අලුත් අවුරුදු ලග්න පලාපල

රටට යහපත උදාකරන ඉතා වැදගත් ග්‍රහ මාරු කීපයක් 2022 අපේ‍්‍රල් මාසයේ මැද සිට ඇතිවේ. අපේ‍්‍රල් 12 රාහු මේෂ රාශි ගත වේ. ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ තුන්වැන්නට හෙවත් වික්‍රමස්ථානයට රාහු පැමිණෙන අතර කේතු භාග්‍යස්ථානය වන නව වැන්නට පිවිසෙයි. අපේ‍්‍රල් 13 ගුරු ධනස්ථානය වන දෙවැන්නට පැමිණ ස්වකීය බලය පතුරුවයි. දෙවැන්න වන මීන රාශිය ගුරුගේ නිවහනකි. අපේ‍්‍රල් 29 සෙනසුරුද ස්වකීය නිවසක් වන කුම්භ රාශියට පිවිස ලග්නගතව සිය බලය විහිදුවීම ආරම්භ කරයි. අපේ‍්‍රල් 14 රාජ්‍ය කාරක රවිද මේෂ රාශි ගතවී උච්ච බලය පතුරුවයි. අපේ‍්‍රල් 27, කුම්භ රාශියේ හතර සහ නවය අධිපති සිකුරු ද දෙවැන්නට පැමිණ උච්ච වේ. මෙම ග්‍රහ පිහිටීම් අනුව මැයි සිට රටට මෙන්ම සැමටම සුවසෙත සෞභාග්‍ය දියුණුව ඇති කරයි. පොදුවේ වැඩි දෙනෙක් තම තමන්ගේ අරමුණු, පැතුම්, ජයග්‍රහණ බලාපොරොත්තු අදහස් සිතුම් පැතුම් ඉටුවේවා යයි ප්‍රාර්ථනා කර කර සිටියාට එවා ඉටු නොවීමට ඉඩ තිබේ. ධෛර්යයෙන් යුතුව ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉතා උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කළ යුතුය. එවිට සියලු පැතුම් ප්‍රාර්ථනාමල්පල හට ගන්නවා ඇත. මෙම ග්‍රහ මාරු අනුව ලංකා කේන්ද්‍රය බලවත් වේ. ඒ අනුව මැයි මුල සිට මෙතෙක් රටේ පැවැති බාධක කරදර අවහිරතා ඉවත් වී භාග්‍ය යසස උදාවන බව පෙන්නුම් කරයි. පවතින ගැටලුවලට ක්ෂණික සහන කෙසේ වෙතත් සහනදායක වැඩපිළිවෙල ඇතිවේ. රටට යහපත් තත්ත්වයක් උදාවන අතර ආර්ථිකය ද යහපත් වේ. රජයේ ආදායම ඉහළ යන අතර විදේශ වලින්ද මිත්‍රකමින් යහපත් සිතින් උදව් උපකාර ලැබේ. කෙසේ වෙතත් රජයට අභියෝගවලට මුහුණ දීමට ද සිදුවේ. ගම් මට්ටමේ සිට රාජ්‍ය අංශය ශක්තිමත් වේ. ආරක්ෂක අංශ පොලිසිය ශක්තිමත් වේ. අධ්‍යාපන අංශයේද දියුණුව ඇතිවේ. කෘෂිකර්ම අංශයේ ගොවි කටයුතුවල පවතින ගැටලු නිරාකරණය වී දියුණුව ඇති කරයි. ගොවි ජනතාවට සහනය ලැබේ. වැසිපලද නිසිකලට ලැබෙනු ඇත. ව්‍යාපාර අංශවල තිබූ විවිධ බාධා දුරුවී ව්‍යාපාර කටයුතු ද දියුණුවේ. ආදායම් සරුවේ.
ජූලි 12 සෙනසුරු නැවත මකර රාශි ගතවීම අනුව තරමක බාධා ඇතිවුවත් එය තදබල නොවේ. අධිෂ්ඨානයෙන් කටයුතු කළොත් වසර අගවන විට කොරෝනාව ද තුරන් කළ හැකිය. කුමන ලග්නයකින් ඉපදුනත් උත්සාහය පෙරදැරිව අරමුණු ඉටුකරගැනීමට වගබලා ගැනීම හැමගේම යුතුකමකි. පොදුවේ හැම ලග්නයකටම වගේ සුබයි. මිථුන, කටක, වෘශ්චික, ධනු, මීන ලග්නවලට ගුරුහංස යෝගය ද වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයද යෙදෙයි. දැහැමිව පස්පවින් වැළකී මෛත්‍රී සහගතව කටයුතු කිරීමෙන් බොහෝ අපල දුරුවේ. තදබල අපලවල බලය අඩුවේ. ක්‍රෝධය, වෛරය, මුලාව,ඊර්ෂ්‍යාව දුරු කිරීමට හැම විටම සිතට ගත යුතුය. යහපත් දිවියක් ගත කරනවිට දෙවියන් පවා ඔබට වඳී. නව වසරේ මෛත්‍රිය වඩමින් අධිෂ්ඨානයෙන් යුතුව දිවිමග ගෙන යන්න. එය ඔබට ජයකි.
 
 
 
මේෂ
ආර්ථික දියුණුව
මේෂ ලග්නයේ දහය සහ එකොළහ අධිපති සෙනසුරු අයස්ථානයට හෙවත් එකොළහට පැමිණෙන අතර ලග්නය හිමි කුජ ද එහි ඇත. රවි රාහු ලග්නයේ ගුරු සිකුරු දොළහේ බුධ දෙකේ සඳු හයේ කේතු හතේද යෙදෙයි. සෙනසුරු අයස්ථාන ගතවීම අසුබ නොවේ. ධනය ලැබීමට ආදායම් මාර්ග සරුවීමට කරන කියන කටයුතු දියුණු වීමට හේතුවේ. ව්‍යාපාර කටයුතු ද දියුණු වේ. යානවාහන මෙන්ම භූමිලාභ ලැබීමට ද ඉඩ තිබේ. සෙනසුරු දශා තිබේනම් සොර සතුරු කරදරවලින් ආරක්ෂා විය යුතුය. වාහන අනතුරු වලින් ද ආරක්ෂා විය යුතුය. යහපත් ආර්ථික තත්ත්වයක් උදාවේ. සිකුරු දශා ගත කරන අයගේ වැය පක්ෂය වැඩිවේ. යුගදිවියට අහිතකර බලපෑම් ඇතිවේ. බුධ දශා ගත කරන අයද ප්‍රවේශම් විය යුතුය. රැවටීම් මුළාවීම් වලින් වැළකිය යුතුය. වැයපස ද වැඩිවේ. ගිවිසුම් ඇතිකර ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය. රවි රාහු දශා ගත කරන අයට අපේ‍්‍රල් මැයි මාසවල හිසේ උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැකිය. ගුරු දශා ගත කරන අයගේද වියදම් වැඩිවේ. පමණ ඉක්මවා වියදම් කිරීමෙන් වැළකිය යුතුය. රාහු දශා තිබෙන අය අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකිය යුතුය. අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය. ඉවසීමෙන් කටයුතු කළ යුතුය. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. රතු නෙළුම් මල් පූජා කරන්න බෝධි පූජා පවත්වන්න. කේතු දශා ගත කරන අයට උදාසීන ගති කළකිරීම් ඇතිවේ.
 
වෘෂභ
අර්බුධ ජයගනී
 
වෘෂභ ලග්නයට යෝගකාරක නවය දහයට අධිපති සෙනසුරු කුම්භ රාශියේ කේන්ද්‍රගතවන අතර අඟහරුද එහිම ඇත. ගුරු සිකුරු එකොළහේද රවි රාහු දොළොස්වැන්නේ ද බුධ ලග්නයේ ද සඳු පහේ කේතු හයේ ද යෙදෙයි. ශනි ගෙන් සස යෝගයද යෙදී ඇත. සෙනසුරු ගමන සුබයි. කැපී පෙනෙන තත්ත්වයක් ඇති කරගත හැකිය. කරන කියන කටයුතු දියුණූු වේ. රැකියා අංශවල උසස්වීම් හිමිවේ. තිබූ කරදරවලින් නිදහස්වීමට හැකිවේ. මොන ප්‍රශ්න කරදර බාධක පැමිණියත් ඒවා විසඳා ගැනීමට හැකිවේ. සිකුරු දශා ගත කරන අයට ද වැඩියෙන් ආදායම් ලැබිය හැකිය. උපායශීලි ලෙස කටයුතු කළ හැකිය. ඉගෙන ගන්නා අයගේ අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු ද දියුණුවේ. ධාරණ ශක්තිය ඇතිවේ. තම මතයට අනුව කටයුතු කරයි. රවි දශා තිබෙන අයට විදේශ ගමන් යෙදිය හැකිය. ගුරු දශා ගත කරන අයට යම් යම් බාධක ඇති වුවත් ක්‍රමානුකූලව සිතා බලා කටයුතු කිරීම හේතුවෙන් දියුණුව උදාවේ. රාහු දශා ගත කරන අයට බාධා ඇතිවේ. ඉගෙනීම අතපසු වේ. ස්ථානමාරු ඇතිවේ. කුඩා අයගේ දෙමාපියන්ට එම අපල ඇති කරයි. අනතුරු පීඩා මෙන්ම උෂ්ණ රෝග පීඩා ද ඇතිවිය හැකිය. උපතේදී කුජ බලවත්ව සිටියේ නම් දිවි මග සාර්ථක කරගත හැකිය. කේතු දශා ගත කරන අයට ද රෝග පීඩා යෙදේ. බුදුගුණ භාවනාව කරන්න. නවග්‍රහ යන්ත්‍රය පලඳින්න. රතු නෙළුම් මල් පූජා කරන්න.

මිථුන
වාහන ලාභ
මිථුන ලග්නයට ද සුබ ග්‍රහයකු වන සෙනසුරු පෙර පින්බලය නිවේදනය කරන නවවැන්නට පැමිණෙන අතර ගුරු, සිකුරු දහයේ රවි රාහු එකොළහේ බුධ දොළහේ සඳු හතරේ කේතු පහේද යෙදෙයි. සෙනසුරු සුබයි. වාසනාව තමා අතේ බව සිතා කටයුතු කරන අතර උපරිම අයුරින් දියුණුවද ඇතිකර ගනී. ඉඩකඩම් භූමි ලාභ මෙන්ම යානවාහන ලාභද ලැබිය හැකිය. ආගමික අංශයවලටද යොමුවේ. ඉගෙන ගන්නා අයගේ එම කටයුතු දියුණු කර ගත හැකිය.
බුධ දශා ගත කරන අයට තරමක් අසුබදායක වේ. අනතුරු පීඩාවලින් වැළකිය යුතුය. කරදර බාධා ඇති කරයි. සඳු දශා ගත කරන අයටද උරුමහිමිකම් ලැබේ. ඉගෙනීම් ආදි කටයුතු දියුණුවේ. රවි දශා ගත කරන අයට ද දියුණුව මෙන්ම යම්කිසි බලයක් ඇති කරගත හැකිය. ගුරු සිකුරු දශා ගත කරන අයට ද ඉතාම සුබයි. රැකියා සහ ව්‍යාපාර කටයුතු දියුණු වේ. උසස්වීම් ඇතිවේ. අවිවාහක අයට මංගල කටයුතු ද උදාවේ. නිලතල ලැබිය හැකිය. කුජ දශා ගත කරන අයට බාධක ඇති කරයි. භාග්‍ය අඩුවේ. රතුනෙළුම් මල් පූජා කරන්න. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. රාහු දශාගත කරන අයට ධන ලාභ යෙදේ. මහන්සියක් නැතිව ධනය ලබන මාර්ග උදාවේ. හිසේ උෂ්ණ රෝග පීඩා ඇතිවේ. කේතු දශා ගත කරන අයගේ දියුණුව ප්‍රමාද වේ. සුවඳැල් කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න. බුදුගුණ භාවනාව කරන්න. විෂ්ණු දෙවියන්ට බාරයක් වන්න.

කටක
නව ලැබීම්
කටක ලග්නයේදී අටවැන්න වූ කුම්භ රාශියට සෙනසුරු පැමිණෙන අතර ගුරු සිකුරු නවවැන්නවූ මීන රාශියේද රවි රාහු දහයේද බුධ එකොළොස්වැන්නේ ද සඳු තුනේ සහ කේතු හතරේදි යෙදෙයි. කටක ලග්නයට අෂ්ටම ඒරාෂ්ටකය පවතී. සෙනසුරු දසා ලබා තිබේ නම් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. අනතුරු පීඩාවලින් වැටීම් තැළීම් වලින් ආරක්ෂා විය යුතුය. වාත රෝග මලබද්ධය වැනි රෝග ඇතිවිය හැකිය. යුගදිවියේ සතුට අඩුවේ. ප්‍රශ්න ගැටලු මතුවේ. කපුටුදානය දෙන්න. නිල්මල් පූජා කරන්න. නව අරහාදී බුදුගුණ භාවනාව කරන්න. සිවුරක් පූජා කරන්න. එළවළු වෑංජන සමඟ කැකුළුබත් හීල් දානය වශයෙන් දන්දෙන්න.
ගුරු දශා ලබා තිබෙන අයට තරමක් සුබයි. කරන කියන කටයුතු දියුණු වේ. බාධා මධ්‍යයේ වුවත් ඉගෙනීම් කටයුතු දියුණු කරගත හැක. සමාජ ගෞරවය ලැබිය හැකිය. උරුමහිමිකම් ලැබේ. අවංක ධාර්මික ගතිගුණ ඇතිවේ. වාණිජ කටයුතු ද දියුණුවේ. බෝධි පූජා පැවැත්වීම යෝග්‍ය වේ. රවි දශාගත කරන අයටද යහපත් ප්‍රතිඵල ලැබේ. රතුනෙළුම් මල් පූජා කරන්න. මහන්සියට වඩා ප්‍රතිඵල ලැබිය හැකිය. සිකුරු දශා තිබෙන අයට ද වාසනාව උදාවේ. විදේශ ගමන් මෙන්ම වන්දනා ගමන්ද යෙදෙයි. ගුණයහපත්කම ඇතිවේ. ගෞරවයට පාත්‍රවේ. කුජ දශා ගත කරන අයටද ඉවසීමෙන් කටයුතු කිරීමෙන් උසස් දියුණුව ළඟා කර ගත හැකිය. ව්‍යාපාර කටයුතු දියුණු වේ.
රැකියා ලැබීම් ඇතිවේ. රාහු දශා ගතකරන අයට ස්ථාන මාරු යෙදිය හැකිය. දේශපාලන අංශවලට ද යොමුවේ. අනතුරු පීඩා ද යෙදිය හැකිය. විවේකය අඩුවේ. කේතු දශා ගත කරන අයට මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. සමපලදායක වේ. සුවඳැල් කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න.
 
සිංහ
ඉඩකඩම් ලාභ
සිංහ ලග්නය අනුව සෙනසුරු දිග්බල ස්ථානය මෙන්ම තම වාසභවනයක් වන හත්වැන්නට පැමිණේ. ලග්න හිමි රවි ද උච්ච බලයෙන් රාහු සමඟ නවයේ ගමන් අරඹයි. ගුරු සිකුරු අටේ සඳු කේතු දෙකේ සහ තුනේ ගමන් කරයි. සෙනසුරු හතේ බලවත්ය. දැක තිබෙන අයට ඉඩකඩම් ලාබ වැනි සුබඵල ලැබේ. සස යෝගය යෙදී ඇත. පිරිස් බලය හිමිවේ. විවාහ අපේක්ෂිත අයට මංගල කටයුතු ද උදාවේ. ව්‍යාපාර දියුණු වේ. විවාහය නිසාද දියුණුව ඇතිවේ.
ගුරු දශා ලබා තිබෙන අයට බාධක මැද සාමාන්‍ය දියුණුව ඇති කරයි. උරුම හිමිකම ලැබේ. දියුණුව අඩුය. බෝධි පූජා 7ක් පවත්වන්න. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. සිකුරු දශා ලබා තිබෙන අයට රැකියා අංශවල බාධා ඇති කරයි. කරදරබාධා වලින් ආරක්ෂා විය හැක. කරඳ පැළයක් සිටුවා සාත්තු කරන්න. රවි දශා ගත කරන අයට ද වරදක් නැත. ඉගෙනීම් කටයුතු වලටද සුබයි. ප්‍රසිද්ධිය වාසනාව ඇතිවේ. විදේශ සබඳතා ඇතිවේ. උරුම හිමිකම් ලැබේ. ශක්තිය ධෛර්ය ඇතිවේ. බුධ දශා තිබෙන අයටද වරදක් නැත. කරන කියන කටයුතු දියුණු වේ. කුජ දශා ගත කරන අයට උෂ්ණ රෝග පීඩා යෙදිය හැකිය. වියදම් වැඩිවේ. ඥාති මිත්‍ර සබඳතා වලට බාධාවේ. රතු නෙළුම් මල් පූජා කරන්න. කතරගම දෙවියන්ට බාරවන්න. රාහු දශා ගත කරන අයටද දියුණුව ප්‍රසිද්ධිය ඇතිවේ. ගමන් බිමන් යෙදේ. ක්‍රියාශීලි ගති ඇතිවේ. ඉගෙනීම් වලට බාධා වේ. කේතු දශා ඇති අයට අස්ථාන චෝදනා එල්ල විය හැකිය.
 
කන්‍යා
මංගල යෝග
කන්‍යා ලග්නයේ හයවැන්න හෙවත් රෝග ස්ථානයට සෙනසුරු පැමිණෙන අතර ගුරු , සිකුරු හත්වැන්නේද රවි, රාහු අටවැන්නේද ලග්නාධිපති බුධ නවවැන්නේද සඳු ලග්නයේ සහ කේතු දෙකේද යෙදෙයි. කුම්භය ශනිගේම රාශියකි. රෝග පීඩා සතුරු කරදර ඇති වුවත් අවධානයෙන් කටයුතු කිරීමෙන් ඒවා මැඩ පවත්වා ගත හැකි උදරගත රෝග පීඩා, වාත රෝග යෙදිය හැක. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධාවේ. යුගදිවියේ බාධා කරදර ඇතිවේ. දරුවන් වෙනුවෙන් වියදම් ඇතිවේ. සෙනසුරු දශා තිබෙන අය බුදුගුණ සහ මෛත්‍රී භාවනා කරන්න. කපුටු දානය දෙන්න. සිවුරක් පිරිකරක් පූජා කරන්න. කඨින වලට පරිස්කාර පූජා කරන්න.
ගුරු දශා ගත කරන අවිවාහක අයට මංගල යෝග උදාවේ. ධනවත් උගත්බලවත් කෙනකු විවාහයට ලැබේ. ඉගෙන ගන්නා අයට ඉගෙනීම් දියුණු කරගත හැක. ගුරු හංස යෝගය ද යෙදේ. බුධ දශාගත කරන අයගේ රැකියා අංශ දියුණු වේ. රැකියා ලාබද ඇතිවේ. විදේශ රැකියාද හිමිවේ. සිකුරු දශා ලබා තිබෙන අයට ද එතරම් වරදක් නැත. යහපත් පල ලැබේ. කරන කියන කටයුතු දියුණු වේ. ගමන් බිමන් යෙදේ. කුජ දශා ගත කරන අයට ආර්ථික අපහසුතා ඇතිවිය හැකිය. උදරගත රෝග පීඩා යෙදේ. රවි දශා ගත කරන අයට විරුද්ධවාදිකම්වලට මුහුණු පෑමට සිදුවේ. ඉගෙනීම්වලට බාධා ඇතිවේ. ගින්නෙන් විදුලියෙන් අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. ධනය ලැබීම මෙන්ම ධන හානිද ඇතිවේ. රතු නෙළුම් මල් පූජා කරන්න. රාහු දශාගත කරන අයට ද වියදම් වැඩිවේ. හිසේ, ඇසේ රෝග පීඩා යෙදිය හැක. කේතු දශා ගත කරන අයටද සුබවාදී අගහිඟකම් ඇතිවේ. ණය නොගත යුතුය.
 
තුලා
උරුම හිමිකම්
 
තුලා ලග්නයේ පස්වැන්නට සෙනසුරු පැමිණේ. කේතු ලග්නයේ රවි රාහු හතේ ගුරු සිකුරු හයේ බුධ අටේ සඳු දොළහේ ද යෙදෙයි. තුලා ලග්නයට සෙනසුරු සුබ ග්‍රහයෙකි. යෝගකාරක වේ. තමාගේම රාශියවන කුම්භයේ සෙනසුරු ත්‍රිකෝණ බලයෙන් ද යුක්ත වේ. එනිසා එතරම් වරදක් නැත. ස්ථිර අදහස් හා ප්‍රතිපත්තිවලින් යුක්ත වේ. සෑම අංශවලම උනන්දුව උත්සාහය ඇතිවේ. ඉගෙනීම් ආදියට ද වරදක් නැත. උරුම හිමිකම් ලැබේ. උදරාබාධ යෙදුණත් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගත හැක. ගුරු දශා ගත කරන අයට තරමක් සුබමදි. සතුරු කරදර ගැන හිතේ බිය ඇතිවේ. ගමන් බිමන් යෙදේ. සහෝදරයන් සමඟ මතබේද ඇතිවීමට ඉඩ තිබේ. ආගමික අංශවලට යොමුවේ. අපලවලට බෝධිපූජා පවත්වන්න. තමන් නිවැරදි නම් අපලවල බලපෑම අඩුවේ. සිකුර දශා ගත කරන අයටත් රෝග පීඩා සතුරු කරදර ගැන හිතේ අස්ථාන බිය ඇතිවේ. ස්ත්‍රි පක්ෂයෙන් කරදර ඇතිවේ. කුජ දශා ගත කරන අයට ගෞරවය ආරක්ෂා කරගෙන සමාජයේ තැනක් ලබා ගත හැකිය. ඉගෙනීම්ද සාර්ථක කරගත හැකිය. දියුණුවද ඇති කර ගත හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න. බුධ දශා තිබෙන අයට උපතේදී බුධ අටේ සිටියා නම් සෙම් පිත් දෝෂ නහරගත රෝග පීඩා යෙදිය හැකිය. ගුප්ත අංශවලට දක්ෂවේ. ආර්ථික අපහසුතා ඇතිවේ. රවි රාහු දශා ලබා තිබෙන අයට අර්ශස් වැනි උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ගෞරවය ආරක්ෂා කර ගනී. අනුන්ට යටත්වීමට අකමැතිය. කේතු දශා ලබා තිබෙන අයට උදාසීන ගති ඇතිවීමෙන් තම කටයුතු ප්‍රමාද වේ.
 
වෘශ්චික
ධන ලාභ

වෘශ්චික ලග්නයේ හතරවැන්නට සෙනසුරු පැමිණෙන අතර ගුරු සිකුරු පහේ රවි රාහු හයේ බුධ හතේ සඳු එකොළහේ කේතු දොළහේ ලග්නාධිපති කුජද හතෙර්ය. උපතේදී සඳු ද හතරේ සිටියේ නම් සෙනසුරු දශා ගත කරන අයට ජන්ම ඒරාෂ්ටකය යෙදේ .කලබල විය යුතු නැත. නිවාස වැඩ, ගෙවල් සෑදීම වැනි කටයුතු තිබේ නම් ඒවා කළ යුතුය. ඒවාට වියදම් කළ යුතුය. සෙනසුරු ඒරාෂ්ටක අපල ඇති ඕනෑම කෙනකුට නිවාස සෑදීම වැනි කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය වේ. නොදැනීම වගේ අපලය ගෙවී යයි. පිරිස් බලයෙන්ද යුක්ත වේ. ඉඩකඩම් ලාබද ඇතිවේ. මවට අපල යෙදීමට ද ඉඩ තිබේ. පපුවේ වාතවේදනා ඇති විය හැකිය. කපුටුදානය දෙන්න. සිවුරක් පූජා කරන්න. බුදු ගුණ භාවනා, මෛත්‍රි භාවනා කරන්න. පුණ්‍ය කටයුතුවල යෙදෙන්න.
ගුරු දශා ගත කරන අයට සුබයි. ඉගෙනීමේ කටයුතු දියුණු වේ. ධනය ප්‍රසිද්ධිය ලැබේ. ආදායම් සරු වේ. කරන කියන කටයුතු දියුණු වේ. කුජ දශාගත කරන අයට ද වරදක් නැත. ලැබීම්ද ඇතිවේ. පපුවේ සෙම් රෝග පීඩා ඇතිවේ. රතු නෙළුම් මල් පූජා කරන්න. සිකුරු දශාගත කරන අය වැඩිපුර විනෝදයට යොමුවේ. කලාකරුවන්ගේ කලා කටයුතු ද දියුණු වේ. එම අංශවලින් දියුණුව ප්‍රසිද්ධිය ඇතිවේ. ආර්ථික ස්ථාවරභාවය ඇතිවේ. සඳු දශා ගත කරන අයට ද සුබදායක වේ. කරන කියන කටයුතු දියුණු වේ. ලැබීම් ඇතිවේ. රවි දශාවද නරක නැත. හිතට එකඟව කටයුතු කරයි. නොබියව කටයුතු කර ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. ලේ දෝෂ රෝග උෂ්ණාධික රෝග ඇතිවිය හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න. රවි රාහු දශා ගත කරන අයටද සමපලදායක වේ. සතුරු කරදර මර්දනය වේ. පීනස වැනි උෂ්ණ රෝග පීඩා යෙදිය හැකිය. කුමන්ත්‍රණ වැඩවලට දක්ෂතා ඇතිවේ. කේතු දශා ගත කරන අයට වියදම් අඩුවේ. ගුප්ත අංශවලට යොමුවේ. උගතුන් ආශ්‍රයට යොමුවේ. මූත්‍ර දෝෂ සෙම් දෝෂ ඇතිවිය හැක.
 
ධනු
වාහන ලාභ

ධනු ලග්නයේ තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානයට සෙනසුරු පැමිණෙයි. කුජ ද ඇත. ගුරු සිකුරු හතරවැන්නට ද රවි රාහු පස්වැන්නට ද බුධ හයට සඳු දහයට කේතු එකොළහට ද පැමිණ ගමන් කරයි. සෙනසුරු දශා ගත කරන අයට මධ්‍යස්ථ ප්‍රතිපල ලැබේ. කරන කියන කටයුතු නොවෙනස්ව කරගෙන යාමට ඉඩ කඩ සැලසේ. ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා අතර ව්‍යායාම වලටද යොමුවේ. රැකියා අංශවල සාමාන්‍ය ලෙස දුර්වලතා ඇතිවේ. සතුරු කරදර තරමක් දුරට ඇතිවේ. කීර්තිය ප්‍රසිද්ධිය ලැබිය හැකිය.
ගුරු දශා ගත කරන අයට ද සුබපල උදා කරයි. හංස යෝගය යෙදේ. යහපත් පලදීමක් ඇතිවේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම් දියුණු වේ. විවිධ අංශ පිළිබඳ දැනුම ඇති කරගත හැකිය. ගේ දොර යානවාහන ලාබ ඇතිවේ. වාසනාව මතුකරයි. කුජ දශා ගත කරන අයට ද ශාස්ත්‍රීය අංශ කටයුතුවලට යහපත් වේ. නිලතල ලැබේ. ගෞරවයට පාත්‍රවේ. වැටීම් තැළීම් තුවාල පීඩාද ඇතිවිය හැකිය. මිතුරන් සමඟ මතබේද ඇතිවීමට ඉඩ තිබේ. සිකුරු දශා ගත කරන අයට සමඵලදායක වේ. කරන කටයුතු වලට බාධාද වේ. නාමල් පූජා කරන්න. කොහොඹ පැළයක් සිටුවන්න. රවි දශා ගත කරන අයට ද සුබයි. නිලතල හිමිවේ. ඉගෙනීම් දියුණු වේ. බාධක මැඩගෙන ජයග්‍රහණ ඇති කරගත හැකිය. රාහු දශා ගත කරන අයට ද බාධා මැදින් කරන කියන කටයුතු දියුණු කරගත හැක.කේතු දශා ගත කරන අයට ද භූමි ලාභ හිමිවේ. මුත්‍රා ආශි‍්‍රත දෝෂ ඇති විය හැකිය.
 
මකර
භූමි ලාභ
 
මකර ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු කුජ සමඟ දෙවැන්නට පැමිණෙන අතර ගුරු සිකුරු තුනේ රවි රාහු හතරේ බුධ පහේ සඳු නවයේ කේතු දහයේද යෙදෙයි. සෙනසුරු දශා තිබෙන අයට ලග්න ඒරාෂ්ටකය බලපායි. නමුත් කරන කියන කටයුතුවලින් දියුණුව ඇති කර ගත හැකිය. ප්‍රතිපත්තිගරුක වන අතර ආත්ම ගෞරවයද ආරක්ෂා කරගනී. දත්වල රෝග පීඩා යෙදිය හැකිය. කපුටුදානය දෙන්න. නිල්මල් පූජා කරන්න. බුදුගුණ භාවනාව කරන්න. සිවුරක් පූජා කරන්න. ගුරු දශා ගත කරන අයට ද මධ්‍යස්ථ ප්‍රතිඵල ඇතිවේ. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන සාමයෙන් කටයුතු කරයි. ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරගනී. ගමන් බිමන්ද යෙදේ. ඉගෙනීමට බාධා නොවන අතර ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන බව හැඟෙයි.
බෝධි පූජා තුනක් පවත්වන්න. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. කුජ දශා ගත කරන අයට මවගෙන් උරුම හිමිකම් ලැබිය හැකිය. ස්ථානමාරු ඇති වුවත් එය යහපත් වේ. ඉගෙනීමට බාධක යෙදුණත් ජයගත හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න. සිකුරු දශා ගත කරන අය ගමන් බිමන් යෙදේ. කලාත්මක අංශ දියුණු වේ. සාර්ථක ප්‍රතිඵල ලැබේ. සෙම් දෝෂ පීඩා ඇතිවේ. බුද දශා ගත කරන අය ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුතුය. ඉගෙනීම දියුණු කරගත හැකිය. ගමන් බිමන්ද යෙදේ. රවි දශා ලබා තිබෙන අයට ද එඩිතරව කටයුතු කරන අතර නොබියව ඕනෑම දේකට ඉදිරිපත් වෙයි. උරුම හිමිකම් ලැබෙන අතර ඒ පිළිබඳ ආරවුල්ද ඇතිවිය හැකිය. පපුවේ උෂ්ණ රෝග පීඩා ඇතිවේ. ලේ දෝෂ රෝග ඇතිවිය හැකිය. රතු නෙළුම් මල් පූජා කරන්න. සූරිය පිරිත භාවිත කරන්න. නවග්‍රහ යන්ත්‍රය පලඳින්න. රාහු කේතු දශා ගත කරන අයට රැකියා අංශවල බාධා කරදර ඇතිවේ. ගමන් බිමන් ස්ථාන මාරු ඇතිවේ. ගේ දොර ඉඩකඩම්වල අවුල් වියවුල් ඇති විය හැකිය. හිසේ උෂ්ණ රෝග පීඩා ඇතිවේ. රහස් සතුරුකරදර ඇතිවේ. ආදායම් අඩුවේ. නාගාර්ජුන යන්ත්‍රය පලඳින්න.
 
කුම්භ
 නිලතල
කුම්භ ලග්නාධිපති සෙනසුරු ලග්නයට පැමිණෙන අතර ගුරු සිකුරු දෙවැන්න හෙවත් ධනස්ථානයේද රවි රාහු තුන්වැන්නේ ද බුධ හතරේද සඳු අටේද කේතු නවයේද යෙදෙයි. ශනිගෙන් සසයෝගය යෙදෙන අතර කේන්ද්‍ර ගත බලයෙන් ද යුතුය. ලග්න ඒරාෂ්ටක ඇති වුවත් බිය නොවිය යුතුය. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධා නොවේ. උසස් අදහස් වලින්ද යුක්ත වේ. ඔරොත්තු දෙන ගතියෙන් යුක්ත වේ. නිලතල ලැබීමට ද වාසනාව තිබේ. සමාජ ගෞරවය හිමිවේ. දේපළ ලැබීම් ද ඇතිවේ. ක්‍රමයෙන් දියුණුව ඇතිවේ. කපුටුදානය දෙන්න. සිවුරක් පූජා කරන්න. බුදුගුණ භාවනාව කරන්න. ගුරු දශා ලබා තිබෙන අයට ද සුබයි. නිහතමානිව කටයුතු කරයි. උරුම හිමි ධන ලාභද ඇතිවේ. කුජ දශා තිබෙන අයට ද සුබයි. රැකියා ලාබද ඇතිකරයි. සාහිත්‍ය කලා අංශ දියුණුවේ. එම ඉගෙනීම්ද සාර්ථක වේ. කලබලකාරි ගතිය නිසා අනතුරු පීඩා යෙදීමටද ඉඩ තිබේ.
රතු නෙළුම් මල් පූජා කරන්න.අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. සිකුරු දශා ගත කරන අයට ද සුබයි. උසස් අධ්‍යාපන කටයුතු දියුණු වේ. ධනලාභද ලැබේ. උගුරේ බෙල්ලේ සෙම් දෝෂ යෙදේ. සුවඳ මල් වර්ග පූජා කරන්න. බුද දසා තිබෙන අයට සමපලදායකවේ. එතරම් වරදක් නැත. ඉගෙනීම්වලට සුබයි. සඳු දශා ගතකරන අයට ජලයෙන් අගුණ ඇතිවේ. රවි දශා ගත කරන අයට කිර්තිය ප්‍රසිද්ධිය ඇතිවේ. දේශපාලනයට ද යොමුවේ. කලාකාරී ගතිය නිසා අනතුරු පීඩා යෙදිය හැකිය. නිලතල ලැබිය හැකිය. රතු නෙළුම් පූජා කරන්න. රාහු දශා තිබෙන අයට ද ගමන් බිමන් යෙසේ. උත්සාහය නිසා දියුණුව ඇති කර ගනී. උෂ්ණ රෝග පීඩා යෙදේ. කේතු දශා ගත කරන අයට දැනුමේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ.

මීන
 යහපත උදාවේ

මීන ලග්නයේ ලග්නාධිපති ගුරු සිකුරු සමඟ ලග්නයේම සිටින අතර රවි රාහු දෙවැන්නේ ද බුධ තුන් වැන්නේ සඳු හතේ කේතු අටේ සෙනසුරු කුජ දොළොස්වැන්නේ ද යෙදෙයි. ගුරු බලවත්ව ලග්නගත ගමන් කිරීම සුබයි. හංස යෝගයද යෙදෙයි. ගුරු දශා ගත කරන අයට වඩා සුබයි. බුද්ධිය ප්‍රසිද්ධියද ගෙන දෙයි. සෙනසුරුගෙන් යෙදෙන අසුබ ද අඩුවේ. කරන කියන රැකියා ආදි සියලු කටයුතු දියුණු වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ගෞරවයෙන් යුතු රැකියා හිමිවේ. සාහිත්‍ය කලා කටයුතු දියුණු වේ. ඉගෙනීම් කටයුතු දියුණු වේ. දෝෂ භංග වේ. කරුණාව දයාව ඇතිවේ. කුජ දශා ගත කරන අයට පිටපළාත්වල ගමන් බිමන් ඇතිවේ. නඩුහබ සුදුසු නැත. කරන කියන කටයුතුවලට බාධාවේ. ආදායම් අඩුවේ. ගෞරවයට හානි ඇතිවිය හැකිය.
රතු නෙළුම් මල් පූජා කරන්න. අභිසම්භිධාන යන්ත්‍රය පලඳින්න. කතරගම දෙවියන්ට බාරයක් වන්න. සිකුරු දශා ගත කරන අයට සුබ අසුබ පල දෙකම ලැබේ. සහජ දස්කම් යෙදෙන අතර සාහිත්‍ය කලා සෞන්දර්ය සංගීත අංශවල නියුතු අයගේ ඒ අංශ දියුණුූවේ. මාලවි යෝගයද යෙදී ඇත. හිසේ සෙම් දෝෂ පීඩා ඇති වීමට ද ඉඩ තිබේ. බුධ දශා ගත කරන අයගේ ද ඉගෙනීම් ආදිය දියුණුූ වේ. විනෝදයට වැඩිපුර යොමුවීමෙන් ඉගෙනීමට මෙන්ම වෙනත් කටයුතු ක්‍රියාවලටද බාධා ඇති කරයි. ලැබීම්ද ඇතිවේ. සඳු දශා ගත කරන අයගේද බලාපොරොත්තු සාර්ථක වේ. රවි දශා ගත කරන අයට ප්‍රමුඛස්ථානයට කැපී පෙනීමට පත්වේ. සතුරු කරදර හේතු කොට ගෙන ධනය වැයවේ. උෂ්ණ රෝග පීඩාද ඇතිවේ.
යුග දිවියේ බාධක ගැටලු ඇතිවේ. රතු නෙළුම් මල් පූජා කරන්න. සෙනසුරු දශා ගත කරන අයට ලග්න ඒරාෂ්ටකයේ මුල් අවස්ථාව උදාවේ. බලාපොරොත්තු රහිත වියදම් ඇතිවේ. ගමන් බිමන් නිසා පාඩුවීමට ඉඩ තිබේ. අනතුරු පීඩාවලින් වැටීම් තැළීම්වලින් ආරක්ෂා විය යුතුය. කකුල්වල පීඩා වාතවේදනා ඇති විය හැකිය. කපුටුදානය දෙන්න. බුදුගුණ භාවනාව කරන්න.

ශනි මෘත්‍යුංජය යන්ත්‍රය පලඳින්න. පුණ්‍ය කටයුතු කරන්න. රාහු දශා ගත කරන අයගේ යුගදිවියේ ප්‍රශ්න ගැටලු ඇතිවේ. උගුරේ බෙල්ලේ උෂ්ණ රෝග පීඩා ඇති වීමට ඉඩ තිබේ. බාධක කරදර අභිභවා නැඟී සිටීමට හැකියාව පවතී. නාගර්ජුන යන්ත්‍රය පලඳින්න. කේතු දශාගත කරන අයට ආදායම් අඩුවේ. මළ බද්ධය ඇති විය හැකිය. ගුප්ත අංශවලට සිත යොමුවේ. සුවඳැල් කෙසෙල් පැළයක් සිටුවා සාත්තු කරන්න. විෂ්ණු දෙවියන්ට බාරයක් වන්න.
 
 
ඡ්‍යොතිෂවේදී කලාභූෂණ
සෝමපාල විජේසූරිය - සුබසෙත