ජීවිතාන්ත ක්‍රීඩා තහනමට එරෙහිව පාපැදි ලොක්කන්ගෙන් ක්‍රීඩා ඇමැති වෙත අභියාචනාවක්

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පසුගිය වසර 2ක ගිණුම් වාර්තා විගණනය නොකිරීම හා නිලවරණය කැඳවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සභාපති එන්. කරුණාරත්න, ලේකම් නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික සේනක රණසිංහ යන මහත්වරුන්ට එරෙහිව පනවා ඇති ජීවිතාන්ත ක්‍රීඩා තහනමට එරෙහිව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත අභියාචනාවක් ඉදිරිපත් කරන බව පාපැදි සම්මේලනයේ ලේකම් නිහාල් කුලසේකර මහතා පවසයි. ගිණුම් වාර්තා විගණන ප්‍රමාදවීම් ක්‍රීඩා සංගම් බොහොමයකින් වාර්තා වී තිබියදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලධාරීන්ට පමණක් දඬුවම් පැනවීම අසාධාරණ බව ඒ මහතා පැවැසීය.
එබැවින් අභියාචනාවේ අඩංගු කරුණු සලකා බලා පනවා ඇති ක්‍රීඩා තහනම ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඉවත් කරනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.
මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම උදෙසා එම සම්මේලනයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු දැරූ අය ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියට අවස්ථා 3කදී කැඳවා තිබුණද, එම සියලු අවස්ථා මඟහැරීම හේතුවෙන් හේතුවෙන් ඔවුන්ට ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් පැන වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.
ගිණුම් වාර්තා විගණනය නොකිරීම හා නිලවරණය නොකැඳවීම සම්බන්ධයෙන් තමන් සතු සියලු ලිපි ලේඛන සමඟ සහභාගීවන ලෙස සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතු ලිපියක් ඔවුන් වෙත යවා තිබූ අතර, එම අවස්ථාව අවසන් දිනය බව සඳහන් කොට තිබිණි. එම තෙවැනි හා අවසන් දිනයේ පරීක්ෂණය සඳහා සහභාගී නොවන්නේ නම් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පසුගිය වසර දෙකක කාලයේ කටයුතු කළ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික වරද පිළිගත්තා සේ සලකා ඔවුන්ට එරෙහිව ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බව ද සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලිඛිතව දැනුම්දී තිබිණි.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක පී.එම්. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලය සමන්විත වූ අතර, පාපැදි සම්මේලනයේ අය - වැය වාර්තා විගණනය නොකිරීම හා නිලවරණය නොකැඳවීම සම්බන්ධයෙන් අවසන් වාර්තාව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත භාරදීමට කටයුතු කළේය.
ගිණුම් වාර්තා විගණනය නොකිරීම හා නිලවරණය නොකැඳවීම සම්බන්ධයෙන් වන වරදකදී ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරිකවරයකු වශයෙන් ධුරයක් දරා සිටි තැනැත්තකු වේ නම්, එවැනි පුද්ගලයකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත් කර ගනු ලැබීමට හෝ එසේත් නැත්නම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධුරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකු වීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට හෝ නුසුදුස්සකු විය යුතුය යන්න දක්වා තිබේ.
එබැවින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික වරදකරු කරනු ඇති බවත් ඔවුන්ට ඉදිරියේ පැවැත්වෙන නිලවරණයේදී කිසිදු තනතුරකට පත්වීමට නොහැක. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ගිණුම් වාර්තා සැකසීම සම්බන්ධ වගකීම ඇති භාණ්ඩාගාරික සේනක රණසිංහ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරිකවරයාව සිටි අතර, පසුව ඔහු එම තනතුරෙන් ද ඉවත් විය. සභාපති එන්. කරුණාරත්න මහතා ජාත්‍යන්තර තලයේ සිටින පාපැදි විනිසුරුවකු වන අතර, අවස්ථා කිහිපයකදීම සම්මේලනයේ විවිධ තනතුරු දැරීය.