදා හායන ස්වභාවයන් සංරක්ෂණයේදී ප්‍රකට කිරීමට නොහැකි විය. එහෙත් 1896 වසරේ වීදුරු ඍණ පලක (Glass Negatives) ඡායාරූපගත කිරීම සිදු විය. ඒවා කළු-සුදු ඡායාරූප ලෙස රක්ෂණය කර තිබේ.

හායනය වෙමින් පවත්නා සීගිරියේ චිත්‍ර අනාගතයට සංරක්ෂණය කර තැබීම සඳහා පහසු වන සේ සිතුවම් ඩිජිටල් ඡායාරූපකරණය මගින් සංරක්ෂණය කර තැබීමට පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය. මේ කාර්යයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ අර්ජුන සමරවීර, සුමේධා දීප්ති කුමාරී, ආර්. නිශාන්ති රණසිංහ, පාලිත හේරත්, මහේෂ් ගුරුමැටිය හා අයි.පී.එස්. නිශාන්ත යන නිලධාරීහු සම්බන්ධ වූහ. රසායනික සංරක්ෂණයේදී හා සිතුවම් නැවත වර්ණ ගැල්වීමේදී මේ ඡායාරූප උපයෝගි කොටගෙන නිවැරැදිව හා පහසුවෙන් සංරක්ෂණ කටයුතු කිරීමට හැකි වේ. විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් සිතුවම් ඡායාරූපගත කිරීමෙන් සිතුවම්හි අන්තර්ගත බදාම ස්තරයේ ඇති ඇසට නොපෙනෙන දේ පවා හඳුනාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශය සමත් වී ඇත.

ක්‍රි.ව. 5 වැනි සියවසට අයත් සීගිරි චිත්‍රවල නිර්මාණ ශිල්පියාගේ නිර්මාණශීලිත්වය, තාක්ෂණ ක්‍රමවේදය හා මෙහි සිතුවම් කීදෙනකු විසින් නිර්මාණය කරන ලද්දේද යන්න පිළිබඳ හඳුනාගැනීමට සමත් වී ඇත. ඉපැරණි චිත්‍ර ශිල්පයේ සිතුවම්කරණයේදී ශාස්ත්‍රීය ක්‍රමවේදයන් තුනක් පැහැදිලි කොට තිබේ. එම ක්‍රමවේද අතුරින් දෙකක් සීගිරි සිතුවම් නිර්මාණය කිරීමට සීගිරි චිත්‍ර ශිල්පියා භාවිත කර තිබේ. පත්‍ර වර්ණ ගැන්වීමේ ක්‍රමය මෙහිදි භාවිත වී ඇති අතර එහිදී ශාක පත්‍රයක ඉරි ලෙස පින්සල හසුරුවා වර්ණ ගැන්වීම සිදු කර තිබේ. සීගිරි චිත්‍ර ශිල්පියා භාවිත කර ඇති අනෙක් ක්‍රමය පිරිදුවන ක්‍රමවේදයයි. එහිදී පින්සල් පහර නොපෙනෙන සේ සිතුවම සම්පූර්ණයෙන් පිරවීම සිදු කෙරේ.

සීගිරියේ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා සිතුවම් නිර්මාණයේදී වේගවත් පින්සල් පහරවල් භාවිත කර ඇති බව හා රේඛාකරණයේදී පින්සල වේගයෙන් හසුරුවා රේඛා ඇඳ තිබීම හඳුනාගත හැකිය. එයින් චිත්‍ර ශිල්පියා ප්‍රතිභාපූර්ණ දක්ෂ ශිල්පියකු බව පැහැදිලිය. මේ හඳුනාගැනීම වැදගත් වන්නේ යම් දිනක සීගිරි චිත්‍ර සංරක්ෂණයේදී වර්ණ ගිලිහී ගිය ස්ථාන ප්‍රතිපූර්ණය කිරීමේදී පැරණි ශිල්පියා පින්සල හසුරවා තිබූ ආකාරය පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට සංරක්ෂකයාට අවස්ථාව සැලැසෙන බැවිනි.

සීගිරියේ චිත්‍ර සංරක්ෂණය හා නඩත්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. සීගිරියේ චිත්‍ර තිබුණායැයි නොව සීගිරියේ සියවස් ගණනාවක් පැරැණි චිත්‍ර තිබේ යැයි කීමට හැකි වන සේ නව තාක්ෂණය හා ශිල්පීයක්‍රම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සංරක්ෂණ නඩත්තු අංශය වෙත ලබාදීමෙන් මේ ඡායාරූප පිටපත් කිරීමෙන් සිතුවම් කෙරෙහි ලබා දිය හැකි වාසිය උපරිමයෙන් ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් මේ සිතුවම් තවත් සියවස් ගණනක් සුරැකීමට හැකි වනු ඇත. සීගිරි සිතුවම්වලට යටින් ඇති තවත් සිතුවම් ස්තරයක් හඳුනාගැනීමට මේ ඡායාරූප සංරක්ෂණයේදී හැකි වී ඇත. පවත්නා සිතුවම්වලට යටින් ඇති රේඛා හැඩතල හා වර්ණ රටා හේතුවෙන් කලින් සිතුවම් ඇඳි බදාම ස්තරයක එම සිතුවම් මකා සීගිරි අප්සරාවන් අඳින්නට ඇතැයි උපකල්පනය කෙරේ.

සීගිරි ලියන් උඩුකය නිරුවතින් සිටින්නේය යන මතය බිඳ දමමින් ඩිජිටල් ඡායාරූපකරණයේදී සීගිරි ලඳුන් වස්ත්‍ර හැඳ සිටින බව විද්‍යමාන වී ඇත. ස්ත්‍රීන්ගේ සිරුරේ වර්ණය හා වස්ත්‍රවල වර්ණය වෙන් කර හඳුනාගැනීමේ හැකියාවද නව තාක්ෂණ භාවිතය නිසා හැකි වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී අර්ජුන සම්පත් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි. සීගිරියේ කියවෙන්නේ රාජකීයන් පිළිබඳ කතාබහකි. රාජකීයයන් පිළිබඳ කතාබහේදී මිල අධික කසීසළු හා පටසළු වස්ත්‍ර ලෙස භාවිත වූ බව කියැවේ. මිල අධික දුහුල් සළු අන්දවා සීගිරි අප්සරාවන්ගේ සිරුරු සැරසීමට චිත්‍ර ශිල්පියා දක්වා ඇති සූක්ෂ්ම නිර්මාණ කෞශල්‍යය කෙරෙහි අප නැවත ‍අවධානය යොමු කළ යුතුය. එලෙස රාජකීයන් කසීසළු භාවිත කළ බවට දැළිවල කොටවෙහෙර කැණීමේදී හමු වූ කසිසළුව මනා සාධකයකි.

ඇතැම් ලලනා රූප ඡායාරූපයට නඟා අධ්‍යනය කිරීමේදී ඇතැම් රේඛා කිහිප වරක් ඇඳ නිවැරදි කරගත් අවස්ථා හඳුනාගත හැකිය. එමෙන්ම සීගිරි චිත්‍ර නිර්මාණයට ශිල්පීන් රැසක් දායක වී ඇති බව මුහුණේ හැඩතල මතු කරගැනීමේ ශිල්පීය ක්‍රමයන්හි අනන්‍යතා, රේඛාවල වෙනස් වේගයන් හා පරිපූර්ණ බව විමසීමෙන් හඳුනාගත හැකිය. වැරදුණු හා අවසාන රේඛා සටහන් කෘතහස්ත ශිල්පීන් විසින් නිවැරදි කර ඇඳ ඇති බවද හඳුනාගෙන තිබේ.

සීගිරි ගලේ සිතුවම් ඇඳීමට භාවිත කර ඇති බදාමය සැකැසීමට රෙදි, ගස්වල පොතු, කෙඳි, පිදුරු හා තිරුවානා කුඩු මිශ්‍රණයක් භාවිත කර ඇතැයි යන මතය සනාත කරගැනීමටද මේ ඡායාරූප සංරක්ෂණ ක්‍රියාවලියේදී හැකි වී ඇත. සීගිරි සිතුවම් ඇඳි බදාමයේ තිබී සිතුවමේ වර්ණ තීරුවට යටින් මි.මී 3ක පළලින් හා මි.මී. 12ක දිගින් යුතු කිසියම් කෙන්දක් හමු වි ඇත. ඡායාරූප වාර්තාකරණයේදී ඩිජිටල් කැමරා කාචයට හසු වූ මේ කෙන්ද පියෙවි ඇසට නොපෙනෙන තරම් වේ. එය ඔක්සයිඩවලින් වැසී ඇති බැවින් ලෝහ කෙන්දක් බව අනුමාන කෙරේ. සීගිරි සිතුවම්හි ගල්වන ලද වර්ණ ස්තරයට යටින් මිලිමීටරයකින් 1/10 ප්‍රමාණයේ පළලින් යුත් කෙන්දක්ද හමු වී තිබේ. ඒ ස්ථානයේ කෙඳි විසිරුම විමසීමේදී එම කෙන්ද පින්සලයක් සඳහා භාවිත වූවක්ය යන්න අනුමාන කෙරේ.

සීගිරි ගලේ ඇඳි සිතුවම් අතුරින් මේ වන විට ඉතිරිව ඇත්තේ 19ක් පමණි. මේ සිතුවම් බොහෝමයක් උඩුකය පමණක් සිතුවම් කරන ලද ඒවාය. එහෙත් දැරණියගල ගුහාවේ උඩුකය සහ යටිකය සහිත සිතුවම් දැකගැනීමට හැකිය. කැටපත් පවුරට පිටත පෘෂ්ඨයේ ඇති දෑත් විහිදාගත් කාන්තා රුවක් අහසේ සිටින අයුරු නිරූපිත සිතුවම විශේෂ වේ. එහි උඩු කය හා යටි කය පැහැදිලිව ප්‍රකට වන මානව රූපයකි. ඒ ආසන්නයේ ඇති වළලු දැමූ බාහුව ප්‍රභූවරයකුගේයැයි අනුමාන කරන්නේ ඉහළින් ඇති ඡත්‍රය හේතුවෙනි. සුමට මතුපිටක ඇඳ නැති මේ සිතුවම් සියල්ල නව තාක්ෂණය හා ශිල්පීය ක්‍රම භාවිතයෙන් ඡායාරූපකරණය කොට ඇති අතර, මේ සිතුවම් සිය ගුණයකින් විශාලනය කර බැලීමේ හැකියාව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී අර්ජුන සමරවික්‍රම මහතා පවසයි.

සීගිරිය යනු ශ්‍රී ලාංකේය ජනයාට ආඩම්බර විය හැකි අතීත උරුමයකි. ක්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි සියවසේ මෙරට විසූ නිර්මාණකරුවා විශිෂ්ට ඥානයකින් හෙබි නිර්මාණශීලි අදහස්වලින් පරිපූර්ණ පුද්ගලයකු බවට සීගිරි සිතුවම් සාක්ෂි දරයි.

උපුටා ගැනීම - සිළුමිණ