සොබා සම්පතින් සිතුවම් මවන යතිවරයාණෝ

හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියන් සම්ප්‍රදායික වර්ණ සහ ශිල්ප ක්‍රම භාවිත කරමින් දේශීය සිතුවම් කලාව යළි මතු කර ගැනීමට උත්සාහ දරන බෞද්ධ භික්ෂුවකි.
"විශේෂයෙන් සීගිරි බිතුසිතුවම්වල ඉඳන් පැවති, කල් පවතින ඒ ශ්‍රේෂ්ඨ දේශීය චිත්‍ර සම්ප්‍රදාය යළි මතු කර දේශීය චිත්‍ර සම්ප්‍රදාය යළි නගා සිටුවීම සහ ඒ පැරැණ්නන් විසින් භාවිත කළ ශිල්ප ක්‍රම මතු කර ගැනීම මගේ අරමුණයි" යනුවෙන් හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියන් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
සම්ප්‍රදායික චිත්‍ර නිර්මාණකරණය සඳහා ශාඛ පත්‍ර, පොතු සහ විවිධ පාෂාණ වර්ග භාවිත කරන බව උන්වහන්සේ පවසති.
ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර සකසා ගන්නා ලද වර්ණ දීර්ඝ කාලයක් පවතින බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
"මැටි, ගස්වල කොල පොතු, මල්"
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඤාණවිමල හිමියන් ‍ඓතිහාසික යටිහලගල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ වැඩ වසමින් සිතුවම් කලාවේ නිරත වෙති.

2013 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී ඇති ඤාණවිමල හිමියන් මුලින්ම සිතුවම් කලාව වෙත යොමුව ඇත්තේ සෝලියස් මෙන්ඩිස් විසින් කැළණි මහා විහාරයේ නිර්මාණය කරන ලද සිතුවමක් දැකීමෙන් අනතුරුවය.

"දවසක් මම කැළණියේ වන්දනා ගමනක් ගිය දවසක එහි සෝලියස් මෙන්ඩිස් මහත්මයා ඇදල තිබ්බ චිත්‍රය දැක්ක. මම ගොඩාක් ඒ සම්බන්ධ කරනු රැස් කළා. ඉන් පස්සෙ තමා මට හිතුණේ ඒ මහතා ඒ චිත්‍ර සඳහා ස්වාභාවික මැටි, ගස්වල කොල පොතු, මල් ආදී දේ වලින් ගන්නා ඉස්ම ආශ්‍රයෙන් චිත්‍ර ගොඩක් නිර්මාණය කර තිබෙන බව" යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර සිදු කරන නිර්මාණවලට අමතරව නූතන ක්‍රමවේද යොදා ගනිමින් ද උන්වහන්සේ නිර්මාණකරණයේ යෙදෙති.



බී.බී.සී. ඇසුරින්