බඩගිනි නිවන්නට ඇවිදි අම්මා වැරදිද? අවාසනාවට සත්‍ය කතාවක්

දහවල් 12ට පමණ ළමා ආරක්ෂණ අධිකාරියේ දුරකථනය නාද විය. දරුවෙක් සමඟ කාන්තාවක් මහ මඟ වෙළදාමේ නිරතවන බවට පැමිණිල්ල ලැබුණි. වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් කොළඹ අදාල ස්ථානයට ගොස් මව සහ ළදරුවා අත්අඩංගුවට ගන්නා ලදී. අනාරක්ෂිතව දරුවා සමඟ මහ මඟ වෙළදාමේ යෙදීම චෝදනාව විය.

ඇගෙන් දැනගත් කරුණු අනුව ඇයගේ වැඩිමහල් දරුවා පාසැල් ගොස් ඇත. ඇගේ ස්වාමීයා එදිනෙදා කුලී සේවයෙහි නිරත වී ඇත. අවුරුදු 2ක් වයසැති තම දෙවෙනි දරුවා සමඟ දිවා කාලයේ ඇය මහ මඟ ඇවිදිමින්‍ විවිධ දේ විකුණන්නට විය. අව්වට කුඩයක් හෝ ගැනීමට ඔවුනට වත්කමක් නැත. එනමුත් වැරදිකාරියක් වී ඇත.

ඇගේ දරුවා තනිව නිවසේ දමා එන්නට ඇයට නොහැකි විය. කුසිගින්න නිවීමද සිදු කළ යුතුව ඇත. කොළඹ යමක් කමක් කරගත හැකි දරුවන් සිටින දෙමාපියන් මෙන් රැකියාවට ගොස් එනතුරු ඇයට දරුවා තබන්නට ඩේකෙයාර් නැත. අඩුම තරමේ වතුකරයේ තේ දළු නෙලන්නියන් වෙනුවෙන් ඇති පුල්ලේ කාමරය පවා ඇයට අහිමය. එවැනි පහසුකමක් දියුණු අගනුවර නැත. නමුත් ඇය දරුවන් දෙදෙනෙකුගේ කුසගිණි පිරවිය යුතු අතර ඔවුන්ගේ අනාගතය කෙසේ හෝ ගොඩ නැගිය යුතුය. දුප්පත්කම නිසා දරුවන් හැර යන, මහ මඟ දමා යන අම්මාවරුන් අතර ඇය ශ්‍රේෂ්ඨය එනමුත් ඇය වැරදිකාරියක වූයේ කෙසේද? මෙය තවත් එක් ඛේදවාචකයකි. ඒ අම්මා දඩුකඳේ ගසන්නට පෙර සිතන්නට යමක් ඇත. ඔබ අප සිටින මේ මහ පොළව තුල මෙවැනි අප නොදන්න දුක්ඛිත කතා අනන්තවත් ඇති. ඒ ගැන හිතන්න ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් කටයුතු කරන්න ඔබට භාරයි.