සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ජනමාධ්‍යය හා ඔබෙත් මගෙත් යුතුකම ඉටු කරමු.

World suicide prevention day : September 10th

සියදිවි නසාගැනීම යනු මානසික, සමාජයීය, ජීව විද්‍යාත්මක , සංස්කෘතිකමය හා පාරිසරික සාධකයන්ගේබලපෑම මත නිර්මාණය වන සංකීර්ණ වූ ගැටළුවකි.සරලවම ගත් කළ සියදිවි නසාගැනීම (suicide) තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනී ම ලෙස නිර්වචනය කල හැකිය. ඒ සඳහා ඔබට හා මට කළ හැකි දේ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ ඉතා අල්ප වශයෙන් බැවින් මෙම ලිපියෙන් ඒ පිළිබඳව සකච්ඡා කිරීම වඩා යෝග්‍ය බව පසක් වුණි.

සියදිවි නසාගැනීම් වළක්වා ගත හැකිද?
සියදිවි නසාගැනීම හා ඒ සඳහා තැත්කිරීම පිළිබඳව සලකා බැලීමේදී සරල හා පැහැදිලි නිශ්චිත හේතු දැක්වීමට අපහසු වුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සියදිවි නාසාගැනීම් සම්බන්ධව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වූ ප්‍රධාන කරුණු කීපයකි.

• සියදිවි නසාගත් කණ්ඩායමෙන් 1/3ක් පමණ ප්‍රමාණයක් විශාදය (Depression) රෝගයෙන් පෙළෙමින් සිටියහ.
• සියදිවි නසාගත් පිරිමින්ගෙන් 2/3ක් පමණ ප්‍රමාණයක් මත්පැන් පානයට ඇබ්බැහිවී හෝ මත්පැන් බිම නිසා ගැටලුවලට පත්ව සිටියහ.
• සියදිවි නසාගත් කණ්ඩයාමෙන් 1/3ක් පමණ යම් කිසි විටක තමන් සියදිවි නසාගන්නා බවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.

ඒ අනුව මතුවන්නේ “අප සමාජය තමා අවට සිටින පුද්ගලයා හා මානසික සෞඛ්‍ය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ ද” යන ප්‍රශ්නයයි.

මානසික සෞඛ්‍ය යන වචනය ඇසූ පමණින් බොහෝ දෙනෙකු උමතු බව හා ඇතිවිය හැකි මානසික රෝග පිළිබඳව පටලවා ගනී. උමතු භාවයට පත් නොවූ එහෙත් යම් සුළු මානසික රෝගී තත්වයන්ගෙන් පෙළෙන පිරිසක් අප ජීවත් වන සමාජය තුළ, අප සමගම ජීවත්වේ.සමහරවිට මේ ඔබේ මව, පියා, දුව,පුතා, මිතුරා, අසල්වැසියා විය හැකිය. නමුත් ගැටලුව වන්නේ අප ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරනවාදයන්නයි.

ඉහත සොයා ගැනීම්වලට අනුව පැහැදිලි වන කරුණ වන්නේ විශාදය (Depression) හා ගැටලු සහගත ලෙස මත්පැන්බිම (Alcohol Abuse) කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ වැදගත්කමයි. එමෙන් ම අපගේ යම් හිතෛෂියකු තමන්ට සියදිවි නසාගැනීමට සිතෙන බව පවසන්නේ නම් එය සැහැල්ලුවෙන් සිතා බැහැර නොකොට ඔහු හෝ ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කමයි. මෙයින් පැහැදිලි වන්නේ බොහෝ සියදිවි නසාගැනීම් අප හට වළක්වා ගත හැකි ඒවා වන බවය.

සියදිවි නසාගැනීමක අනතුරුදායී ලක්ෂණ
• යමෙකු සියදිවි නසාගැනීම ගැන නිතර සිතීම හා ඒ පිළිබඳව නිරන්තරයෙන් කථා කිරීම.
• බලාපොරොත්තු රහිත ස්වභාවය.
• පවුලේ අයගෙන්, හිතමිතුරන්ගෙන්, සහෝදර සේවකයන් ගෙන් පාසැලෙන්, ක්‍රියාකාරී කටයුතු වලින්, විනෝදාංශ වලින් වෙන් වී හුදකලාව ජීවත් වීමට පටන් ගැනීම.
• වෙනදාට වඩා මත් වතුර/ මත්ද්‍රව්‍ය වෙනදාටත් වඩා වැඩිපුර භාවිතය හා සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම
• අධික ලෙස හා ඉක්මනින් කේන්ති යාම අධික හා ක්ෂණික කෝපය
• අධික කලබල ස්වභාවය, නොරුස්සන ගතිය.
• අවදානම්කාරී හැසිරීම් රටා.
• හැදිසියේම හදිසියේ ම ප්‍රීතිමත් හා නිවුණු ස්වභාවයක් දැකිය හැකිවීම.
• කිසිදු දෙයක් ගැන විමසීමක්, ඇල්මක් නොදැක්වීම.

ඔබගේ හිතෛෂියෙක් මෙවන් හැසිරීම් රටාවක් නිරූපණය කරන්නේ නම් සැලකිළිමත් විය යුතු අතර වහා ම මනෝ වෛද්‍යවරයකුගේ උපදේශනය කරා යොමු කල යුතු ය. කිමෙක් ද යත් සමහර විටෙක මෙම වෙනස දකිනා එක ම පුද්ගලයා ඔබ විය හැකි බැවින්, ඔහු හෝ ඇයව උපකාර සඳහා යොමු කල හැක්කේ ඔබට පමණක් විය හැකි නිසා ය. සමහරවිට මේ වෙනස දකින එකම කෙනා ඔබ විය හැක, එනම් ඔහුට /ඇයව උපකාර කරා යොමු කළ හැක්කේද ඔබටය.

ජනමාධ්‍යවල කාර්යභාරය
සියදිවි නසාගැනීම කෙරෙහි ජනමාධ්‍ය (රූපවාහිනි,ගුවන් විදුලිය, පුවත්පත්,අන්තර්ජාලය, සමාජ ජාලා වෙබ් අඩවි : facebook, twitter,…etc) විශාල භූමිකාවක් රගපානු ලැබේ. මේවා සියදිවි නසාගැනීම වාර්තා කරන ආකාරය නිසාවෙන් සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වන අවස්ථාද ඇත.

සියදිවි නසාගැනීම් වාර්තාකරණයේදි වගකියයුතු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රමුඛ වශයෙන් අවධානයට යොමුකළයුතුව ඇති කරුණු 3ක් ඇත. ඒවා නම්
1. යම් වාර්තා කිරීමක් හේතුවෙන් කිසියම් මානසික අවපීඩනයක සිටින අයෙක් සියදිවි නසාගැනීමට පෙළඹීමට ඉඩ තිබේ ද යන්න
2. අදාළ වාර්තා මගින් මියගිය අයගේ ඥාතීන්ට හා සමීපතමයන්ට ඇතිකරන බලපෑම
3. වාර්තාව දකින නිරෝගී අයෙකු වුවත් ඒ තුළ රෝගී භාවයට පත්වීමට ඇති ඉඩකඩ

සමාජ ජාලා වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය විටක මාධ්‍ය ආයතන අභිබවා යයි. තමන්ගේ පිටුවට (page) දක්වන ප්‍රතිචාර ප්‍රමාණය (Likes) වැඩි කර ගැනීම උදෙසා මිය ගිය පුද්ගලයාගේ චරිතය අමු අමුවේ ඝාතනය කරන අවස්ථා දැක නැතුවාම නොවෙයි වාර්තා නොවෙන්නේ ද නොවේ. එබැවින්
• පුවත් වාර්තාව හැඟීම්දනවනසුලු නොවිය යුතුයි. එලෙසම එය ප්‍රධාන සිරස්තලයක් ලෙස ඉදිරිපත් නොකළ යුතුය.
• පුවත්පත් හෝ සඟරා කවරයේ සියදිවි නසාගැනීම් කථා නොකළ යුතු ය.
• සියදිවි නසාගැනීම් වික්‍රමාන්විත ලෙස හෝ ආදරණිය ලෙස නිරූපනය නොකළ යුතු ය.
• සියදිවි නසාගැනිම "අවසන් වේදනාව ක් ලෙස " හෝ "ශෝකය හා වේදනාව නිමා වීමක් ලෙස නිරූපණය කිරීමෙන් හා අර්ථ දැක්වීමෙන් වැළකිය යුතු ය.
• සිය දිවි නසා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම විස්තර නොකළ යුතුය. (මෙම ක්‍රම පිළිබඳව ඉතා සවිස්තරාත්මක තොරතුරු ලබා ගෙන, සියදිවි නසාගැනීම් සිදු වූ ස්ථාන පිළිබඳ සවිස්තරාත්මක ඡායාරූප නොපෙන්වන්න )
• සියදිවි නසාගන්නා අයගේ නම් හා ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිවන ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම, ඔවුන් සියදිවි නසාගත් ආකාරය පැහැදිළි කිරීම හා ඔවුන්ගේ ඡායාරූප පළ කිරීම කිසිසේත් ම නොකළ යුතුය.
• කිසිවිටක එක් සිදුවීමක්/හේතුවක් නිසා සියදිවි නසාගැනීමක් සිදු වන්නේ නැත. (එක් සිදුවීමක් නිසා සියදිවි නසාගැනීම් කලාතුරකින් දක්නට ලැබේ). එබැවින් මෙවැනි වැරදි පුවත් මහජනයාට ලබා නොදෙන්න.
• භාවිතා කරන වචන සමඟ ප්‍රවේශම් වන්න. ("සාර්ථක සියදිවි නසාගැනීමක්" හෝ "දිවි නසාගත්" යන වචන භාවිතා නොකරන්න. ඒ වෙනුවට "සියදිවි නසාගැනිමෙන් මියගිය" යන වචනය භාවිතා කරන්න. මෙය සියදිවි නසා ගැනීමට උත්සාහ කර දිවි බේරාගත් පුද්ගලයන් හට ඉතා දරුණු බලපෑමක් ඇති කරයි.)
• නැවත නැවත විකාශයෙන් වළකින්න.
• පුවත් වාර්තාව මගින් සියදිවි නසා ගැනීමේ නිරර්ථකභාවය හා උපකාර ලබා ගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි.

ජනමාධ්‍ය මගින් යම් පුද්ගලයෙකු මානසික අවපීඩනයකින් සිටින්නේ නම් ඔහුට හෝ ඇයට ශ්‍රී ලංකාවේ ලබාගත හැකි සේවා පිළිබඳ දැනුවත් කිරීමක් සිදුවිය යුතු නොවේද? මිය ගිය යලි යලිත් ඝාතනය කරමින් තමන්ගේ පුවත ප්‍රචාරය කරගන්නට වැර දැරීම මඟහැර සමාජයට යහපතක් වන අකාරයෙන් මෙවන් පුවත් ජනතාව අතරට යැවීමට ඔවුන් මැලි වන්නේ මන්ද?

වඩා යහපත් මාධ්‍ය භාවිතයකින් සියදිවි නසා ගැනීම් අඩුකරගත් රටවල් බොහොමයකි. ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය ඒ අතර ප්‍රධාන වෙයි. 2017 වර්ෂය දෙස ආපසු හැරී බලන විට අපට ජනමාධ්‍යය ගැන සෑහීමකට පත්විය හැකිද? විය යුත්තේ කුමක්ද?

සියදිවි නසාගැනීමේ අවදානම් සාධක හා ඒවා හඳුනා ගන්නා අකාරය පිළිබඳ දැනුම්වත් කිරීම , ඒ ගැන පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම හා ප්‍රතිකාර කිරීම සියදිවි නසාගැනීම් වැළැක්වීමේ මූලික පියවරයන්ය. ඒ සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක වේ.
• ගෘහස්ථ හා සමාජීය හිංසනය, මත්ද්‍රව්‍ය/ මත්වතුර භාවිතය අඩු කිරීම හා තුරන් කිරීම.
• සියදිවි නසාගැනීමට උපකාර කර ගත හැකි දෑ පහසුවෙන් ලබා ගැනීමට හැකි ඉඩකඩ අඩු කිරීම.
• පාසල්වල හා වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන වල උපදේශන සේවා ස්ථාන පවත්වාගෙන යාම.
• අධීක්ෂණය යටතේ ඖෂධ ලබා දීම මනෝ වෛද්‍ය සායන (සෑම රෝහලකම පාහේ විශාදයට, මත්පැන් භාවිතයට ප්‍රතිකාර ගත හැකි මනෝ වෛද්‍ය සායන ඇත. )
• මීට අමතරව රෝහල්වල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සමාජ සේවා ආයතනවල උපදේශන සේවාවන් ඇත.
• ඇතැම් රාජ්‍ය නොවන ආයතනද උපදේශන සේවා ලබා දෙයි.
උදා: සුමිත්‍රයෝ

මේ උත්සාහය සියදිවි නසාගැනීමක් සිදුවූ පසු වගකිවයුත්තා සෙවීමට නොව , එය ඇතිවීමට පෙරම මුලිනුපුටා දැමීමටයි.

W.A. හෂිණි.