බුද්ධ උදානය

“බුද්ධ උදානය” නමින් මෙම ලිපි පෙළ පල කරනු ලබන්නේ ලොව පහල වූ ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාගේ චරිතයෙහි වන සුවිශේෂී අවස්ථා පිළිබද පොදු ජන මනස උද්දීපනය කිරීමේ අරමුණෙනි.සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් එය පල කරනු ලබන්නේ අන්‍ය ආගමික මිතුරන්ටද බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයා වරයා පිළිබද සුපහන් හැගීම් උපදවා ගැනීමටය.එළභෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් තුටු පඩුරක් වන මෙය අවධානයෙන් කියවීමද එය අන් අය වෙත පැතිරවීමද ධර්ම දානමය පින්කමක් වනු ඇත.වෙසක් පුන් පොහෝ දිනය හා පොසොන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත “බුද්ධ උදානය” විශේෂ ආගමික වැඩසටහන් සදහා සම්බන්ධ වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කෙටි සටහනක් [email protected] යන මාගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
මෙයට, ශාෂණ ලැදි, ධර්මාචාර්ය
නිලන්ත අබේසිංහ - කැදවුම්කරු / බුද්ධ උදානය

“බුද්ධ උදානය"
පළමු සටහන 
අසිරිමත් බෝසත් උපත

“අසිරිමත් බෝසත් උපත”
“ආගමික ශාස්තෘවරයෙකු ලෙස හා මනුෂ්‍යකු ලෙස ලොව සිදු වූ ශ්‍රේෂ්ඨතම උපත ලෙස ලොව්තුරා බුදුන් වහන්සේගේ පහල වීම සදහන් කල හැක. එම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උපත සිදු වන විට එවකට මෙම විශ්වය තුල පැවතුනු සියලු අධි මානසික ශක්තීන් එම බෝසත් කුමරුන්ට ආශීර්වාද කරන ලදී.”
බෝසත් කුමරා මැති ඇමතිවරුන් අතින් බැස පය තබනවාත් සමගම පොළොවෙන් පන නැගුනු නෙලුම් මල් සතක් මත සිට ගත්තේය.එම පියුම් මත සිට ගත් බෝසත් කුමරා දස දිග බැලීය."ස්වාමීනි , ඔබට වැඩි උත්තමයෙක් හෝ ඔබට සම කෙනෙක් හෝ මේ දිශාවෙහි නැතැයි දිව්‍ය බ්‍රහ්මයන් විසින් පවසන ලදින් බෝසත් කුමරා උතුරු දිග බලා පියුම් මත සත් පියවරක් ගමන් කොට
“අග්ගෝ හමස්මි ලෝකස්ස - ජේට්ඨෝ හමස්මි ලෝකස්ස - සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති'මා ජාති නත්තිදානි පුනබ්බවෝ “
යන අභීත ප්‍රකාශය කරනු ලැබීය.එහි අදහස නම්:

“මම ලොවට අග්‍ර (උතුම්) වෙමි !, මම ලොවට ජ්‍යෙෂ්ට( වැඩිමහල්) වෙමි,!මම ලොවට ශ්‍රේෂ්ඨ (උත්තම) වෙමි!
මේ මාගේ අන්තිම ඉපදීමයි , මින් පසු ,මට නැවත උපතක් නැත.”
මෙසමයෙහි රජගහ නුවර ඉසිගිලි පව්වෙහි මාතංග නම් පසේ බුදු රජාණන් විසීය.බෝසත් කුමරා උපන් කෙරෙහිම ඒ බෝසතාණන් දකින්නට එන දේවතාවන් මාතංග පසේ බුදු රජුන් වෙතද පැමිණ " වහන්ස , ලොව්තුරා බුදු වන බෝසතාණන් උපන්හ.අපි උන්වහන්සේ දකින්නට යම්හයි කියා වැද අවසර ගෙන නික්ම ගියහ.ඔවුන්ග්ව් කතාව ඇසූ පසේ බුදු රජුන් තමන් ගැන විමසමින් , තමන්ගේද ආයුෂ කාලය නිම වී ඇති බව දුටහ.ඉක්බිති උන්වහන්සේ හිමවත්හි මහා ප්‍රපාත පර්වතයට පැමිණ පිරිනිවන් පැසේක.