ආසියානු චෙස් ශූරතාවලිය මුල්වරට ඔන් ලයින් ක්‍රමයට - ශ්‍රී ලංකා පිරිමි පිල මුල් වටයේදී රටවල් 42කින් 8 වැනි තැනට

කොරෝනා හේතුවෙන් මුල්වරට ‘ඔන් ලයින්‘ ක්‍රමය යටතේ සංවිධානය වූ ආසියානු පිරිමි - කාන්තා චෙස් ශූරතාවලි මේ දිනවල ක්‍රියාත්මක වන අතර එහිදී ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම මුල් වටයේදී රටවල් 42ක් අතුරින් 8 වැනි ස්ථානයට පත්ව සිටින අතර කාන්තා චෙස් චෙස් කණ්ඩායම මුල්වටයේදී රටවල් 37කින් 13වැනි ස්ථානයේ පසු වේ.
කොළඹ රාජකීය විදුහලේ මිනුල් දුලුවීරගේ නායකත්වයෙන් සහභාගීවී සිටින ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම හොංකොං හා ලෙබනන් කන්ඩායම් පහසුවෙන් පරාජයට පත්කොට සිටින අතර සිංගප්පූරුව හමුවේ පරාජයට පත් විය. ස්විස් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ එක් තරගයක් මිනිත්තු 15කට සීමාවන අතර එක් කණ්ඩායමකට පළමු වටයේදී අවස්ථා 9ක් හිමිවේ. පිරිමි චෙස් කණ්ඩායමට කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න, වත්මන් ජාතික ශූර කොළඹ ආනන්ද විදුහලේ රනිදු දිල්ෂාන්, කොළඹ නාලන්දාවේ 14 හැවිරිදි එල්. එම්. සුසාල් ද සිල්වා හා ආනන්ද විදුහලේ දෙනුවන් තීක්ෂණ ඇතුළත්ව සිටිති.
එන්. එස්. ත්‍රී චෙස් කණ්ඩායමේ සචිනි රණසිංහගේ නායකත්වයෙන් ආසියානු තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා චෙස් පිල ක්වේට් කණ්ඩායම පරාජයට පත්කළ අතර කසකස්තානය හමුවේ පරායට පත් විය. බංග්ලාදේශ්‍ය සමග තරගය තියුණු මුහුණුවරකින් ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා චෙස් පිලට වත්මන් ජාතික ශූරී මහනුවර උසස් බාලිකා විදුහලේ නෙත්මී ප්‍රනාන්දු, මිෂෙල් ජාත්‍යන්තර පාසලේ අශ්විනී පවල්චන්ද්‍ර, කොළඹ දේවී බාලිකාවේ 14 හැවිරිදි තරුෂී සංදීපනී හා කොළඹ විශාඛා විදුහලේ තරුෂි නික්ලේෂා ක්‍රීඩා කරති.
මෙම තරගාවලිය පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර මේ මස 24වැනිදා නිමාවට පත්වේ. යළිත් දෙවැනි වටය මේ සිකුරාදා සිට පැවැත්වීමට ආසියානු චෙස් සම්මේලනය කටයුතු යොදා ඇත.