පුරවැසින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රට පාලනය කරන බාග පුරවැසියනුයි – ටිල්වින් සිල්වා

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන අණ පනත් හරහා මෙරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවලදී එම විරෝධතාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියෝග කරනු ලබන්නේ බාග පුරවැසියන් විසින් යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත් අධ්‍යාපනය මිලිටරිකරණ කිරීමට ගෙන එනු ලබන කොතලාවල පනතට එරෙහිව පෙරේදා (08) දිනයේ පැවැත්වූ විරෝධතාවයන්ට සම්බන්ධ වූ පිරිස් නිරෝධානය නීතියට මුවා වෙමින් ඉතා අමානුෂික ලෙස අත්අඩංගුවට ගැනීමත් ආණ්ඩුවට එරෙහි පාර්ශවයන්ට පමණක් එම නිරෝධායන නීතිය භාවිතා කරමින් තිබීම සම්බන්ධයෙනුත් අදහස් දැක්වීම සඳහා ඊයේ (09) දින එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා මේ අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

එම මාධ්‍ය හමුවේදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය….

” වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන හා මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත පෙරේදා (08) දිනයේ පාර්ලිමේන්තුවට ගෙනාවා. එය විවාදයට ගෙන එදිනම සම්මත කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වුණා. නමුත් ඊට එරෙහිව මතු වූ විරෝධතා හේතුවෙන් සම්මත කරගැනීම පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදු වුණා. මේ වන විට එය අගෝස්තු මාසය තෙක් කල් ගොස් තිබෙනවා. මේ විසකරු පනතට එරෙහිව ශිෂ්‍යයන්, දෙමව්පියන්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ රට පුරා විරෝධය පළ කළා. කෙසේ නමුත් ආණ්ඩුවේ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ පොලීසිය විසින් මේ විරෝධතා දැක්වූවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. හැටන් නගරයේදී අපේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල සුරවීර සහෝදරයා, වතු වෘත්තීය සමිති නායිකා කෙලෙයි සෙල්වි සහෝදරිය ඇතුළු සිව් දෙනෙක්ද මාතර අකුරැස්සේදී ලාල් ප්‍රේමනාත් සහෝදරයා ඇතුළු දොළොස් දෙනෙක්ද පාර්ලිමේන්තු වටරවුමේදී ලංකා ගුරු සංගමයේ නායක ජොෂ්ප් ස්ටාලින් සහෝදරයා ඇතුළු 33ක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දුන්නත් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය කිරීමෙන් අත්අඩංගුවට ගන්නා ලද අයගෙන් 16ක් පොලීසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යනු ලැබුවා. මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම අනුව විරෝධය පළ කළ පිරිසක් ආණ්ඩුව විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමත් බලහත්හාරයෙන් නිරෝධායනයට යොමු කිරීමත් අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෙළා දකිනවා.

මෙය සරල කරුණක් ලෙස නොසලකන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. මෙවැනි තත්වයක් ඇතිවන්නේනම් මේ රටේ කිසිදු ජන කණ්ඩායමකට තමන්ගේ විරෝධය පළ කිරීමට නොහැකි වෙනවා. මෙවැනි තත්වයකින් ආරම්භ වෙන මර්දනකාරී තත්වය රට අතිශය බරපතළ තත්වයකට පත් කරනවා. ආණ්ඩුව විසින් මේ උල්ලංඝනය කරමින් සිටින්නේ මේ රටේ ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්. ආණ්ඩුව එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිටිනවා. ඒ සඳහා පොලීසිය ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකුයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස පුරවැසියන්ට හිමිවී තිබෙනවා. නමුත් ආණ්ඩුව විසින් කොරෝනා නීති පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව එල්ල වන විරෝධය මර්දනය කිරීමට උත්සාහ දරනවා. මේ රටේ පුරවැසින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රට පාලනය කරන බාග පුරවැසියනුයි. ඔවුන් මෙරට සහ ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන දෙමුහුන් පුරවැසියනුයි. මේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි අධිකරණයට යෑමට සූදානම්.
පොලීසිය විසින් මේ අත්අඩංගුවට ගැනීම් සිදු කළේ අතිශය තිරශ්චීන ලෙසයි. සිංහල බෞද්ධකම ගැන කියමින් බලයට ආ රාජපක්ෂ පාලනය විරෝධතාවට එක්වී සිටි භික්ෂූන් වහන්සේ පොලීසිය ලවා වැඩම්ම වූ ආකාරය අපි දැක්කා. ස්වාමීන් වහන්සේලා බිම දිගේ ඇදගෙන ගියා. කාන්තාවන්ට හිරිහැර කළ ආකාරය මාධ්‍යවලින් සියලු දෙනාට දැක ගත හැකිවුණා. කාන්තාවන්ට අත තැබීමට පිරිමි පොලිස් නිලධාරීන්ට කිසිදු අයිතියක් නැහැ. නමුත් එසේ තිබියෙදී පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන් ඇදගෙන යන ආකාරය අපි දැක්කා. නීතියේ රැකවරණය ලැබීමට සියලු දෙනාට අයිතියක් තිබෙනවා. මේ නින්දිත සිදුවීමේ වගකීම පොලීසිය භාර ඇමතිවරයා විසින් භාර ගත යුතුව තිබෙනවා. අද ආණ්ඩුව භික්ෂූන් වහන්සේලාට, කාන්තාවන්ට සලකන ආකාරය මෙයින් පෙනෙනවා. ආණ්ඩුව බලයෙන් උද්දච්ඡ වී වියරු වැටිලා. ආණ්ඩුවේ මේ ජ්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වහා නතර කළ යුතුයි.

ආණ්ඩුව සියලු කොවිඩ් වසංගත පාලන නීති රීති පවත්වා ගෙන යන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග මැඩපවත්වා ගැනීම සඳහා බව ඉතාම පැහැදිලියි. ඔවුන් එම නීති ක්‍රියාවේ යොදවන්නේ විපක්ෂ කණ්ඩායම්වලට එරෙහිව පමණයි. ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වැඩ භාරගැනීමේ අවස්ථාවේ ඔවුන්ගේ හිතවතුන් පොරකමින් සිටියා. ඔහුගේ හිතවතුන් රට පුරා රංචු එම අවස්ථාව ගැසී සැමරුවා. ඔවුන්ට එරෙහිව මෙම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. අපි තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමඟුල් උත්සවය විශාල පිරිස් සහභාගි කරගනිමින් පැවති ආකාරය අපි දැක්කා. එය පැවතියේ මීටත් වඩා දැඩි ඇඳිරි නීතිය පැවති කාලයකයි. කොරෝනා තුන්වන රැල්ල ආරම්භ වීමට නුවරඑළියේ පැවති සැළලිහිණි වසන්තය සැණකෙළියත් හේතුවක් වූවා. එය සංවිධානය කළේ නුවරඑළිය නගරාධිපතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ වැනි අයයි. ඔවුන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. ආණ්ඩුව මේ සිදු කරන්නේ කොවිඩ් වසංගත පාලන නීති රීති මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සඳහා පාවිච්චි කිරීමයි. ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය මර්දනය කිරීම සඳහා ඒවා කිරීමයි.

කොතලාවල පනතට එරෙහිව මේ රටේ ජනතාව කළ සටනෙන් යම් ජයග්‍රහණයක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒ තමයි කොතලාවල පනත ඊයේම සම්මත කරගන්න ආණ්ඩුව උත්සහයක හිටියා. නමුත් ජනතා විරෝධය නිසා මාසයක් කල් දාලා තිබෙනවා. ඒ නිසා ජනතාවට කල් තිබෙනවා මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ තැනට හරි ආණ්ඩුව තල්ලු කිරීම මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ජනතාවගේ ජයග්‍රහණයක්.

අපි රටේ ජනතාවට කියනවා දැන් අප ඉස්සරහ වගකීමක් තිබෙනවා. මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරලා රට විකුණන්න පටන් අරගෙන තිබෙනවා. රටේ දූෂිත පවුල් පාලනයකුත් හදලා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ජනතා විරෝධී රට විනාශ කරන ගමනට එරෙහිව කතා කරන ජනතාවගේ කටවල් වහන්න, ඔවුන් පීඩාවට පත්කරන්න, බය කරන්න පියවර ගනිමින් ඉන්නවා. එය පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් තිබෙනවා. ඒ අරගලය ව්‍යුක්ත අරගලයක් නෙවෙයි. මේ ආර්ථික ක්‍රමයම මෙලෙස පවත්වාගෙන යද්දී මේ දේශපාලන ක්‍රමය මේ විදියටම පවත්වාගෙන යද්දී මේ පවුල් පාලනය මේ විදියටම තියෙද්දී මේ මජර ප්‍රතිපත්ති මේ ලෙසම පවත්වාගෙන යද්දී ප්‍රජාතන්ත්‍රවාදය පමණක් හොඳින් පවත්වාගෙන යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පමණක් වෙනම රැකෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමත් මේ සමාජ දේශපාලන ආර්ථික අර්බුදයේම කොටසක් කියලා. ඒ නිසා සමස්ත ආර්ථික දේශපාලන සමාජ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත හැක්කේ. මේ ණයට කන ක්‍රමය වෙනස් කරලා නිෂ්පාදනයේ ප්‍රතිලාභ කාටත් ලැබෙන ආර්ථිකය තුල සාධාරණත්වය ගොඩ නැගිය යුතුයි. දේශපාලන පාදඩකරණය නැවැත්විය යුතුයි. දේශපාලනය ගරුකටයුතු එකක් බවට පත්කළ යුතුයි. දේශපාලකයින් ලබන අනවශ්‍ය ප්‍රතිලාබ නැවැත්විය යුතුයි. අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍යයි. සෞඛ්‍ය ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍යයි. සමස්ත සමාජ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනස සමඟ ප්‍රජාතන්ත්‍රවාදී සටන බැදිලා තිබෙනවා. මේ ධනපති පාලකයෝ යටපත් කරමින් තිබෙන්නේ ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන අරගලයේ හඬයි. එනිසා අහක බලාගෙන ඉන්න එපා. වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබාදිය හැකි මානව හිමිකම් රකින්න පුළුවන් මිනිස්සුන්ගේ හඬට ඇහුම්කන් දෙන සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන බලවේගයක් නිර්මාණය කරන්න ඊට නායකත්වය දෙන්න අපි ලෑස්තියි. ඒ කටයුත්ත වෙනුවෙන් පෙළගැසෙන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් අගය කරන ප්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලනවා.

මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු

අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප දුන් පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යන නිසා ඒ අයට පුලුවන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා නඩුවක් පවරන්න. ඒ අයිතිය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙනවා. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ උසාවියෙන්. උසාවියෙන් ඇප ලබාදී නිදහස් කර තිබියදී නැවත පොලිසියෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට අරන් යන්න අයිතියක් නැහැ. ඒක අධිකරණයට අපහාස කිරීමක්. එනිසා අපි එම බලහත්කාරය පාවිච්චි කිරීමට එරෙහිවත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිවත් උසාවියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඉන්ධන මිල අඩු කරනවානම් දැනුත් අඩු කරන්න පුළුවන්. ඉන්ධනවලට ආණ්ඩුව ලොකු බද්දක් ගහලා තියෙන්නේ. බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල අඩු කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ තියෙන ආර්ථික අර්බුදය විසඳන්න බැසිල් රාජපක්ෂට බැහැ. බැසිල් නෙවෙයි ඊට වඩා ලොකු කෙනෙක් ආයත් මේ ආර්ථික අර්බුදයෙන් දශමයක්වත් රට ගොඩ ගන්න බැහැ මේ සිස්ටම් එකට අනුව. බැසිල් රාජපක්ෂත් කියලා තියෙනවා එයා ආවත් ඉන්ධන මිල වෙනස් කරන්න බැහැ ආශ්චර්ය පාන්න බැහැ කියලා. ඒ වගේම ඔහු කියල තියෙනවා පියෙක් වගේ රිදෙන තීන්දු ගන්න වෙයි කියලා. රිදෙන තීන්දු ගන්න බැසිල් එන්න ඕන නැහැ. ගෝටාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හොඳටම රිදෙන තීන්දු අරගනිමින් හිටියේ. රිදෙන්නේ නැති තීන්දු ගන්න තමයි බැසිල් මහත්තයා ගෙන්න ගත්තේ. ඔය කවුරුත් එන්නේ රිදවන්නම තමයි. මේ අය රටටත් ජනතාවටත් රිද්දලා තමන්ගේ මඩිය තදකරගෙන යන්න එන්නේ. ලෝකේ කොහේවත් නෑ මේ වගේ කැත අවලස්සන දූෂිත පවුල් පාලනයක්. මේ රාජපක්ෂවරු නැති වුනාට පස්සේ රට මෙතනින් එහාට යන්නේ නැද්ද? රාජපක්ෂවරු හැරෙන්න මේ රටේ වෙන කවුරුත්ම නැද්ද විෂයන් ගැන දන්න අය. දැන් මේ අමු අමුවේ කැත පවුල්වාදයක් තියෙනවා. ඒකට විවිධ තර්ක හදමින් පවුලේ අය පුරවගන්නවා. අපි දකින්නේ බැසිල්ට ඇමතිකමක් ගන්න ආශාවක් තියෙනවා. ඒ වගේම මහින්ද මහත්තයට අසනීප නිසා අගමැතිකම පවුල තුලම තියාගන්න ඕනකම තියෙනවා. අනෙක් පැත්තෙන් ගෝටාභය රාජපක්ෂ පළවෙනි පාරෙන්ම ගෙදර යයි වගේ පේන නිසා ඊළඟ පාරට බැසිල් සූදානම් කර ගැනීමේ වුවමනාවකුත් තියෙන බව පේනවා. රතිඤ්ඤා පත්තු කරල කිරිබත් කාලා තමයි බැසිල් ගෙනාවේ. අපේ රටේ කොරෝනා නිසා වෙසක් තහනම් කළා. දැන්සල් වැහුවා. පොසොන් තිබුණේ නැහැ. ඒත් බැසිල් වෙනුවෙන් කිරිබත් දන්සල් දෙනවා. බුදුන්ටත් උඩින් දැන් බැසිල්. කොරෝනා නීති අදාල නැහැ. ඒකෙන් පේනවා මේ අයගේ ගෝත්‍රික පාලනය කොහොමද කියලා.