ප්‍රතිපත්ති මාරු නොකර වසර 20කින් රට දියුණු කළ හැකියි - එජාප නායක රනිල්

ප්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවක් ඔස්සේ රට සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් වසර විස්සකින් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැකි බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දිනය වෙනු‌වෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ සැමරුම් උත්සවය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයේ 75වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර ඇති ‘ඔන්ලයින් සමුළු 75‘ වැඩසටහනේ ආරම්භක සමුළුව මෙය විය.

රට ආර්ථිකය අගාධයකට පත්ව ඇති මේ අවස්ථාවේ ඉන් පළමු වසර පහ ඉතා අසීරු කාර්යයක් බව සඳහන් කළ ඒ මහතා ලෝකයේ සිදු වන පරිවර්තනයන් සමඟ අපත් ඉදිරියට යා යුතු බව සඳහන් කළේය.