සන්නිවේදනය, ජනමාධ්‍ය හා සදාචාරය

භාෂාව ද භාෂණය ද ශිෂ්ට සම්පන්න වීම කෙතරම් නම් භාග්‍යයක් ද! අහෝ ඛේදයකි! “වැට නැති කට” සමාජය කෙතරම් නම් පරිහානිය කරා ඇද දමා ඇද්ද?

සන්නිවේදනය
සන්නිවේදනය වූ කලී හැඟීම් දැනීම්, සිතුම් පැතුම්, රිසි නොරිසි, රුචි අරුචි, අදහස් උදහස්, බෙදා හදා ගැනීම යි. එය තුන් කාලයටම පොදු ස්වභාවයකි.  කාලානුරූපීව ද දේශානුරූපීව ද පුද්ගලානුරූපීව ද සන්නිවේදන පරමාර්ථ නොවෙනස්ව පවතිනු ඇත. සෑම සත්ව කුලකයකටම පොදු වූ සන්නිවේදන ශෛලීන් ඇතත් මානව සන්නිවේදනය ඒ හැම අභිභවා ප්‍රකටව පවතී. එය නො රහසකි.
තොරතුරු නිවැරදිව දැනගැනීම මෙන්ම, නිවැරදි තොරතුරු දැනගැනීම ද මානව හිමිකමකි.  මූලික මානව අයිතිවාසිකම් අතර ද ආගමික ආචාර ධර්ම අතර ද සමාජ සාරධර්ම අතර ද සන්නිවේදනයට එතරම් ම ප්‍රමුඛතාවයක් ලැබී ඇත්තේ ද එනිසාම ය.
“සන්නි” ජන වහර තුළ යෙදුනේ වසරකට වරක් ගම් මැද නටන දහ අට සන්නිය සිහි කැඳවන්නට ය. ඒ ඇරුන විට සන්නිපාත උණ සිහිගැන්වූයේ ද නොඋහුලණ ඇඟ පත වේදනාව දැන්වීමට ය. වහෙංඔරෝ කතා නො කොට සෘජුවම මාතෘකාවට බැස ගන්නේ නම්, කිව යුත්ත මෙසේ ය, නූතනය තුළ සන්නිවේදනය වේදනා බර, ඉහිලිය නොහැකි සන්නියකි. එතරම්ම හෑල්ලුවට ලක්ව ඇති තවත් යමක් වෙතොත් ඒ රටේ දේශපාලනය යි, කියන තරමටම සන්නිවේදනය පරිහානි ගතව ඇත. සන්නිපාත උණ හෝ දහ අට සන්නි නම් නොඋවමනාම ය.
‘සං’ යනු සිංහල බස් වියරණයෙහි  උපසර්ගයකි. එය ධාතු අර්ථය ප්‍රකට කරයි, විෂද කරයි, උද්දීපනය කරයි. නිවේදනය යන වචනාර්ථයට නිවේදන කාර්යයෙහි පරමාර්ථ කුළුගන්වයි. නිදසුනක් ලෙස, සත්ව සංඥා බොහෝමයක් නිවේදන සංඥා ය. නමුත් එහි සන්නිවේදනයක් නම් නැත. මේ අනුව සංඥා බසෙන් නිවේදන බසත් නිවේදන බසින් සන්නිවේදන බසත් පැහැදිලිවම වෙනස් විය යුතු බව වැටහිය යුතුය.

සන්නිවේදනයේ යථාව
පිරිත් සජ්ඣායනයේ දී තුන් දොරම එකතු කරන උතුමෝ මෛත්‍රී චිත්තය පතුරවමින් සීමා මායිම් නොතකා අපා, දෙපා, සිව්පා හා බහුපා වූ සියලූම සත්වයන්ට තුණුරුවන් මෙනෙහි කොට ආශීර්වද කරති. එයම සන්නිවේදනයේ සාරය යි. අනෙකුත් ආගමික චාරිත්‍රයන් හා ඒකාත්මික වන බොහෝ පිරිසට ද එබඳුම සහන යක් දැනෙනවා නිසැක ය. සිත් පිත් නැති ගහ කොළ මෙන්ම, සිත් පිත් ඇති සතා සිව්පාවා ද කුලුණු බර සිතුම් සමඟ යා කොට අසීමාන්තික මෙත් හැඟුම් ජනිත කරන්නට ආගමික සන්නිවේදනය පරිපූර්ණ ය. හිත, කය, වචනය නිවන “දහම් පද” අර්ථ විග්‍රහ කොට අවබොධ කරන්නට හා කරවන්නට හැකි නම් ඒබන්දෝම නිවනේ නිවෙන්නාහුම ය. මොක්ෂ ගත වන්නෝම ය. මෙබඳු සන්නිවේදනය ලෝ සතහට කොතරම් නම් ආශීර්වාදයක් ද!
ලිඛිත වුව ද කථිත වුව ද සන්නිවේදයේ ගුණාංග නො හළ යුතුය. ඒ සඳහා සැවොම පළමු කොට සන්නිවේදන සාරධර්ම දත යුතුය, උගත යුතුය. චාරිත්‍ර නම් කළ යුතු දෑය. වාරිත්‍ර නම් නොකළ යුතු දැය. සන්නිවේදනය තුළ ද චාරිත්‍ර ද වාරිත්‍ර ද ඇත. කතා කළ යුත්තත් නො කළ යුත්තත් දැනගැනීමට ප්‍රථම ශ්‍රවණයට, ඇහුම් කන් දීමට උගත යුතු ය. ජන වහර තුළ කියන පරිදි එක කටකට කන් දෙකක් ම ඇත්තේ එනිසාම ය.
ඇහුම් කන් දීම එතරම් ම වැදගත් බව දැනෙනුයේ ද හැ‌ඟෙනුයේ ද මරණ පොළේ දී ශෝකාලාප, විලාප හඬට ඇහුම් කන් දෙන විට ය. එමගින් නොදොඩාම දුක වාව ගන්නට අනෙකාට උදවු වනවා සේම තමනුදු දුක සන්තාපය උහුලන්නට හුරු පුරුදු වේ. ඇහුම්කන් දීමේ අගය කොතරම් මනුසත් කමට අගනේ ද යන්න එයින්ම වැටහේ.  
සන්නිවේදනයේ මූලිකම ලක්ෂණය නිහඬ බව ය. නිහඬ බවට හඬ එකතු කිරීම පළමු පියවර යි. හඬට හද එකතු කිරීම දෙවන පියවර යි. හදට සිත යා කිරීම තෙවන පියවර යි. සිතුවිලි ප්‍රකාශ කළ යුතුය, එයට භාෂාව ද භාෂණය ද මුහු කළ යුතුය. භාෂාව උගත යුතුය. භාෂණය පුහුණු කළ යුතුය. ප්‍රකාශනය කොතරම් නම් සංකීර්ණ කාර්යාවලියක් ද යන වග පැහැදිලි වනුයේ, යථෝක්ත අංග සංකලනය නිසා නොව ප්‍රකාශනයට සාරධර්ම හා ආචාර ධර්ම එකතු කොට, තැන නොතැන හඳුනාගෙන, කිවයුත්ත හා නොකිව යුත්ත වටහා ගෙන, පමණ දැන, හර බර, ගුණ අගුණ සලකාම ප්‍රකාශනය කළ යුතු නිසා ය.

සන්නිවේදනයේ මාත්‍රාව    
මුසාවක් නොවිය යුතුය ඔබේ කතාව. ඒ මුසාව අනුන් රවටන බැවිනි. මුළා කරන බැවිනි. සත්‍ය වසං කරන බැවිනි. වහං කළ සත්‍යය නිසා අසත්‍ය පතුරුවා ලන බැවිනි. මෙලෙසටම, සැර පරුෂ වචන ද කතා නොකළ යුතුය. ඒ අන් හිත් බිඳවන නිසා යි. අන් අය තබා තමනුදු පරොස් වචන නොරුස්නා බැවිනි.  පිසුණු බස් නොපැවසිය යුතුය. හිත් දෙහිත් කරවන බස අනුන් බිඳවයි. හිත් නොහොඳ කරයි. විරසකය විනාසයට මුලය. හිස් වචන ද කතා නො කළ යුතු ය. අරුත් සුන් හිස් බස් හා අනුනගේ ගුණ, අගුණ, නුගුණ. හැටි නො හැටි, කළ නොකළ දෑ, ආ ගිය තැන්, වග තුග, වං හුං නම් කොතෙකුත්ය, කතා නොකළ යුතු දේම බොහෝ ය.

වස් කවිය හා සෙත් කවිය
බොහෝමයක් අද කතා, නො කළ යුතු කතා ය. භාෂාව තුළ විවධ ශෛලීන් ඇතුවා සේම භාෂණය තුළ ද විවිධ ශෛලීන් ඇත. ඇතැම් ශෛලියක් කඨෝර වන විට තව ශෛලියක් සුමට විය හැකි ය. ප්‍රකාශනයේ දී මෙම දෙ අංශයම වටහා ගත යුතු ය.
ව්‍යාකරණය ඉතා වැදගත් ය. සියල්ලෝම තම ප්‍රකාශන ලිඛිත වුව ද  කථිත වුව ද ව්‍යාකරණයට අනුකූලව ම භාවිත කළ යුතු ය. නො එ සේ නම් කියන්නා සේම අසන්නා ද නොමග යනවා නිසැක ය. වචන, පද, වාක්‍ය, වාක්‍ය රටා මෙන්ම ලේඛනයේ දී  විරාම ලක්ෂණත් භාෂණයේ දී හඬ පාලනයත් ආවශ්‍යක කරුණු ය. හ්‍රස්ව දීර්ඝ, ස්වර, ව්‍යංජන මෙන්ම ඝන මාත්‍රා ද ඡන්දස් අලංකාර ද ප්‍රකාශනය ප්‍රබල කරයි.
සකස් කඩ නොකී  කට හුඔස් කට ලෙසට ප්‍රකට ව්‍යවහාර, ජන වහරේ පවතිනුයේ ම භාෂාව ද  භාෂණය ද ව්‍යවහාර යේ දී ඉතා වැදගත් බැවිනි.
මළ භාෂා හැරෙන්නට අනෙකුත් සියලූ ම භාෂා දිනෙන් දින වර්ධනය වේ. කලකදි රහ වදන් තවත් කලකදි වහ වනවා සේම, කලකදි වහ වදන් තවත් කලකදි රහ වනවා ය. එ කල නො ඇසූ හරුප මෙකල ඇසෙන්නේ එ බැවිනි.
කට වහ, ගං දොරේ නිතර පැතිරුණු වහකි. එනමුත්, වහ කදුරු වචන එළි පිට පත්තරේ විස්තරේ තුළත් එදිනෙදා රූපවාහිණිය තුළත් අද දකින විට, පෙර වහ අද රහ ව ඇති බව පැහැදිලි ය.
“කතා කළ යුතු දෑ කතා නොකිරීම” නයා වුව නයා ම බව පෙනේ කරන තෙක් ම නොහැඳිනිය හැකි විට නයා ද ගැරඬි කුලයට වැටෙනු නිසැකය. වැලට ගෙන, දර මිටියට තබා බඳින තෙක් ඉවසීම, ඉවසීමකි. දරට කඩා, නවා ලිපට දමන තෙක් ඉවසීම නො වටී.
සෙත්; කතා, රචනා, සංවාද, විවාද, සාකච්ඡා, දෙබස්, කවි මෙකල විරල ය. වස්; කතා, රචනා, සංවාද, විවාද, සාකච්ඡා, දෙබස්, කවි  ම, මෙකල සුලබ ය. වස්ම සෙත් ලෙස ගෙන ඇති බව නම් ප්‍රකට ය. රට හදන තැන පටන් රට කරන තැනත්, රටටම කියන තැනුත්, රටටම ලියන තැනුත්, රට නහන උනුත් අතර “කතා බහේ” වෙනසක් නැතුවා සේ ය.

ජන මාධ්‍ය හා සදාචාරය
ජන මාධ්‍ය ජඩ මාධ්‍ය ලෙසට මඩ ගසනු ඇසේ, එහි ඇත්ත නැත්ත සලකා බැලිය යුතුව ඇත. “සත්” යනු යහපත යි. “අසත්” යනු අයහපත යි. සත්ජන අසත්ජන, සත්පුරුෂ අසත්පුරුෂ, සාධාරණ අසාධාරණ, ආදී යෙදුම් බොහෝමයක් ඊට සමගාමීව තත්සම, තත්භව, නිෂ්පන්න පද ලෙසින් භාෂාවට එකතුව ඇති අයුරු දැකිය හැකි ය. මෙලෙසට ම, හොඳ නරක, තේරුම් බේරුම් කර නොගෙන භාෂාවත් භාෂනයත් හැසිර වීම හේතුවෙන් සත් අසත් බේදය පවා මාධ්‍ය භාවිතාව තුළ ව්‍යාකූලව ඇති බව නම් නොරහසකි.
උදාහරණයක් ලෙස, දේශපාලන වේදිකාව, භාවිතාව හා භූමිකාව මාධ්‍ය තුළ ප්‍රදර්ශනය වනුයේ “අරගලය, බලය, සටන, රතු ඉර, ආදී පොරයක, ගැටුමක ස්වභාවයක් ලෙසිනි. කෙසේවෙතත්, මේ කතා බහ නම් මහජන මුදල්, දේපළ හා සම්පත් පරිහරණය පිළිබඳව ම ය. සන්නිවේදනයේ ඛේදවාචකය කොතරම් නම් දරුණු ද? මහජනතාවගේ බහුතර කැමැත්ත දිනාගෙන, මහජන සේවයට ඇප කැප වුණ මහජන සේවකයින්, අහෝ! අරගලයක, සටනක, ගැටුමක යෙදී ඇතැම් විට කායික වධ බන්ධනවලට ද ලක්ව රූප පෙට්ටිවල දක්නට ලැබෙයි. ජන මාධ්‍ය ජඩ මාධ්‍ය වී නොමැති ද?
දරුවන් අපේ අනාගතය යි. එහි නම් වාදයක් නැත. අහිංසක, අසරණ, අනාත දරුවන් අපචාර, අපයෝජන, දූෂණවලට ලක්ව හිසාවට, පීඩාවට පත්වනවා දැක ඇත. සැබෑවටම මාධ්‍ය සතු වගකීම ඇත්ත නැත්ත සමාජයට හෙළි කිරීම යි. කෙසේ වෙතත්, එබඳු දරුවා නැවත සමාජය තුළ දූෂණයට ලක් නොවිය යුතු ය. සමාජයට මළ කඳක් වුව ද පණ ඇතුවා හෝ නැතුවා මළ කඳ පවා සමීපතමයන්ට පණ කඳකි. මළ කඳ විකුණා කන බවට නම් ජන මධ්‍ය පත් නොවිය යුතුය.
‘අනේ මේ ලියමන පෙන්වන්න එපා’ යැයි ලියා මැරුණ විට ලියමනට ලැබෙණුයේ ඉහළ මාධ්‍ය අවකාශයකි. සැක කරුවන්ගේ පවා දරුවා දරුවාම ය. සැක කරුවාට ද පවුලක් ඇත. පන්සලක්  ඇත. ගමක් ගෙදරක් නෑයෙක් ඇත. වරදට හසු වූවනට නීතිය ක්‍රියාත්මක විය යුතුය. දඬුවම් ද ලැබිය යුතුය. එහෙත් නැවත ගෙදර එන්නට මග නම් ඇහිරිය යුතු නැත. ජන මාධ්‍ය තුළ සන්නිවේදනය ඛේදවාචකයක් විය යුතු නැත.
බන්ධනාගාර බසයෙන් බැස මුහුණ වසා ගෙන පැන දුවන තැනැත්තා අපරාධ කරුවෙකු නොවන බව ජන මාධ්‍ය නොදනී ද? ඔහු ඇප ගෙන නැවත ගෙදර යා යුතු නොවේ ද? සැක කරුවාත් අපරාධ කරුවාත් අතර වෙනස නොහඳුනන මාධ්‍ය කරුවා ජඩ මාධ්‍ය ලෙස හංවඩු ගසා පමණක් ප්‍රමාණවත් ද?
දස මසකට ආසන්න කාලයක් කුස හොත් දරු ගැබ වදා, විලි රුදා සඟවා, මග දමා යන මව්වරු, රූප සටහන් සහිතවම මාධ්‍යයේ ඇත. ජන මාධ්‍ය කරුවෙකුගේම මවක්, නැගණියක් එබඳුම වාතාවරණයක සිර වුවහොත් කෙබඳු වේවි ද? ඇය නැවත ගමට නිවසට පැමිණිය යුතු නො වේ ද? සමාජ දූෂණයේ වගකීමෙන් ජන මාධ්‍යයට ගැළවිය හැකි ද? ඇය සැගවූයේ ඇයගේ ඊයේ, හෝ පෙරේදා දවස විය හැකිය. ඒ හෙට ගැන බපාපොරොත්තුවක් ද තබා විය හැකිය. ජන මාධ්‍ය වගවීම පසෙකලා ඔබ විකුණා කෑවේ ඇගේ ජීවිතය නොවේ ද?
වාර්ථාකරණය සැබෑවකි. එය මැදිහත් වීමෙන් තොර විය යුතුය, නමුත් සමාජ වගකීම හා යථාර්ථයට එය පා පහරක් විය යුතු ද? කුණු මසට නිල මැස්සන් වහනවාක් මෙන් ද, කපුටන් රැස් වනවාක් මෙන් ද, උණුසුම් පුවත්වල රහ හොයන කබර ගොයි තලගොයි පිරුණු සමාජයක සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයක් පිළිබඳ මෙබඳු කතා බහ ද උගහට ය.
ගණිකාවෘතිය නීති විරෝධී ය. නමුත් යථාර්ථය එය ද? මග වැරදුන කතකට හෝ සල්ලාළයෙකුට ගොදුරු වුන අසරණ තැනැත්තියකට මෙම වෙළඳ සමාජය තුළ වෙන අතක් නොමැත. ජීවිකාවත් දරු පවුලත් රැක ගැනීමට එකම මග ඇඟ විකුණා කෑම ම බවට ද පත්ව ඇත. ඒ සඳහා ඉහළ අගයක ඉල්ලුමක් ද ඇත. ඇය තනිවම සේවා ලාභීන් සොයා යන විට ජනමාධ්‍ය ද නීතිය ද ඈ පසු පස ය. ඇය නීතියට ගොදුරු වන හැම විටම ජන මාධ්‍ය කළේ ඇස් දෙකට කලු ඉරක් ඇඳ ඇයගේ ඇඟ වර්ණ රූප රාමු යොදා ප්‍රසිද්ධියේ විකිණීම නොවේ ද? සැබෑවටම ජන මාධ්‍ය ගණිකාව වී හමාරය. සේවාව නොසපයාම මුදල් උපයා ඇත. ගණීකාවට ද ජන මාධ්‍යයට ද උරුම සම්භාවනීය වෘත්තීය අගය ද ජන මාධ්‍ය පැහැර හැර ඇත.
සැබෑය, ජන මාධ්‍ය වගකීම විළි බිය නැතුවම ඉටු කොට ඇත. ගණිකාවෘතිය, හවුල් ව්‍යාපාර ලෙසට විවෘතව, සියලු තරාතිරම් අභිභවා, ඉහළ පැලැන්තියේ සුඛෝපබෝගී නවාතැන් ‌පොළවල, වෘත්තීය මටටමෙන්, දේශීය නමත් හමත් ලෙසට විකිණෙන කල, එය විදේශ විනිමය උපයන තෝතැන්නකි. ඇය නිරූපිකාවක් කොට රූප රාමු යොදන්නට ද ජන මාධ්‍ය පසුබට වී නැත. එය නම් ඉතා අගනේ ය.
හර සහ බර
පවතින දේශපාලන න්‍යාය පත්‍ර ප්‍රමුඛ කොට ගෙන, වෙළඳ සන්නාමයන් ද ආරක්ෂා කොට ගෙන, සෑම වයස් කාණ්ඩයකම හා තරා තිරමකම ග්‍රාහක පිරිසකට සේවා සැපයිය යුතුය. මුදල් ඉපයිය යුතුය. සමාජ ගැරහුම් ඉවසිය යුතුය. ව්‍යාපාර ය වර්ධනය කළ යුතුව ඇත. ඇත්ත තිත්ත ය. සැකයක් නම් නැත.
වෙනදාටත් වඩා අද වන විට මාධ්‍ය කරුවාට දේශපාලනඥයා ගරු කරයි. සංවර බවක් පෙන්වයි. නීති විරෝධී ව්‍යාපාරකරුවන් හා කූට වෙළදුන්ට පමණක් නොව අසංවරව මහ මග හැසිරෙන මගියාට ද මාධ්‍යකරුවා ඉදිරියේ සංවරව හැසිරීමට සිදුව ඇත. නවමු මාධ්‍ය සංස්කෘතියක් රට තුළ නිර්මාණය වී හමාර ය. එය නම් ජනතාව ලද ජයග්‍රහණයකි.

කළ යුත්ත
ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය, මුද්‍රිත සියලු මාධ්‍යයන් සමාජ වගකීම සලකා, ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇති කළ යුතු කාලය දැන් එළඔ ඇත. පළමු කොටම ආකල්ප සංවර්ධනය හා නව සංකල්ප භාවිතය පිළිබඳ බුද්ධිමය අවකාශයක් මාධ්‍ය භාවිතාව තුළ ම ගොඩ නැගිය යුතුව ඇත. නිදසුනක් ලෙස, නුතන සන්නිවේදන ක්‍රම භාවිතය, නුතන සමාජ හා මානව හිමිකම් පිළිබඳ නෛතික පදනම් ආරක්ෂා කිරීම හා සමාජය දෙසට ආමන්ත්‍රණය කිරීම පසෙක ලා සමාජයට හා පුද්ගලයන්ට  ආමන්ත්‍රණය කිරීම කළ යුතුය.
සංවාද, සාකච්ඡා, සුහද හමු, විවාද, විසංවාද, ආදී සන්නිවේදන ක්‍රම තුළ ඊටම අනුරූපි අනන්‍යතාවන් ඇති බැවින්, එම සන්නිවේදන ලක්ෂණ සන්නිවේදනයේ දී රැකිය යුතු ය. වෙළඳ උපාය උපක්‍රම බැහැරලිය නොහැකි ය. එ නමුදු, ප්‍රකාශනයේ අරමුණු, ශ්‍රාවකයා හා අන්තර්ගතය ඒකාත්මික කළ යුතු ය.
ජන මාධ්‍යයට මේ රට, රටක් ද කළ හැකි ය, නො රටක් ද කළ හැකි ය. තොරතුරු තරම් වැදගත් යමක් මෙලොව නැත. තොරතුරු තරම් විකිණිය හැකි යමක් ද තව නැත. තොරතුරු තාක්ෂණය එතරම් ම ඉහළ අගයක් ඇති ක්ශේෂ්ත්‍රයකි.  සමාජ මාධ්‍ය කරුවා ද මෙහිදී වගකීම් සහගතව කටයුතු කළ යුතු බව නම් අවධාරණ ය කළ යුතුය.
සිත්තරෙකු විවිධ වර්ණ ගල්වා, විවිධ රටා මවා සිතුවම් නිර්මාණයෙහි යෙදෙන්නාක් මෙන්ම ඉතා සංවරවත් ශිෂ්ඨ සම්පන්නවත් පෑන, පොත, මෘදුකාංග හා ද්‍රෘඩාංග හසුරුවා ජන මන තුළ සංවරව සිතුවම් මැවීමට තරම් මාධ්‍ය කරුවා හිකිමිය යුතු බව නම් වැටහේ.
මොන කරුමය ද තව ඇහැරුන බවක් නැහැ යි, කී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ද ජන මන පුබුදු වන්නට බස හසුරුවා ඇත. එය සැර කඨෝර බවක් දක්වයි. එසේ වුවත්, එ බස් වහර තුළ ද කන්නලව් ශෛලියක් මිස, හිත් රිදවන හඬක් නැත.
භාෂාව  හා චින්තනය ඒකාත්මික ය. භාෂාවෙන් තොර චින්තනය ද අපහසුය. එනිසාම බස යනු එකී බස හසුරුවන දන මන හඟවන්නකි, දනවන්නකි. ශිෂ්ට සම්පන්න ජන සමාජයක පදනම ඒ සමාජය සතු භාෂාවයි, භාෂණය යි. සන්නිවේදනය යි. එම සන්නිවේදනයෙහි විදග්ධ බව යි.
ඇස් ඇත්තෝ දකිත්වා! කන් ඇත්තෝ අසත්වා! සිත් ඇත්තෝ සිතත්වා! යටි කුරු වූ සමාජ සන්නිවේදන සදාචාර ය, උඩුකුරු කළ යුතුව ඇත.
  
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විද්‍යාපති, පොළොම්මාරුවේ වාචිස්සර හිමි