සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත

සමස්ත ලෝවැසියන්ට සිනාසෙන්නට තිබුණු දවස් හඬන දවස් බවට පත්කළ ගෝලීය වසංගතය ක්‍රම ක්‍රමයෙන් ලෝකයෙන් බැහැරව යමින් ඇති බවට ඉඟි පහළවේ.

ආරම්භයේදී යම් මට්ටමකට ප්‍රමාදයක් සිදු වුවද ශ්‍රී ලංකාව එන්නකරණ වැඩපිළිවෙළ තුළ ලොව ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව ඇත. දවසින් දවස මරණ අනුපාතයේ අඩුවීමක් සහ වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණයද පහළ මට්ටමක පවතී.

මේ තත්වය තුළ සාමාන්‍ය ජන ජීවිතය සහ ආර්ථික කටයුතු පවත්වා ගෙන යාමට හැකි තත්වයක් කෙමෙන් උදා වෙමින් පවතී. වෙළඳපළේ භාණ්ඩවල මිල තීරණය කිරීමට මෙය යහපත් ආකාරයෙන් බලපානු ඇත.

නව සාමාන්‍යකරණය තුළ මෙතෙක් පැවති අසීරුතා මඟහැරී වෙළඳපළ  සාමාන්‍ය තත්වයට පත්වීමක් සිදුවේ යැයි පුරෝකථන කොට වෙළඳපළ භාණ්ඩ මිල පාලන නියාමනයෙන් ඉවත්වීමට මේ වන විට රජය තීරණය කර අවසන්ය. ඒ වෙළඳපළ ක්‍රමය වඩාත් සාර්ථක බව නිගමනය කළ බැවින් විය හැකිය.

එළැඹෙන කාලවකවානුවේදී සිරවී වැසී තිබුණු ආර්ථිකය නව සාමාන්‍යකරණයට යාම තුළින් සමාජයේ නව පිබිදීමක් ඇති වන අතර, සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවන කටයුතු යහපත් ආකාරයෙන්  කරගැනීමට ද හැකි වෙනු ඇත.

වසංගතයෙන් බැට කෑ පිරිස අතර මෙරට පහළ අඩු ආදායම්ලාභීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වූයේ වෙළඳපළ භාණ්ඩ හිඟය මෙන්ම, පවතින දෙයක් පවා මිලදී ගැනීමට ඔවුන් අත මුදලක් නොමැතිවීමයි.

ඉදිරියේදී රට තුළ යහපත් වාතාවරණයක් ඇති වීමේ හේතුවෙන් නැවතත් ඔවුන්ගේ ආදායම් මාර්ග සකසා ගැනීමටත් අතමිට යම් මුදලක් ගැවසීමට ඉඩහසර නිර්මාණය  වීම තුළ වෙළඳපළේ භාණ්ඩ යම් වැඩිවීමක් සිදු වුවද එය ඔවුන්ට ඒ තරම් දැනෙන තත්වයක් නොවනු ඇත.

ලෝකයද මේ වනවිට කඩිනමින් සක්‍රීය වීමට පටන්ගෙන ඇත. එන්නත්කරණය තුළ මෙරට ඉදිරියෙන්ම සිටින බැවින් ආර්ථිකය විවෘත කර පවත්වාගෙන යාමට එයද ඉවහල්වේ. අවුරුදු 30ට වැඩි ජනතාව වැඩි ප්‍රතිශතයක් එන්නත ලබා ඇති අතර, පාසැල් ළමුන්ද එන්නත්කරණයට යොමු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇත.

කෙටිකාලීනව හෝ රට තුළ ඩොලර්, එසේත් නොමැති නම් විදේශ සංචිත නොමැති වීම තුළින් ආර්ථිකයට බලපාන ලද සෘණ තත්වයන් විසඳීමට කටයුතු කරන අතරේදී සංචාරක ව්‍යාපාරයද යම් මට්ටමකට ඉදිරියට පැමිණ ක්‍රියාත්මක වෙමින් පැවතීම ද සුබදායකය.

ලොක්ඩවුන් කාලය තුළ මිනිසුන්ගේ ජීවිත ඒකාකාරී වීම, ආර්ථිකය කඩාවැටීම, දරුවන්ට පාසැල් කාලය අහිමිවීම, බිය සන්ත්‍රාසය හේතුවෙන් දැනුණු අසහනකාරී බව  තුළ ජනතාව මානසිකව පීඩනයකට පත්ව සිටීම මෙම සියලු තත්වයන් ඉදිරි මාස දෙක තුන ඇතුළත යහපත් ආකාරයෙන් වෙනස්වනු ඇත.

සහල් සම්බන්ධයෙන්ද රජයේ මැදිහත්වීම විවිධාකාර අවස්ථාවලදී විවිධාකාර හැඩතල ගත් අතර, සහතික මිලකට වී මිලදී ගැනීමට රජය කටයුතු කළද කූට වෙළඳුන් බොරදියේ මාළු බෑමේ ක්‍රමයක් අනුගමනය කළ ආකාරය ද පසුගිය දිනවල අපි දුටුවෙමු.

වී මෝල් හිමියන් විසින්ම සහල් මිල සහ වී මිල ගණන් තීරණය කිරීම පිළිබඳව බොහෝ වෙලාවට මතුපිටින් පවතින තත්වය පමණක් අප දකින අතර, ඊට එහාට ගැඹුරට ගොස් බැලුවහොත්  සීමිත පිරිසක් පමණක් මිල තීරණය කිරීමට පෙළඹී ඇත.

නිරන්තරව සුළු පරිමාණයේ වී මෝල්  හිමිකරුවන්, ව්‍යසායකයන් බල ගැන්වීමටත් රජය කටයුතු කළ යුතු අතර, ඔවුන් හා මනා සබඳතාවයක් ගොඩනගා ගත යුතුවේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම කරගැනීම වෙනුවෙන් සහ ආනයන ආදේශන කෘෂි කාර්මික කටයුතු වෙනුවෙන් පිරිස් බල ගැන්විය යුතුවේ.

මාස කීපයක් පුරා වැටුප් විෂමතා ප්‍රශ්නයක් අළලා ගුරුවරුන් විසින් ගෙන ගිය විරෝධතාවය ව්‍යාපාරය නවතා දමා යළිත් ඉගැන්වීමේ කටයුතුවලට සම්බන්ධ වීමට ගුරුවරුන් නම්‍යශීලී වීම තුළ, සිසු දරු දැරියන්ට වර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා අධ්‍යාපනය හැදෑරීමේ දී පැවති ගැටලු යම් ආකාරයට විසඳී යන බවද සඳහන් කළ යුතුය.  

තිරුවණී විජේසිංහ