මදුරුවන්ටත් ඇප් එකක්

මදුරුවන්ගෙන් බෝවන රෝග නිසා මනුෂ්‍ය වර්ගයාට ප්‍රබල බලපෑමක් එල්ල වෙලා තියෙනවා .

ඩෙංගු, මැලේරියා, බරවා විතරක් නෙවෙයි සීකා වයිරසයත් දැන් මදුරුවන් නිසා ලොවපුරා පැතිරෙන රෝග සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා . මේ රෝග මිනිසුන්ට ඇති කරන තර්ජන සුළුපටු නැහැ.

දිනෙන් දිනම ඉහළ යන මේ මදුරු කරදරයට පිළියමක් සෙවීමට නව තාක්‍ෂණය සමත් වෙලා තියෙනවා.

මදුරුවන් මඟින් බෝ වන රෝග මර්දනය කිරීමට යෙදුමක් "විටා ලයිෆ්" සමාගම විසින් හඳුන්වලා දීලා තියෙනවා. "විටා" නමින් හඳුන්වන මේ ඇප් එකෙන් ඔබේ නිවෙස, කාර්යාලය, දරුවාගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝ පාසල වැනි ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයන් නිතර ගැවසෙන ස්ථාන පිළිබඳ දත්ත ඔබට ලබාගත හැකියි. ඒ වගේම ඔබේ අවට සිටින ඩෙංගු රෝගීන් හෝ මරණ වාර්තා වීම් සම්බන්ධ තොරතුරු ගවේෂණය කරන්නත් එසේ හඳුනාගත් ස්ථාන පිළිබඳ දත්ත යාවත්කාලීන කිරීමේ හැකියාවකුත් මේ ඇප් එක  මඟින් සිදු කරන්න පුළුවන්.

ඒ වගේම ඔබ ආසන්නයේ තවත් "විටා ඇප්" භාවිත කරන පුද්ගලයකු සිටිනවා නම් ඔහුටත් එම දත්ත ස්වයංක්‍රියව ඒ මොහොතේම ලබා දිය හැකියි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ ඇප් එක මඟින් ඩෙංගු රෝගයේ ඇති අවදානම පිළිබඳ නිරන්තර අවධානයක් සහ සැලකිල්ලක් ඔබ තුළ ස්වාභාවිකවම ඇතිවීම.

ශ්‍රී ලංකාව තුළදී මේ ඇප් එක නොමිලේම ඔබේ ජංගම දුරකතනයට ඇතුළත් කර ගන්න පුළුවන් වෙලා තියෙනවා.