ඔබේ යුතුකම වෙනුවෙන් පුංචි කාලයක් මිඩංගු කරන්න

ආබාධිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය යෙදි තිබෙන්නේ දෙසැම්බර් 03ටය. මේ සටහන ඒ වෙනුවෙනි.
මෙරට ආබාධිත පුද්ගලයන්ගේ ජනගහනය ලක්ෂ 16කට ආසන්නය. එය මෙරට ජිවත් වන සුඑ ජන කොටස්වල ජනගහන වර්ධන වේගය හා සමාන වර්ධන වේගයකි. එයින් වැඩි ප්‍රතිශතය ජාන විකෘතිතා නිසා හට ගන්නා ප්‍රවේණිගත රෝග වලින් පෙලෙන්නන් බවට මෑතකදි කරන ලද සමික්ෂණ වාර්ථා මගින් පෙන්වා දි ඇත. මන්දබුද්ධාකතාවය, ලියුකේමියාව, ඇතුළු විශාල රෝගාබාධ ගණනාවක් මෙම රෝග අතර වේ. ප්‍රෙව්ණිගත රෝග යනු මෙතෙක් වෛද්‍ය ප්‍රතිකාර සොයා නොගත් රෝග කාණ්ඩයක් වීම මෙහි ඇති බරපතලම තත්වයයි. අප රට තුල මෙම රෝග තත්වයන්ගෙන් පෙලෙන දරුවන්ගෙ උපත් සංඛ්‍යාව මෑතක පටන් සීග්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරයි.

සංඛ්‍යාත්මකව බලද්දී ආබාධිත බවින් පෙලෙන ජනගහනය අතුරින් තමන්ගේ එදිනෙදා කටයුතු තනිව කරගැනීමට තරම්වත් සිහිකල්පනාවක් නැති මන්දබුද්ධික බවින් පෙලෙන විශාල පිරිසක් මෙම කොටසට අයත් වේ. බරපතල සාමාජීය ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතින මෙම තත්වයට බොහෝ හේතූන් බලපා ඇත. සමාජය තුල පවත්නා සමාජ ආකල්ප, නොදැනුවත් බව, පාරිසරික හේතුන් ආදිය මීට හේතු පාදක වී ඇති බවට කරුණු විමසා බැලිමේදි පෙනි යයි. කෙසේ වුවත් මෙම අවාසනාවන්ත තත්වයන් නිසා ජිවිත අදුරුවි අසරණ තත්වයට පත් වන්නේ අපේම සහෝදර සහෝදරියන් පිරිසකි. සැබැවින්ම හෙට දවසේ සිදුවන්නේ ඔවුන් දිවිගමන තුල හුදෙකලා වුනු අසරණ වුනු සමාජයට බරක් වි දිවි ගෙවන පිරිසක් බවට පත්විම නොවේද? රටේ සංවර්ධනයට උරදීමට සිටින පිරිසක් මෙසේ සදාකාලික රෝගීන්වී පසෙකට තල්ලුවී සිටීම සැබැවින්ම ඛේදවාචකයකි. තවත් අතකින් ඔවුන් වෙනුවෙන් රජයට දරන්නට සිදුව ඇති අධික වියදමද සංවර්ධන වෙමින් පවතින රටකට දැරිය නොහැකි තරම්ය.

එසේ නම් ඔවුන් වෙනුවෙන් අප කල යුත්තේ කුමක්ද? ඔවුනට ජීවිතය ගොඩනගා ගන්නට අත දෙමින් ඔවුනගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනා අතරම මෙවන් රෝග ඇතිවිම වළක්වාලිම සදහා හැකි උපරිමයෙන් සමාජය දැනුවත් කිරිමයි. ආබාධිත දරුවෙකු සමාජයට බිහි කොට එම දරුවා සමග මුළු ජිවිත කාලයම විදවමින් එම දරුවා සමාජයට බරක් වී ජිවත් වන අයෙකු වනු දකිනවාට වඩා එවැනි ආබාධිත දරුවෙකු බිහිවිම වලක්වා ගත හැකි නම් එය එම දෙමවුපියන්ටත් සමාජයටත් මහත් අස්වැසිල්ලකි වනු ඇත. ලේ නෑදෑයන් අතර විවාහයන්, ගර්භණී සමයේදී නිසි උපදේශන සහ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නොවීම, මව්පියන්ගේ රුධිර ඝන නොගැලපීම, මධ්‍යසාර භාවිතය, වැරදි උපත් පාලන ක්‍රම, කෘමි නාශක භාවිතය, කෘතිම රස කාරක යෙදූ ආහාර භාවිතය, යනු මෙවැනි අවාසනාවන්ත දරු උපත් ඇතිවීමට බලපාන හේතු කිහිපයක් පමණි. මෙම සටහන කියවන ඔබ, විවාහ වීමට සිටින හෝ විවාහ වී සිටින අයෙකු විය හැකියි. එසේත් නැතිනම් ඔබේ පවුලේ හෝ ඔබේ හිතමිතුරන් අතර විවාහ වීමට සිටින අය සිටිය හැකියි. ඉහත කී කරුණු පිළිබදව සහ ජාන විකෘතිතා නිසා හට ගන්නා අනෙකුත් ප්‍රවේණිගත රෝග පීඩා පිළිබදව මුලින්ම ඔබ දැනුවත් වී අන් අයවද දැනුවත් කරන්න. විශේෂයෙන්ම පාසැල් වයසේ සිටින දැයේ අනාගත පරපුර වන දූදරුවන් වෙත මේ පිළිබද දැනුම ගෙනයන්න. සමාජය තුල සැගවී පවතින, සමාජයට විශාල ගැටළුවක් වෙමින් පවතින මෙවැනි කරුණු සමාජය වෙත ගෙන යෑම ඔබ සතු යුතුකමක් සේ සිතන්න. එය අපගේ ආදරණීයයන් වෙනුවෙන් පමණක් නොව සමස්ත සමාජය වෙනුවෙන්ම අප අද දවසේ ඉටු කරනු ලබන උතුම් මානුෂිය ක්‍රියාවක් වනු නොඅනුමානය.

තුෂානි