මියන්මාරය සහ රෝහින්ග්‍යා අර්බුදය ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය

බටහිර මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පවතින ගැටුම්වලින් බේරීම පිණිස පලා ගිය රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් හාර ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට බංග්ලාදේශයේ තාවකාලික කූඩාරම්වල ලැගුම් ගෙන සිටිති.
කාන්තාවන් සහ කුඩා දරුවන් බහුතරයක් ඇතුළු එම අනාථයන් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ එම කඳවුරුවල කල් ගෙවන බව බීබීසී වාර්තාකරුවෝ පවසති.
මේ අතර නිවේදනයක් නිකුත් කරන ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව වෙසෙන ගම්මාන පුළුස්සා දැමීමේ "සංවිධානාත්මක ව්‍යාපාරයක්" දියත් වී ඇති බව සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප ප්‍රකාශයට පත් කළේය.
මියන්මාරයේ ආරක්ෂක හමුදාව රෝහින්ග්‍යා වැසියන් සිය රටින් පලවා හැරීමට උත්සාහ දරන බව එම චන්ද්‍රිකා ඡායාරූප මගින් සනාථ කරන බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
එහෙත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදාව පවසන්නේ, සිය මෙහෙයුම දියත්කර තිබෙන්නේ රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව පමණක් බවය.
රඛයින් ප්‍රාන්තයේ බහුතරය වන බුරුම ජාතිකයන් බෞද්ධයන් වන අතර, බංග්ලාදේශයේ සිට එහි පැමිණ පදිංචි වී සිටින රෝහින්ග්‍යා ජනතාව ඉස්ලාම් භක්තිකයෝය.
රෝහින්ග්‍යා ජනතාව "නීති විරෝධී සංක්‍රමණිකයන්" බව පවසන මියන්මාරය, පරම්පරා ගණනාවක් සිය රටේ වාසය කළත් ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරයි.
මියන්මාරයේ බෞද්ධයන් සහ රෝහින්ග්‍යා ජනතාව අතර පවතින මේ ගැටුම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවක් මෙතෙක් වාර්තා වී නොතිබුණි.
බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ, "මියන්මාරය පිළිබඳව අපි දරන ස්ථාවරය තමයි, අපි විශ්වාස කරනවා සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඒ රටේ ජීවත්වෙන සියලුම වාසීන් ගේ අයිතිවාසිකම් රැකගන්න ඕනේ කියන එක," බවය.
කෙසේ වුවත් මේ අවස්ථාවේ මියන්මාරය හුදෙකලා නොකර, සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුවට විසඳුම් සොයා ගත යුතුය යන්න මිත්‍ර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
"අපි හිතන්නේ නෑ, ජාත්‍යන්තරව ඔවුන්ව කොන් කිරීමෙන් අපිට විසඳුමක් ලැබෙයි කියල."
සිය රටේ ජන කොටසක් බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටින අවස්ථාවක මුනිවත රකින බවට මියන්මාරයේ නිල නොවන නායිකා ඕන් සාන් සුචීට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ, සිය රටේ "නිදහස වෙනුවෙන් කටයුතු කළ වීර කාන්තාවක" වන ඇයට තවමත් සම්පූර්ණ බලය හිමි වී නැති බවය.
"රටේ පත්විය යුතු තැනට එතුමිය තාමත් ඇවිල්ල නෑ. එතුමියට ඒ බලය තාමත් ලැබිල නෑ. ඒ නිසා එතුමියට කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි කියල අපි හිතනවා," අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කළේය.
මියන්මාරය ඉතිහාසයේ "තීරණාත්මක මොහොතකට" මුහුණ දී සිටින බව පවසන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, සිය රටේ සෑම ජන කොටසකටම ජාති, ආගම් භේදයකින් තොරව සමානව සලකන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරයෙන් ඉල්ලා සිටීම ඉතා වැදගත් බව සඳහන් කළේය.
අපි විශ්වාස කරනවා සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඒ රටේ ජීවත්වෙන සියලුම වාසීන් ගේ අයිතිවාසිකම් රැකගන්න ඕනේ කියන එක
වසන්ත සේනානායක , විදේශ රාජ්‍ය අමාත්‍ය
මේ අතර බදාදා ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතෙරෙස්, රෝහින්ග්‍යා ජනතාවගේ ගම්මානවලට ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව කියා සිටියේය.
මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව "වාර්ගික ශුද්ධයක්" දියත් වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයීඩ් අල් හුසේන් කුමරු පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලය අමතමින් කියා සිටියේය.
රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව එල්ලවන ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වයට වහාම නැවතීමේ තිත තැබිය යුතු බව මහ ලේකම්වරයා, මහ කොමසාරිස්වරයා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද එක හඬින් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාව ද එම ඉල්ලීම අනුමත කරන බව අමාත්‍ය වසන්ත සේනානායක බීබීසී සිංහල සේවයට පැවසීය.
"ඒ ඉල්ලීමත් එක්ක අපි එකඟ වෙනව. හැබැයි අපි මියන්මාරය කොන් කරන්න කටයුතු කරන්නේ නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න ඕන. මොකද, සමහ අවස්ථාවල අන්තර්ජාතික ප්‍රජාව එකතුවෙලා රටක් කොන් කරන කොට ඒ රට ඉතාමත්ම දරුණු විදියට හැසිරෙනවා. ඒක අපි විශේෂයෙන්ම දැකල තියෙනව උතුරු කොරියාවෙන්."
මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට අත් වී තිබෙන ඉරණම පිළිබඳව ශ්‍රී ලංකාව කණගාටු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
රෝහින්ග්‍යා ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ජනතාව උසි ගන්වන බවට භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ නායකත්වයටත් චෝදනා එල්ල වී තිබෙන්නේ නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මියන්මාරයේ අර්බුදය පිටුපස "සැඟවුණු බලවේග ද තිබිය හැකි," බවය.
රෝහින්ග්‍යා ප්‍රජාවට එල්ලවන ප්‍රහාරවලට විරෝධය පාමින් ශ්‍රී ලංකාවේ ද කොළඹ අගනුවර සහ නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා උද්ඝෝෂණ දියත් වී තිබුණි.
ශ්‍රී ලංකාවේ රෝහින්ග්‍යාවරු
මේ අතර පසුගියදා කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය වෙත ගොස් තානාපතිවරයා මුණගැසුණු ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් "මියන්මාරයේ බෞද්ධයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය" ලෙසින් ඔවුන් විග්‍රහ කළ තත්වය හෙළා දැක තිබුණි.
මියන්මාරයේ ගැටුම්වලින් පළා යමින් සිටියදී පසුගියදා ශ්‍රී ලංකාවට ලඟා වූ තිහකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ පසුවේ.
අධිකරණ නියෝගයක් ප්‍රකාර ඔවුන් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) වෙත භාර දෙනු ලැබීමෙන් අනතුරුව දැනට ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තාවකාලිකව රඳවා සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග Expression of Interest නම් ගිවිසුමකට අත්සන් තැබූ බව සඳහන් කළ නීතිවේදියා, ලබන දෙසැම්බර් මාසය වනවිට ඔවුන් වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක බීබීසී යට කියා සිටියේය.
මීට වසර දෙකකට ඉහතදී මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යාවරුන් 138 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරන ලද බව නීතිවේදී ෂිරාස් නූර්දීන් වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී ඇසුරින්