“අතපය සතර පණ නැතිව ජීවත් වෙනවාට වඩා මරණය සැපයි” : ආඝාතය (Stroke)

ඇත්තටම මේ කියන්නේ මොකක් ගැනද?
සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා 3 වන හේතුව මෙම ආඝාතය වේ.

අංශභාගය හැදෙන්නේ කොහොමද?
මොළයට රුධිරය ගෙන යන නාලයක් ‍ලේ කැටියක් හිර වීමෙන් හෝ අධි රුධිර පීඩනය නිසා මොළයේ රුධිර නාළයක් පිපිරී යාම නිසා ඇතිවේ.එවිට, එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස, ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යයි.
එමනිසා, එලෙස මොළයේ අක්‍රීය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙම ක්‍රියාවලිය ආඝාතය ලෙස හැඳින්වේ.
සියුම් ආඝාත තත්ත්වයක් (Transient Ischaemic Attack) අනාගත ආඝාත තත්ත්වයක අනතුරු ඇඟවීමකි.
සියුම් ආඝාත තත්ත්වයන් යනු කෙටි වෙලාවකට එක ඇසක පෙනීම, කථන හැකියාව, අත්පා තාවකාලිකව අඩපණ වන තත්ත්වයකි. මෙහිදී තාවකාලිකව මොළයේ රුධිර නාළයක් අවහිරවීමෙන් මොළයේ කොටසකට රුධිර සැපයුම තාවකාලිකව නැතිවීමෙන් ක්‍රියාකාරිත්වය නැති වන තත්ත්වයක් ඇතිවේ. මෙය කිසිවිට නොසලකා නොහැරිය යුතුය.

අංශභාගයේ රෝග ලක්ෂණ
• කරකැවිල්ල.
• කථාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම, හෝ කථා කිරීමට නොහැකි වීම.
• ශරීරයේ යම් කොටසක හිරි වැටුණු ස්වභාවයක් ඇතිවීම.
• ශරීරයේ එක් පැත්තක් පණ නැති වීම.
• පෙනුමට බාධා ඇතිවීම.
• තද හිසරදයක් ඇතිවීම.
• ඇවිදීමට අපහසු වීම.
ඇතැම් විට, ඉහත රෝග ලක්ෂණ ඇතිවී, කෙටි කාලයක් තුළ ඉබේම නැතිවී යාමට පුලුවන. එසේ වුවද, රෝගියා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යාම ඉතා වැදගත්ය.
අංශභාගය ඇතිවීමට හේතු
• මධ්‍යසාර භාවිතය.
• සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය කිරීම.
• සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා.ක්‍රියාශීලී නොවන දිවි පෙවෙතක් ගත කිරීම.
• අධික රුධිර පීඩනය.
• දියවැඩියාව.
• රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම.
• හෘදය වස්තුවේ ස්පන්දනය අක්‍රමවත් වීම.

ඔබ දැනගත යුතු වැදගත් කරුණු
මෙය හදිසියේ ඇතිවන රෝග තත්ත්වයක් සේම ඊට ප්‍රතිකාර කිරීම ද හදිසියේ සිදුකළ යුතුය. රෝහල වෙත යාම පමා නොකළයුතු අතර ඉක්මනින් රෝගියා වෙත ප්‍රතිකාර ලැබිම නිසා රෝගියාගේ සුවවීමද ඉක්මන් වේ. සාර්ථක වේ. අතුරු ආබාධ අවම කරයි.
ඔබ ගන්නා ක්ෂණික පියවර කිහිපයක් මගින්, අංශභාගය නිසා රෝගියාට සිදුවන හානිය අවම කරගත හැක. අංශභාග රෝගීන් නිසි පරිදි පුනරුත්ථාපනය (Rehabilitation) කිරීමෙන්, ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේ.

ආඝාතයෙන් යම් රෝගීන් සංඛ්‍යාවක් යථා තත්ත්වයට පත්වන අතර, කොටසක් ආබාධ තත්ත්වයන් සහිතව සුව වේ. නමුත් සියලු දෙනා යථා තත්ත්වයට හෝ ස්වාධීනව ජීවිතය ගෙන යාහැකි තත්ත්වයට පත් නොවේ. මොළයේ සෛලවලට රුධිර සැපයුම අඩාල වීමෙන් ස්ථීරව විනාශ වුවහොත් ආබාධිත වීම සිදුවේ. ඉතා දරුණු තත්ත්වවලදී ශ්වසනය අවහිර වී මාරාන්තික තත්ත්වයට පවා පත්වීමේ හැකියාව ඇත.

ආඝාතය නිවැරදිව ඉක්මනින් හඳුනා ගැනීම

මේ සඳහා සරල පරීක්ෂණයක් සිදුකල හැක. එය FAST ලෙස හැඳින්වේ.
• Face (මුහුණ) – මුහුණ පරීක්ෂා කර, කට ඇදවී පැත්තකට ගොස් ඇතිදැයි බලන්න.
• Arm (අත) – රෝගියාට ඉදිරියට අත් දිගුකරන්න යැයි පවසන්න. අත් එම ආකාරයටම තබාගැනීමට නොහැකි දැයි බලන්න.
• Speech (කථාව) – රෝගියාට කථා කරන්න යැයි පවසන්න. කථාව අපැහැදිලි දැයි බලන්න.
• Time (කාලය) – ඉහත ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ප්‍රමාද නොකර හැකි ඉක්මනින් රෝගියා රෝහල වෙත රැගෙන යන්න.
ප්‍රතිකාර
මෙහිදී මූලිකවම සිදු කරන ප්‍රතිකාරය වන්නේ රුධිර නාළය අවහිර වූ රුධිර කැටය දියකර හැරීමේ ඖෂධ ලබා දීමයි. එම ප්‍රතිකාරය රෝග ලක්ෂණ ඇතිවීමේ සිට පැය හතර හමාරක් (4 1/2) තුළ ලබා දීමෙන්ම වඩාත් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
රුධිර නාලයක් පුපුරා යාම නිසි ඇතිවන ආඝාත තත්ත්ව වලදී විටෙක ශල්‍ය ප්‍රතිකාරද සිදු කරනු ලැබේ.

අංශභාගය වලක්වා ගන්නේ කෙසේද?
ආඝාතය වියපත් වයසේදී පමණක් ඇතිවන රෝග තත්ත්වයක් නොවේ. එම නිසා එය වළක්වා ගැනීමට පියවර ගත යුතුය.
• දුම්කොළ භාවිතය සහ දුම්පානය නැවැත්වීම.
• වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 කි. එනම්, ලුණු කපාපු තේ හැඳි එකකි. පමණට වඩා ලුණු භාවිතා කිරීමෙන් වැලකීම
• මේදය හෙවත් තෙල් භාවිතය අවම කිරීම.
• නිසි ව්‍යායාම නිතිපතා කිරීම
• මත්පැන් පානය කිරීමෙන් වැලකීම
පහත රෝග වලට නිසි ප්‍රතිකාර ගෙන ඒවා පාලනය කිරීම හෝ සුවකර ගැනීම කලයුතුය.වෛද්‍ය උපදෙස් අනුව ඹෟෂධ භාවිත කළ යුතුය.
• දියවැඩියාව
• අධි රුධිර පීඩනය
• හෘද රෝග
• අධික කොලෙස්ටරෝල්

වරක් ආඝාතය වැලඳුණු අයට නැවත වරක් වැලඳීමේ ප්‍රවණතාව වැඩිය. පරම්පරාගත සාධක ද ආඝාතය ඇතිවීමට බලපායි.
ආඝාතය වැලඳුණු කෙනෙකුට සාත්තු කරන්නේ කෙසේද?

රෝගියාට ගිලීමේ අපහසුතාව ඇති විට නාසිකා නලයක් මගින් ‍පෝෂණය සපයනු ලැබේ. මූත්‍රා පිටකිරීම ගැටලුකාරී අවස්ථාවලදී කැතීටරයක් මගින් සහාය ලබා දෙයි. මළපහ කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් ලෙස මළබද්ධය හෝ නිතර මළපහවීම ඇතිවේ. මේ අවස්ථාවලදී ඊට සුදුසු ලෙස සාත්තු කිරීම කරයි.
විශේෂයෙන්ම රෝගියාට ඇඳ වණ ඇතිවීම වළක්වා ගත යුතුමය. එකම ඉරියව්වක ඇඳ මත හොවා තැබිම නොකළ යුතුය. වරින්වර සුදුසු ලෙස ස්ථාපිත මාරු කිරීම කරනු ලැබේ.
රෝගියාගේ පුනරුත්තාපන(rehabilitation) ක්‍රියාවලිය.
• චලනයන් නැවත ගොඩනැගීම හා ශාරීරික සමබරතාව ඇති කරලීම සඳහා - භෞත චිකිත්සාව
• ආබාධයට ලක්වූ කථන හැකියාව නැවත උපරිමයට ගෙන ඒමට - කථන චිකිත්සාව
• රෝගියා ස්වාධීන කිරීමට, තමාගේ කාර්යයන් තමාම කර ගැනීමට බාහිර උපාංග යොදා ගැනීම පිළිබඳවද පුනරුත්තාපනයට ලක් කිරීම - වෘත්තීය චිකිත්සාව
මේ සෑම විටම උපදේශනය හා සමාජ සේවාවන් ලබාදීමට උත්සුක විය යුතුය.
ආඝාතය වැලඳුණු අයකුට නැවත රැකියාවට යාමට හැකිවන්නේ රැකියාවේ ස්වභාවය හා ආබාධිත තත්ත්වයේ ස්වභාවය අනුවය. එලෙසම ආබාධිත තත්ත්වය සුව වීමට ගතවන කාලය අනුව ද රැකියාවට යාම තීරණය වේ.

සැකසුම - හිමංශිකා