වසර විස්සක් තිස්සේ වතුර යට කිමිදී ගමට වතුර දුන් වන්නිනායක

වෑකණ්ඩිය මත සිට බැලූ කළ ඇසට හසුවන දර්ශනය චමත්කාරජනකය. මෑත තාලයකට මෙන් රළ නඟන වෑදිය කදය. ඒ මත තැනින් තැන වෑ දියෙන් හිස ඔසවා පිපී හිනැහෙන නෙළුමන්ය. නෙළම් මල් පිපී ඇත්තේ වැවට පහළින් පිහිටි නැලෝගම ගම්වැසියන් පිණිසය. මල් මිටක් විකුණා කීයක් හෝ උපයා ගැනීම පිණිස නැලෝගම මිනිසුන් කරවටක් දියට බැස මල් නෙලනු දකින වැව උන් හා උරණ වන්නේ නැත. පහළ තැනි බිම් මත බත බුලත සරුකරන ගම්වැසියන්ට දියවර සැපයීමෙන් සෑහීමකට පත් නොවන නැලෝගම වැව එහි පිපෙන මල් සම්පත ද උස් මහත් වන මත්ස්‍ය සම්පත ද ඔවුන් වෙත නිර්ලෝභීව ප‍්‍රදානය කරන බව අප හා පවසා සිටියේ නැලෝගම ගම්වැසියන් විසින්ය.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නැලෝගම වැව මෙරට වාපි කර්මාන්තය ගත්කල මධ්‍යම ප‍්‍රමාණයෙහිලා ගැනෙන නිමැවුමක්ය. අක්කර සිය ගණනක පමණ වපසරියකින් සමන්විත වැවට දියවර සපයනු ලබන්නේ ඉන් ඉහළ අනුරාධපුරය හා ඒ අවට ඉදිකොට ඇති වෙනත් වැව් 18 කින් නිදහස් වන දිය කදත් අහස් ජලයත් එක් වීමෙන්ය. නූතන නැලෝගම පරම්පරාවට පෙර පරම්පරාවන් කීපයක් පෝෂණය කොට ඇති නැලෝගම වැව එක්තරා විපතකට මුහුණ දෙන්නේ මීට වසර විසි ගණනකට පමණ පෙරය. පහළ ගොවිබිම් අස්වැද්දීම පිණිස දියවර නිකුත් කිරීමට යෑමේදී හටගත් එම උවදුරට පිලියම් යෙදීමට ගම්මුන් කොතෙක් උත්සාහ කළද එය නිරර්ථක වෑයමක් බවට පත්වන අතර වැවට රෝදුක් බෝවන්නට ගන්නේ එතැන් සිටය.

එවක් පටන් වැවට විඳින්නට සිදුවූ දුක් ගැහැට පිළිබඳව වග විස්තර මෙතැන් සිට අප හා පවසා සිටින්නේ නැලෝගම ගම්වැසියන් විසින්ය. වැව් ඉහත්තෑවේ පිහිටි සංහිඳ පාමුල සිහිල් සෙවණ අපගේ කතාබහ පිණිස ඉඩකඩ ලබාදුන් අතර වැව් දියෙහි තෙත රැගත් සිහිල් සුළඟක් ද නිරන්තරයෙන් අප අසල විය. ගොවි පවුල් 123 කින් පමණ සමන්විත එමෙන්ම සාරවත් පසක් හිමි එම වැව් ගම්මානයේ පදිංචි ජයතිලක වන්නිනායක (විදානෙ මහත්තය) ප‍්‍රදේශයේ කා අතරත් හොඳ නමක් දිනාගත් පුද්ගලයෙක් ය. ගම්මුන් විසින් වන්නිනායකව සලකනු ලබන්නේ එම වැවට අධිපතිව දැනට ජීවතුන් අතර සිටින දෙවිකෙනකු ලෙසින්ය.
ගම්මුන් තුළ එවැනි සිතිවිල්ලක් පහළ වීම අහේතුකව සිදුවූ දෙයක් නොව ඊට සාධාරණ හේතුවක්ද ඇත. එම හේතුව බවට පත් වන්නේ වන්නිනායකත් නැලෝගම වැවත් අතර කාලාන්තරයක් තිස්සේ පවතින එක්තරා සම්බන්ධතාවයක්ය. නැලෝගම වැවේ දිය කද තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් වන්නිනායක තමන් හා වැව අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව අප හා විස්තර කරන්නට වූවේ පහත සඳහන් ආකාරයටය.

‘‘අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳල ගොවිතැන් බත් ටික කරගන්න ගමේ මිනිස්සුන්ගෙ අනිකුත් අවශ්‍යතාවයන් පිණිස අපිට තියෙන එකම සම්පත තමයි මේ වැව. නමුත් මීට වසර විස්සකට විතර පෙර එක්තරා දවසක ගොවිතැන්වලට මුර වතුර නිකුත් කළාට පස්සෙ වැවේ සොරොව් දොර වහන්න බැරි වෙනවා. ඒ පාර මොකද කරන්නෙ වැව් දියේ කිමිදෙන්න පුළුවන්කම තිබුණු අපි කීප දෙනෙක් වතුරේ කිමිදිලා බැලූවට පස්සේ තමයි දැක්කෙ සොරොව්වේ කටයි සොරොව් දොරයි අතරේ පරතරයක් හැදිල තියෙනව කියන එක. ඒක හින්දා තමයි සොරොව්ව අරිනකොටම දොර පනින්න ගන්නෙ. ඒක හදාගන්න කොච්චර උත්සාහ කළත් ඒ දේ අපට කරගන්න බැරි වුණා. ඊට පස්සේ දන්න කියන හැම තැනටම දැනුම් දුන්න. ඒ කවුරුවත් අපිට ස්ථිරසාර විසඳුමක් දුන්නේ නැහැ. එහෙම වුණා කියලා වැවේ වතුර ටික නිරපරාදෙ පහළට ගලාගෙන යන්න දුන්න නම් මේ ගමේ කාටවත් ගොවිතැනක් බතක් කරගන්න වතුර ටිකක් නාගන්න රෙද්දක් හෝදගන්න තැනක් නැති වෙනව. ඔය සිද්ධිය වෙනකොට මට අවුරුදු හතළිස් දෙකක් විතර ඇති. ඒ පාර මම මොකද කරන්නේ මුර වතුර නිකුත්කරන වාරයක් පාසා වැවේ කිමිදිල සොරොව් දොර සොරොව්වේ කටට හේත්තු කරනවා. ඒ කළාට පස්සෙ උඩ ඉඳගෙන තවත් කෙනෙක් සොරොව්ව වහනව. මේ වැඬේට විනාඩි හතරක් පහක් දිය යට කිමිදිලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි වතුරෙ තියන පීඩනයට ඔරොත්තු දීගෙන ඉන්නත් ඕනේ. ලොකු ජීවිත අවදානමකුත් එක්ක තමයි අවුරුදු විස්සක් තිස්සේ මම මේ වැඬේ කරන්නේ. වතුර යට අඩි දහයක් පහළවක් කිමිදිලා විනාඩි තුන හතරක් ඇතුළත සොරොව්ව වහල උඩට එනව කියන්නේ ජීවිතයත් මරණයත් එක්ක කරන සටනක් වගේ වැඩක්. නමුත් ගමේ මිනිස්සු වෙනුවෙන් මම ඒක මේ මෑතක් වෙනකම්ම රාජකාරියක් විදිහට සිද්ධ කළා...”

වසර විස්සක් තිස්සේ වන්නිනායක විසින් වැව් වතුර ආරක්ෂා කරගැනීම පිණිස කරන ලද එම කටයුත්ත අතිශය අවදානම්සහගතය. ඒ බව හැඟී යන්නේ එය සිදු කරන ආකාරය සියැසින් දකින විටය. අඩි 4 ක පමණ විශ්කම්භයකින් යුත් කොන්ක‍්‍රීට් වළල්ලක් තුළ නොපෙනී යන වන්නිනායක ඒ තුළ අඩි දහයක් පහළවක් අතර වතුර පිරි ගැඹුරක නොපෙනී ගොස් යළි උඩ මතුවන ආකාරය දකින ඕනෑම කෙනකුට එහි ඇති අවදානම මනාව වැටහී යන්නේය. මේ වන විට එම සමත්කම සිදු කිරීම පිණිස ‘‘නැලෝගම” ජීවත්වන එකම ගම්වැසියා බවට පත්ව ඇත්තේද වන්නිනායක පමණය. දැනට හැට දෙහැවිරිදි වියේ පසුවන වන්නිනායක නැලෝගම ගොවි සංවිධානයේ සභාපතිවරයා ලෙසද කලක් තිස්සේ කටයුතු කරන්නෙක්ය.

දැනට මාස කිහිපයකට පෙර සිදුවූ එක්තරා මැදිහත් වීමක් හේතුවෙන් වන්නිනායක විසින් වසර විස්සක් තිස්සේ කරන ලද අවදානම් සහගත රාජකාරියෙන් නිදහස් වීම පිණිස ඔහුට අවස්ථාව හිමි වී ඇත. ඒ අනුව නැලෝගම වැවේ සොරොව් දොර වැසීම පිණිස තව දුරටත් දිය යට කිමිදීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් මේ වන විට ක‍්‍රියාත්මකය. නැලෝගම ගම්වාසීන් පිණිස එම සමාජ සත්කාරය සිදුකරනු ලබන්නේ සම්පත් බැංකුව විසින්ය. මීට මාස කිහිපයකට එපිට සම්පත් බැංකුව විසින් එම මැදිහත්වීම සිදුකොට ඇති අතර ඒ කුමක්ද යන්න අප හා විස්තර කර සිටියේ එම ප‍්‍රදේශය භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර පී.බී. ඤාණතිලක මහතා විසින්ය.

‘‘ඇත්තටම මේ ප‍්‍රදේශයේ ජනතාවට මේ මෑතක් වනතුරු තිබුණ ලොකුම ගැටලූවක් තමයි වැවේ සොරොව්ව හරියාකාරව ක‍්‍රියාත්මක නොවීම. අවුරුදු විස්සක් තිස්සේම වන්නිනායක ගොවි මහත්තය තමයි මුර වතුර ටික නිකුත් කළාට පස්සේ දිය යට කිමිදිලා සොරොව් දොර වැහුවෙ. ඒක ලොකු අවදානම් සහගත කටයුත්තක්. නමුත් ගමේ මිනිස්සු වෙනුවෙන් ඔහු ඒ දේ කළා. ඔය අතරේ තමයි සම්පත් බැංකුව විසින් රටේ වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ. අපේ ගැටලූව සම්පත් බැංකුවට දැනුම් දුන්නට පස්සේ මීට මාස කීපයකට පෙර නිලධාරීන් පිරිසක් ඇවිල්ල මේ සිදුවීමේ ඇත්ත නැත්ත හොයා බැලූව. ඊට පස්සේ ඔවුන් ගම්වැසියන් හමුවේ ප‍්‍රකාශයක් කරමින් වැවේ සොරොව්ව බැංකුවේ මැදිහත්වීමෙන් හදලා දෙන බවට පොරොන්දු වුණා. ඇත්තටම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඒ දේ කරලා දෙන්න ඒ අයට පුළුවන් වුණා. ඒ මැදිහත්වීම නොවන්නට වන්නිනායක ගොවි මහත්තයාට බැරි වෙන දවසක මේ කටයුත්ත කරන්න වෙන කෙනෙක් ප‍්‍රදේශයේ හිටියේ නෑ. දැන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ඒ ගැන සැකයක් බියක් නැහැ. වෙලාවට මුර වතුර ටික ලැබෙනව. ඒ අය තමන්ගේ ගොවිතැන් වැඩකටයුතු නිසි පරිදි සිද්ධ කරගෙන යනව. මේ වගේ පළාත් ගත්තොත් ‘‘වතුර” කියන්නේ මේ මිනිස්සුන්ට තියෙන ලොකුම සම්පත. ඉතින් ඒ වගේ දෙයක් ආරක්ෂා කරල දෙන්න අපේ රටේ බැංකුවක් ඉදිරිපත් වීම අගය කළ යුතු කටයුත්තක් කියලා මේ වෙලාවේ සඳහන් කර සිටිනවා..”

මෙම මහඟු සමාජ සත්කාරයේ වටිනාකම පිළිබඳව ගම්වැසියන් කිහිප දෙනෙක්ද අදහස් දැක්වූ අතර ඔවුන් සියලූ දෙනාගේම මතය බවට පත්ව ඇත්තේ වසර විස්සක් තිස්සේ සැබෑවක් කර ගැනීමට නොහැකි වූ සිහිනයක් සම්පත් බැංකුවේ මැදිහත්වීම මත මේ වන වට සැබෑවක් බවට පත් වී ඇති බවත් ඒ හරහා ඔවුන්ගේ කෘෂිකර්ම කටයුතුවලට අවශ්‍ය ජලය කලට වේලාවට ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වී ඇති බවත්ය. නැලෝගම ගොවි සංවිධානයේ ලේකම්වරිය වන කේ.වයි. කල්‍යාණි ඒ සම්බන්ධව අදහස් දැක්වූයේ මෙසේය.

‘‘ඇත්තටම දැන් අපට බය වෙන්න දෙයක් නෑ. යල මහ කන්න දෙකම වගා කටයුතු කර ගන්න දැන් අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ගම ගත්තොත් ධීවර කර්මාන්තය ජීවිකාව කරගත්ත පිරිසකුත් ජීවත් වෙනව. වැවේ මාළු ටික අල්ලල තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඉතිං කොයි පැත්තෙන් ගත්තත් මේ කරපු දේ ගමේ අපි කොයි කාටත් ලොකු යහපතක් බවට පත්වෙනවා. මෙච්චර කාලයක් මේ කටයුත්ත කළේ විදානෙ මහත්තයා. දැන් විදානේ මහත්තයාටත් නිදහසක් විවේකයක් ලැබෙනවා. ගම්වැසියන් විදිහට මේ කටයුත්තට මැදිහත් වෙච්ච සියලූ දෙනාටත් විශේෂයෙන්ම සම්පත් බැංකුවටත් ගොවි සංවිධානයේ ලේකම්වරිය වශයෙන් මම අපේ ස්තුතිය ප‍්‍රකාශ කරනවා..”

බොහෝ වේලාවක් නැලෝගම ගම්වැසියන් ඇසුරේ කල්ගත කළ අපට ඔවුන්ගෙන් සමුගන්නට කාලය පැමිණ ඇත. සරල නිරහංකාර ගැමිකමත් කිසිවකුටත් අතනොපා ජීවත් වීමත් ‘‘ජීවිතය” කරගත් එම නිරහංකාර ගැමියන්ගේ සැබෑ වූ සිහිනයේ බර දරා සිටින වැව් කණ්ඩිය මත දී අප එකිනෙකාගෙන් සමුගත්තේ මහ පොළවට බරක් නොවූ මිනිසුන් පිරිසක් මුණගැසීමෙන් තුටු වූ හදවතින් යුක්තවය.