මහතලා සාහිත්‍යකලා මහෝත්සවය සැප්තැම්බර් 25 ආරම්භ වේ

මාතලේ දිස්ත්‍රික් සාහිත්‍යකලා සංසදය ,මහතලා සාහිත්‍ය අනුකමිටුව මාතලේ නගර සභාව, බෞද්ධ මන්දිරය යන ආයතනවල සහයෝගය ඇතිව වසර පහක සිට පවත්වාගෙන එන මහතලා සාහිත්‍යකලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් මාතලේ නගරය කේන්ද්‍ර කොටගෙන ගෙන සැප්තැම්බර් 25. 26. 27 තෙදින තුළ පැවැත් වේ.
ඒ අනුව උත්සවයේ සමාරම්භක දිනය වන මෙම 25 දා පෙ. ව. 9. 00 ට හේමලතා රාජගුරුගේ ඈ තුළ ඈ සහ ඒ ඇයයි මේ මමයි නවකතා කෘති ජනගත කිරීම මාතලේ දිසාලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ. මෙහිදි නවකතාවේ නව ප්‍රවණතා මැයෙන් ආරාධිත දේශනය ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග මහතා විසින් පවත්වනු ලැබේ.
මහතලා සාහිත්‍ය උළෙලට සමගාමීව පහන් ටැඹ සාමූහිකය විසින් සංවිධානය කරන නිර්මාණ වැඩමුළුව සහ සාහිත්‍ය සම්මන්ත්‍රණය සැප්තැම්බර් 26 දා පෙ . ව. 9. 00 සිට මාතලේ මහත්මා ගාන්ධි හාලාවේ දී පැවැත්වේ. මෙහිදී නිර්මාණකරුණයේ නියැලෙන ආධුනික නිර්මාණකරුවන් සදහා කවිය, ගීතය කෙටිකතාව චිත්‍ර සහ ජායාරූපකරණය පිළිබද වැඩමුළු පැවැත්වේ. මෙම නිර්මාණ වැඩමුළුව සදහා ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ , කපිල කුමාර කාලිංග, පුෂ්පා රම්ලනී, වසන්ත දුග්ගන්නාරාල, ඉන්ද්‍රනාථ තේනුවර ඇතුලු කලාකරුවන් රැසක් සහභාගී වේ. මෙදින ජේ්‍යෂ්ඨ කලාකරුවන්ට උපහාර පිරිනැමෙන මහායාය ස්වර්ණ හරසර ප්‍රදානය ද සංස්කෘති අංග රැසක් ද පැවැත්වේ.
මහතලා සාහිත්‍ය කලා උළෙලේ සමාප්ති දින උත්සවය සැප්තැම්බර් 27 දා ප. ව. 100 මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී පැවැත්වේ. මෙදින සිනමාව රූපවාහිනිය සහ සාහිත්‍ය මැයෙන් ස්වාධීන රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රවීණ සිනමාවේදි සුදත් රෝහණ මහතා ද රසවින්දය සහ මාධ්‍ය මැයෙන් ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා ද දෙසුම් පවත්වනු ලැබේ.
උත්සවයට සමගාමීව පැවති සාහිත්‍ය නිර්මාණ තරගයේ ජයග්‍රහිකයින්ට මහතලා සාහිත්‍ය සම්මාන ත්‍යාග සහ සහතික පිරිනැමීම ද මෙදින සිදු කෙරේ. මහතලා සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වෙන මහතලා පොත් වසන්තය (පොත් දැක්ම ) සැප්තැම්බර් 23 දා සිටි 27 තෙක් පෙ. ව. 9.00 සිට ප.ව.8. 00 දක්වා මාතලේ බෞද්ධ මන්දිරයේ දී පැවැත්වේ
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)