කදුරුවෙල සංහිදියා පාසල යලි ඉදි කිරීමට පියවර

කදුරුවෙල සංහිඳියා පාසලේ  ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ අතරමග නවතා දැමීම නිසාම නටබුන් බවට පත්වී තිබුණා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතා පවසයි.
 
රාජ්‍ය අමාත්‍යතුමා කල ඉල්ලීමක් මත ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය මහ කොමසාරිස් තුමාට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කර මෙම සංහිඳියා පාසලේ ව්‍යාපෘතිය කඩිනමින් නිම කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.
 
ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීම සඳහා ඊයේ  ( 2021.09.11 ) දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල සංහිඳියා පාසැලට ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස සම්බන්ධ වුණි.
 
එහිදී මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කළ අතර  ගරු නාමල් රාජපක්ෂ මහතා  මෙම සංහිඳියා පාසලේ බිම් මහල මෙම වසර තුළ අවසන් කිරීමටත් , ඉහළ මාලය මාස 8 ක්  වැනි කාලයක් තුළ නිම කර ලබන වසරේදී හය වසර ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා ඇතුළු පිරිසක් එක්විය.