කටයුතු පහසුකරන Google Forms

මෙවර අපි Google Drive හි තවත් වැදගත් එක් අංශයක් වන "Google Forms" ගැන කතා කරමු. ඉතා ඉක්මණින් ඔබට අන්අයගේන් තොරතුරු ලබාගැනීමට ඇති එක් මාධ්‍යක් ලෙස මෙය සැලකිය හැකිය. මෙහිදී ඔබට තොරතුරු ගවේෂණය උදෙසා අන්අයගේ රුචි-අරුචිකම් දැනගැනීමට ආකෘතිපත්‍ර සැකසිය හැකිය, එමෙන්ම ඔබේ වැඩසටහනකට බාහිර අය ලියාපදිංචි කරගැනීම, ප්‍රශ්ණාවලි සදහා අන්අයට පිලිතුරු ලබාදීමට පහසුකම් ලබාදීම, දුරකථන අංක - ලිපිනයන් - විද්‍යුත් ලිපිනයන් එකතු කරගැනීම වැනි වැඩකටයුතු රාශියක් මෙමගින් සිදුකරගැනීමේ පහසුකම ඇත.

ඔබේ පරීක්ෂණ සදහා තොරතුරු එක්රැස් කිරීම ඔබට සිතැගි පරිදි ඡායාරූප, සංකේත සහ නිවැරදි වර්ණ යොදාගෙන කරගැනීමේ පහසුකමත් මෙය සතුය. එය ඔබගේ අනන්‍යතාවය තබාගැනීම උදෙසා මහත් රුකුලක් සපයයි. ඔබටම අනන්‍ය වූ තේමාවක් (theme) යටතේ කටයුතු කරගෙනයෑමේ නිදහස මෙය සතුය.

විවිධ ප්‍රශ්ණ සහ ඒවාට පිලිතුරු ලබාගතයුතු ආකාරය එහි සදහන්ව ඇති අතර බහුවර්ණ ප්‍රශ්ණ සදහාද අවකාශය සලසා දී ඇත. මෙය අධ්‍යාපන කටයුතුවලදී ඔබට වඩාත් උපකාරීවනු ඇත.  එමෙන්ම ඒ සදහා ඡායාරූප හා විඩියෝ එකතු කරගැනීමෙන් වඩාත් ආකර්ශණීය ආකෘති පත්‍ර නොඑසේ නම් අයදුම්පත්‍ර තනාගැනීමේ පහසුකම මෙය සතුය.

මෙම ආකෘතිපත්‍ර ඕනෑම පරිගණකයට, ස්මාට් ජංගම දුරකථනයකට හා ටැබ් යන්ත්‍රයකට අනුකූලතාව දක්වන අතර ඕනෑම් ස්ථානයක සිට ඔබට පහසුවෙන් නැරඹීම, වෙනස්කරගැනීම් සිදුකරගත හැකිය. ඕනෑම විශාල කුඩා තිරයකින් නැරඹීමේ අවකාශය ලබාදී ඇති නිසා කාර්්‍යබහුල ඔබේ ජීවිතයට වඩාත් පහසු වනු ඇත.




එමෙන්ම ඔබ විසින් ආකෘතිපත්‍ර යොදාගෙන ගවේෂණය කර එක්රැස් කරගන්නා දත්ත මනාව විශ්ලේෂණය කොට සංවිධානය කරගැනීමේ අවස්ථාවද එය තුල වේ. එම දත්ත වෙනම Microsoft Excelට සමාන පත්‍රයකට එක්රැස් වන අතර එය ඔබට පහසුවන ආකාරයට සකසාගත හැකිවනු ඇත.

එමෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂී අංගයවනුයේ ඔබේ කණ්ඩායමේ කෙනෙකු හෝ කිහිපදෙනෙකු සහභාගීකරගෙන මෙය සකස්කිරීමේ හැකියාව ඇතිකමය.  එහිදී අධ්‍යාපනය ලබන්නෙකු නම් තම ගුරුවරු සමඟද, රැකියාවක නියුතු අයෙකු නම් තම රැකියා ස්ථානයේ පිරිස් සමඟ ද, මිතුරු මිතුරියන් සමඟද මෙය බෙදාගෙන වැඩකටයුතු කිරීමේ පහසුකම නිසා ඔබේ කාලය ඉතිරිකරගෙන වඩාත් ඵලදායී ලෙස එය සිදුකරගැනීමේ හැකියාව ඇත. 



- පුලස්ති වන්නිආරච්චි

  ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක

  www.seoranksrilanka.com